ලේඛකයෙක්ගේ ජීවිතය කියන්නේ සමහරුන්ට නම් හරිම ලස්සන ෆැන්ටසිමය අත්දැකීමක් වගේ. හැබැයි ඉතින් ඒක හැමතිස්සෙම පේන තරම් ලස්සන නෑ. එහෙම කිව්වට, ලේඛකයෙක් වෙන එක ඉතින් වටිනවා. සමහරු ඇත්තටම මේ වෙනකොට වෙන වෙන රැකියාවල එහෙම නිරත වුණත්, ලේඛකයෙක් වෙන්න ආසයිනේ. හැබැයි එහෙම ආසාව තිබ්බට, කොහොමද ඒක කරන්න ඕන, කොතනින්ද පටන් ගන්න ඕන කියන එක ගැන ගොඩක් දෙනෙක්ට ලොකු අදහසක් නෑ. ආන්න ඒ නිසා, එහෙම ලේඛකයෙක් වෙන්න ආස අයට අපි හිතුවා ටිප්ස් කීපයක් ලබාදෙන්න.
ඒ ගැන කියවන්න කලින්, තමන් තුළ ඉන්න ලේඛකයාව අවදි කරගන්නේ කොහොමද කියන එක ගැනත් අපි කලින් කියලා තියෙනවා. ඒකත් කියවලාම එන්න.
සාමාන්‍යයෙන් අපි හැමෝම කාර්යබහුලයිනේ. විශේෂයෙන්ම මේ කාලේ තියෙන ආර්ථික අර්බුද අනං මනං එක්ක අපි තවත් කාර්යබහුලයි. හැබැයි ඉතින් ඔය කාර්යබහුල ජීවිතෙන් ඉඩක් ලැබුණු විටකදී ලියන්න කියලා බලාපොරොත්තු තියාගෙන, හීන මවාගෙන ඉන්න එක නං කෙරෙන වැඩක් නෙවෙයි. ඒ වෙනුවට ලියන එක තමන්ගේ දිනචර්යාවේ කොටසක් කරගන්න ඕන. ඒකට පොඩියට පටන් ගමු. දවසට පැය භාගයක් ලියන්න වෙන් කරගන්න බැරි කමක් නැහැනේ. ඇත්තටම ලෝක ප්‍රසිද්ධ ලේඛකයෝ වෙන්න උත්කෘෂ්ට ප්‍රාර්ථනා තියාගෙන ඉන්න ගොඩක් අයට එහෙම වෙන්න බැරි වෙන්නේ, ලොකු හීන තිබ්බට පොඩි තැනකින් පටන් ගන්න හිතන්නෙ නැති නිසා. අන්න ඒ නිසා හෙටටවත් කල් දාන්න එපා, අදම ලියන්න පටන් ගන්න. දවසේ නිශ්චිත කාලයක් වෙන් කරන්න, ඒ වෙලාවට ෆෝන් අනං මනං ඔක්කොම පැත්තකින් තියලා ලියන්න පටන් ගන්න.
ලේඛකයෙක් වෙන්න නම්, කියවීමත් අත්‍යවශ්‍යයි කියලා අපි කලින් කියලා තියෙනවා. එතකොට දිනපතා කියවීම අවශ්‍ය ද? ඇත්තටම දිනපතා අනිවාර්යයෙන්ම ලියනවා වගේ, දිනපතා අනිවාර්යයෙන්ම කියවන්නත් ඕන කියලා අපිට කියන්න බෑ. හැබැයි ඉතින් ලේඛකයෙක්ට හැකිතාක් කියවන එක තමන්ගේ ලිවීමට හොඳක් කරනවා කියන එක කියන්න පුලුවන්. ඒත් දිනපතා කියවන්නම ඕන කියල එකක් නෑ. හැබැයි දිනපතා ජීවිතේ රසවින්දනය සඳහාත් අනිවාර්ය ඉඩක් තියෙනවා නම් හොඳයි. ඒ කියන්නේ හොඳ සංගීතයට ඇහුම්කන් දෙන්න, හොඳ චිත්‍රපටි හෝ ටීවී සීරීස් හෝ බලන්න, වෙනත් කලා රසවින්දනයන් සඳහා වෙලාවක් වෙන් කරන එක හොඳයි. ඒකෙන් ලියන්න මනස හදාගන්නත් පුලුවන්කම ලැබෙයි.
