5G එන්න ගොඩක් කල් යන්නේ ඇයි? – Saru News Media

0
11

පරම්පරාව කියන එකට ඉංගිරිසියෙන් කියන්නේ ජෙනරේශන්. 5G කියන්නේ 5 වැනි පරම්පරාව. දැනට 4G දුරකථන ජාල ලෝකය පුරා ජනප්‍රිය වෙලා තියෙනවා. 5G කියන්නේ එතනින් එහාට පැතිරුණු ටිකක් ප්‍රබල සංකල්පයක්. දැනට කොරියාවේ, ඇමරිකාවේ, චීනයේ එහෙම 5G සාර්ථකව අත්හදා බලමින් යනවා. ලංකාවෙත් මොබිටෙල් සහ ඩයලොග් සමාගම් දෙක අප්‍රේල් මුලදී 5G පහසුව මුලින්ම නිකුත් කළා.

 

4ජී වල 150 Mbps දක්වා උපරිම වේගයකින් දත්ත හසුරුවන්නට හැකියාව තියෙනවා. 5ජී වෙද්දි ඒ අගය ගිගාබිට් පර් සෙකන්ඩ් එනම් Gbps දක්වා වැඩිවෙනවා. දැනට මිලිසෙකන්ඩ් දෙසීයක විතර ලේටන්සි එකක් 4ජී නෙට්වර්ක් වලත් තියෙනවා. ලේටන්සි කියන්නේ සරලවම අපි යමක් ජාලය හරහා කරද්දි ප්‍රතිචාර දක්වන්න යන කාලය. මේ ලේටන්සි ඉතාම අඩු අගයකට 5ජී වලදි අඩු වෙනවා. එතකොට අපිට ඉතාම ඉක්මනින් ජාලය එක්ක ගනුදෙනු කරන්න අවස්ථාව ලැබෙනවා.

ඊට අමතරව 5ජී අමුත්තාගේ තියෙන අලුත්ම විශේෂාංගය තමයි තවත් ඩිවයිස් එක්ක ගනුදෙනු කරන්න තියෙන හැකියාව. ඉදිරියේදී රියදුරු රහිත කාර් එනවා, දුරබැහැර සිටන් ශල්‍යකර්ම කරන ඉස්පිරිතාල එනවා, තවත් තැනකින් ඔපරේට් වෙන ෆැක්ටරි එනවා. ඒ වගේ දේවලට අවශ්‍ය ජාල පහසුව වයර්ලස් තාක්ෂණයෙන්ම ලබාදෙන්න 5ජී සැදී පැහැදී සිටිනවා. ඒ වගේම 5ජී ආවට පස්සෙ ඩ්‍රෝන තාක්ෂණයෙනුත් මීට වඩා වැඩ ගන්න පුළුවන් වේවි කියලා කියනවා.

 

5ජී වල එකපාර ඩේටා විශාල ප්‍රමාණයක් හසුරුවනවා. ඔයාලට මතක නම් 4ජී ලංකාවට එද්දිත් ටවර් කලින්ට වඩා කිට්ටුවෙන් තියෙන්න ඕනාය කියලා කියවුනා. ඒ වගේම ලංකාවෙත් 4ජී හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් දීපු මුල් කාලේ ටවර් එකේ ඉඳන් කිලෝමීටරයක් ඈතට වුනත් හරියට ජාල පහසුකම ලැබුනේ නැහැ. ඉතින් 5ජී වෙද්දි තත්ත්වය තව ටිකක් දරුණුයි. සමහර වාර්තා කියන විදියට 5ජී වලදි අදාළ ටවර් එක හෝ සිග්නල් ස්පොට් එකේ ඉඳලා මීටර පන්හයසීයක් ඇතුළේ තමයි 5ජී වල සිග්නල් පරාසය තියෙන්නේ. ඉතින් එතකොට ඉතාම ළඟ ළඟ අපේ ටෙලිෆෝන් කණු, උස ලයිට් කණු තියෙන දුරින් වගේ තියෙන්නට උවමනා කරනවා. ඒකට විශාල වියදමකුත් යනවා.

