ළඟ එන සාගත බියෙන් වෙලුණු උතුරු කොරියාව – Saru News Media

0
7

රටක් හුදකලා වීම හිතන තරම් සුන්දර අත්දැකීමක් නෙමෙයි. එලෙස ලොවෙන් හුදකලා වුණු ගොඩක් රටවල ජනතාවට පසුකාලීනව අත් වුණේ හොඳ ප්‍රතිඵල නෙමෙයි, කියුබාව, වෙනිසියුලාව සහ අප්‍රිකානු රටවල් එයට උදාහරණ සපයනවා. උතුරු කොරියාව දැන් සෑහෙන කලක් තිස්සේ හුදෙකලා වෙලා. ඉතින් ඒ හුදෙකලා බව අස්සේ තිබෙන දැඩි ආහාර හිඟය උතුරු කොරියානුවන් නිතර මුහුණදෙන ප්‍රශ්නයක්. කොවිඩ් තත්ත්වය නිසා සහ හදිසි ස්වභාවික විපත් තත්ත්වය නිසා මෙවර උතුරු කොරියාවේ ආහාර නැතිකම දරුණු මට්ටමකට ඇවිත්. ඉතින් අපි ඒ ගැන විස්තර ටිකක් සොයා බලමු.

 

කිම් ජොන් අන් නායකයා කියන විදිහට මේ වර්තමානයේ කොරියාව මුහුණ දෙන සාගත තත්ත්වය 1990 දී ඇතිවුණු සාගත තත්ත්වයට සමාන එකක්. ඒකෙදි ජනතාව දහස් ගණනින්, ලක්ෂ ගණනින් උතුරු කොරියාව තුළ මියැදුණා. ඒ ආහාර හිඟ වීම අවස්ථා කිහිපයකදීම උතුරු කොරියාව මුහුණ දුන් තත්ත්වයක්. මෙවැනි ආහාර හිඟකමක් කොහොමත් උතුරු කොරියාවේ තිබුණත්, මෙවර තත්ත්වය වඩාත් දරුණු බවක් උතුරු කොරියානු නායකයාගේ සෘජු ප්‍රකාශයෙන් පෙන්නුම් කරනවා. මේ තත්ත්වයට උතුරු කොරියාවේ ඉහළ සිට පහළට සිටින නිලධාරීන් ලැහැස්ති වී සිටිය යුතු බවත් කිම් ජොන් අන් නායකයා කියනවා.

 

උතුරු කොරියාවට එරෙහිව යම් යම් සම්බාධක ඒ කාලෙත් තිබුණා. ඒත් එවකට සමාජවාදී නැඹුරුවක් තිබුණ සෝවියට් රුසියාව උතුරු කොරියාවට ආහාර ආධාර නිබඳවම ලබා දුන්නා. ඒත් 1990 දී ඒ සෝවියට් සංගමය බිඳ වැටුණා. ඒ එක්ක උතුරු කොරියාවට එන ආහාර සැපයුම් එකපාර අඩාල වුණා. ඒ තත්ත්වය කොපමණ සවුත්තු වුණාද කියනවා නම් උතුරු කොරියාව තුළ ඒ සාගත තත්ත්වය නිසා මිලියන තුනකට අධික ජනකායක් මියගියා කියා සැළකෙනවා.

 

කොරෝනා වෛරස තත්ත්වය නිසා උතුරු කොරියාව ආකාර දෙකකින් සිය ආර්ථිකය තවත් හකුලා ගත්තා. එක පැත්තකින් දකුණු කොරියාව එක්ක තිබුණ සියළුම සම්බන්ධතා අවහිර කරගත්තා. අනෙක් පසින් යාබද චීනය සමග තිබුණ සියළුම ගනුදෙනු අත්හිටෙව්වා. මේකෙදි ඇමරිකාව විසින් සහ එක්සත් ජාතීන් විසින් කරන ලද සම්බාධක පැමිණවීමත් හේතු වුණා. ඒත් ප්‍රබල වශයෙන්ම කොවිඩ් නීති උතුරු කොරියානු ජනතාවට නරකම අතට බලපෑවා. චීනෙන් එන ආහාර විතරක් නෙමෙයි, සබන්, දත් බේත් ආදී මූලික දේවල් පවා මේ වනවිට නොලැබන තත්ත්වයක් තුළ දේශසීමා අසල ජනතාව තවත් අසරණ වෙලා තියෙනවා.

 

ට්‍රම්ප් යුගයේදී උතුරු කොරියානු නායක කිම් සමග තියෙන ඇයි හොඳයි වැඩි දියුණු කරගන්න උත්සාහ කළත් උතුරු කොරියාව එක්සත් ජාතීන් හිතන තරම් නම්‍යශීලී වුණේ නැහැ. ඔවුන් විටින් විට න්‍යෂ්ඨික අත්හදා බැලීම් වලට ගියා. ඒ එක්ක උතුරු කොරියාවට ලෝහ වර්ග, පොහොර ආදී විශාල පරිමාණයේ ගොඩක් දේවල් ගෙන එන්න තහනම් වුණා. ලෝහ වර්ග ගෙන එන්න බැරි නිසා කෘෂිකාර්මික වාහන සහ බඩු බාහිරාදිය හදාගන්න, ප්‍රවාහනය කරන්න බැරිවුණා. රසායන ද්‍රව්‍ය තහනම නිසා කෘෂි රසායන සහ පොහොර කොරියාවට එන්නේ නැතිවුණා. ඒ එක්ක උතුරු කොරියාවේ ආහාර නිෂ්පාදය තවත් දුර්වල වුණා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here