මේක ඇත්තටම සමහරු ලියන්න ගත්තහම දැන හෝ නොදැන කරන වරදක්. ඒ තමයි කොපි කිරීම. මතක තියාගන්න, තවත් නිර්මාණයකින් ආභාෂය, අනුප්‍රාණය ලැබීම සහ අමුඅමුවේ කොපි කිරීම කියන්නේ දේවල් දෙකක්. එතකොට තවත් නිර්මාණයකින් ආභාෂය, අනුප්‍රාණය ලැබීම කියන්නේ, ඒ නිර්මාණයේ තියෙන කතාව එහෙන් මෙහෙන් වෙනස් කරලා ලියන එකත් නෙවෙයි, ඒකේ තියෙන කොටස් පිටින් අරගෙන වෙනස් කරලා ලියන එකත් නෙවෙයි. ඊට වඩා නිර්මාණශීලීව හිතලා බැලුවොත්, තමන්ට වඩාත් විශේෂ නිර්මාණයක් කරන්න පුලුවන් වෙයි. ඇත්තටම, ලේඛන කලාවේ යෙදෙන කෙනෙක්, දෙයක් නිර්මාණශීලීව හිතන්න විවේකයක් ලබාගන්නත් අත්‍යවශ්‍යයි. ඒක ෂවර් එක යටදී ඉන්නකොට වුණත්, බස් එකේ යනකොට වුණත් කරන්න පුලුවන්.
දැන් ඔය ලේඛකයෙක් කිව්වහම, ඕනම දෙයක් ලියන කෙනෙක් වෙන්න පුලුවනිනේ. එතකොට කෙටි කථාවක් ලිව්වත්, නවකථාවක් ලිව්වත්, ආටිකල් එකක් ලිව්වත්, අයිඩියා එක ඔලුවෙ තියාගෙන ලියාගෙන ලියාගෙන යන්න වාඩි වෙන එක ඒ තරම් නුවණට හුරු නැහැ. ඒකට එක හේතුවක් තමයි, අපිට ඔළුවේ තියාගෙන ඉන්න අයිඩියාස් අමතක වෙන්න ඉඩක් තියෙන එක. අනික් එක තමයි, ලියන්න තියෙන වුවමනාව වුණත් අඩු වෙන්න පුලුවන්. අන්න ඒ නිසා හොඳම දේ තමයි, ලියන්න කලින්, ලියන දේ මොකක් හරි සැකිල්ල කලින් හදාගන්න එක. ඒක නෝට්පොතක වුණත් ලියාගන්න පුලුවන්. එහෙම නැතිනම් ඔය ඇප් එකක එහෙම මයින්ඩ්මැප් එකක් හදාගන්නත් පුලුවන්. ඊට පස්සෙ ආයෙ අමතක වෙයි කියලා බය වෙන්න දෙයක් නෑ.
අපි මොනදේ ලියන්නත් භාෂාව නැතුව බැහැනේ. එතකොට අපි ලියන්න අදහස් තියෙනවා කියලා පටන් ගත්තට විතරක් මදි, භාෂාව ප්‍රගුණ කරන්නත් ඕන. මෙතනදී අපි කියන්නේ තමන් ලියන භාෂාවේ අක්ෂර වින්‍යාසයේ සහ ව්‍යාකරණ වල සුපිරි ප්‍රවීණයෙක් වෙන්න ඕන ලේඛකයෙක් වෙන්න නම් කියන එක නෙවෙයි. හැබැයි තමන්ට ප්‍රාමාණික දැනුමක් භාෂාව ගැන නැතුව, පොහොසත් වාග්කෝෂයක් නැතුව මේ වැඩේ කරන්න අමාරුයි. එතකොට භාෂාව ඉගෙන ගන්න නම් කියවන්න සහ ලියන්න ඕන. එතකොට පොහොසත් වාග්කෝෂයක්, ඒ කියන්නේ වචන ඉගෙන ගන්න නම් ඒත් වැඩිපුර කියවන්න සහ ඒ කියවලා ඉගෙන ගන්න වචන භාවිතා වෙන්න ලියන්න ඕන. ඒ අතරේ, ඔය භාෂාව ඉගෙන ගන්න අන්තර්ජාලයේ එහෙම තියෙන සම්පත් පාවිච්චි කළාට කමක් නෑ.
සමහරු ලියන්නේ තමන්ගේ ජොලියට. හැබැයි එහෙම තමන්ගේ ජොලියට ලිව්වත්, නැතත්, දිගටම ලියන්න යම් කිසි මෝටිවේෂන් එකක්, උනන්දුවක් ඇති වෙන්න නම්, ඒ ලියන දේවල් කෙනෙක් කියවන එකත් වටිනවා. ඒකට හොඳ ක්‍රමයක් තමයි තමන් ලියපු දේවල් පබ්ලිෂ් කරන එක. ඒ ගැන අපි අන්තිමට කියනවා. එහෙම පබ්ලිෂ් කරන්න කලින් ඒ ලියපු දේවල් කියවලා කන්ස්ට්‍රක්ටිව් විදියට අදහසක් පළ කරන්න හැකියාව තියෙන කෙනෙක්ට කියවන්න දුන්නත් කමක් නෑ. ඕන නම් ෆේස්බුක් හරි, බ්ලොග් එකක හරි දැම්මත් කමක් නෑ,. හැබැයි එහෙම සෝෂල් මීඩියා වලට තමන් ලියන දේවල් එකතු කරනවා නම්, එතන වැටෙන කමෙන්ට්ස් ටිකට චූන් වෙලා, එතනම හිර වෙලා ඉන්න නම් එපා. ඒක කොහොමත් තේරුමක් නෑ.
Saru Fm Media