 

3ජී 4ජී වලදි දත්ත එහෙ මෙහෙ ගෙනියන්න පාවිච්චි කරන්නේ එච්චර සැර නැති තරංග. තාක්ෂණිකව කිව්වොත් තරංග ආයාමය සෙන්ටිමීටර ගණන් වල තරංග තමයි 3ජී 4ජී වලදි අපේ ෆෝන් එකට ඩේටා එන්න පාවිච්චි වුනේ. ඒත් 5ජී වලදි ඊට වඩා බොහොම කෙටි තරංග පාවිච්චි වෙනවා. ඒ කියන්නේ ඒ තරංග වලින් මිනිසාට සහ කුරුල්ලන් ඇතුළු සතුන්ට වෙන්න පුළුවන් බලපෑම වැඩිවෙනවා. මේ ගැන තවමත් ලොව වටා පර්යේෂණ කරමින් යනවා.

 

එක ස්පොට් එකකින් කවර් කරන්න පුුළුවන් වෙන්නේ මීටර 500ක දුරක් නම් නගරබද බිල්ඩින් වලින් වැහිල තියෙන තැන් කවර් කරන්න විශාල හොට්ස්පොට් තොගයක් ගහන්නට වෙනවා. ඒ වගේම ගෙවල් ඈතින් ඈතින් තියෙන ගම්බද පළාත්වලට කොයි කාලේ 5ජී දෙන්න ලැබේද කියලා ඇමරිකාව පවා සැක පහල කරනවා. කලින් වගේ ටවර් එකෙන් හැමදේම කරන්නේ නැතිව එක් විශාල ටවර් කිහිපයකින් කුඩා තැන් කිහිපයකට සංඥා බෙදාහැරීමෙන් 5ජී නෙට්වර්ක් එක නිර්මාණය කරනවා. මේකෙදි කලින්ට වඩා අවකාශයක්, සහ උපකරණ රැසක් අවශ්‍ය වෙනවා. ඒ නිසා 5ජී සෙට් කරන්න කලින් 4ජී සහ 3ජී ස්ථාපනය කරන්නට ගියාට වැඩි මුදලක් වියදම් වෙනවා.

 

දැනට අපේ ෆෝන් එකේ සහ කම්පියුටරයේ තියෙන දත්ත මොබයිල් නෙට්වර්ක් එකක් හරහා හුවමාරු වෙනවා. 5ජී ආවම අපේ ගෙදර තියෙන උපකරණත් සම්බන්ධ වෙලා දැනට වඩා වැඩි දත්ත ප්‍රමාණයක් ජාලය හරහා හුවමාරු වෙනවා. මෙතැනදි අපේ දත්ත වල ආරක්ෂාව ගැනත් සැලකිලිමත් වෙන්නට ඕනා. යම් දේශපාලනික ගැටුම් සහ තාක්ෂණය වැඩිදියුණු නොවීමේ ගැටළු චීන හුවාවේ ආදී සමාගම් වලට තියෙනවා. මේ 5ජී තාක්ෂණයේ සෙකියුරිටි තත්ත්වය ගැන විශ්වාස නැහැ කියලා හුවාවේ සමාගමේ 5ජී වලට ඇමරිකාවෙන් වැට බැඳලා තියෙනවා. චීන හුවාවේ සමාගම එක්ක ඇමරිකාවට සෙකියුරිටි වලට වඩා වෙනත් ප්‍රශ්න තියෙනවා කියලත් ඇතැම් අය මත පළ කරලා තියෙනවා. කොහොම වුනත් මේ අලුත් ජාල පසුබිමේදි ජාල ආරක්ෂාව ගැන කතාබහ ඇතිවෙනවා. ඒ නිසාත් 5ජී එන්න හිතනවාට වඩා කලක් යාවි.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here