ආහාරයට එකතු කරගන්න පුළුවන් ගුණදායක පලා කොළ වර්ග. – Saru News Media | Lady | Women | Lifestyle | Health | Beauty

0
13

පලා වර්ග කීවම අපිට එක සැරේටම මතක් වෙන්නේ ගොටුකොළ, නිවිති හෝ මුකුණුවැන්න වගේ කොළ වර්ග කිහිපයක් විතරයි. නිතර කෑමට එක් කරගන්න  මේ කොළ වර්ගවල ඖෂධීය ගුණය ගැන අපිට කිසිම සැකයක් නැති වුණත්, කලවම් පලා මැල්ලුමකට, කොළ කැඳට එහෙමත් නැත්තන් පලා කොළ සම්බෝලයට එක් කරගන්න පුළුවන් තවත් ඖෂධ 8කොළ වර්ග 250කට අධික සංඛ්‍යාවක් අපේ රටේ තියෙනවා කීවොත් ඔබ එය විශ්වාස කරනවද? නොදැනුවත්කම නිසා ම ගෙවත්තේ වැවෙන මේ වගේ බොහෝ අප්‍රසිද්ධ ඔසු කොළ වර්ග ඔබට මඟහැරෙනවා වෙන්නට පුළුවන්. මේ නිසා, නිතර කෑමට එකතු කර නොගන්නා එවැනි පලා වර්ග කිහිපයක් ගැන විස්තර අඩංගු මේ ලිපිය ලියැවෙන්නේ පවුලේ සාමාජිකයින්ගේ පෝෂණය ගැන සැළකිලිමත් වෙන ඔබ වෙනුවෙන්ම යි. 

නිල් කටරොළු 

ආහාරයට පමණක් නොව ඖෂධ හා රූපලාවන්‍ය නිෂ්පාදනයටත් භාවිතා කරන ඔසු පැළෑටියකි. පත්‍ර කලවම් පලා මැල්ලුමටත්, කැඳ සෑදීමටත් යොදා ගන්නා ගන්නා අතර මල් තම්බා පානයක් වශයෙන් සකසා ගැනීමේ හැකියාව තියෙනවා. නිල් කටරොළු ශාකය ආහාරයට එක්කර ගැනීමෙන් දියවැඩියාව, හදවත් රෝග,2 මානසික පීඩනය සහ ශරීරයේ බර පාලනය වන බවත්, නිය, සම සහ කෙස් කලඹේ නිරෝගී බවට හේතු වන බවත් කියැවෙනවා. 

සුදු හඳුන් 

රූපලාවන්‍ය කටයුතුවලට පාවිච්චි කරන සුදු හඳුන් ආහාරයට ගැනීමටත් හැකි බව ඔබ සමහරවිට නොදැන ඉන්නට ඇති. ළපටි දළු සම්බෝලයක් වශයෙනුත්, තරමක් මේරූ කොළ, කැඳ සහ මැල්ලුම් වශයෙනුත් ආහාරයට එක් කරගැනීමට හැකි අතර නිරෝගි සමක් ලබා දීම, ආහාර ජීර්ණය පහසු කරවීම, ශරීරය සිසිල් කිරීමට වැනි ප්‍රයෝජන ගණනාවක් එමඟින් ලබාගන්නට හැකි වෙනවා.  

පොල්පලා 

කලවම් පලා මැල්ලුම් හෝ කැඳ සෑදීමේදි භාවිතා කරන්න පුළුවන් ඔසු වර්ගයක් වන පොල්පලා, සියලුම මූත්‍රා රෝගවලට කදිම පිළියමක් විදියට හඳුන්වනවා. ඊට අමතරව තම්බා ඔසු පානයක් වශයෙන් ලබා ගැනීමටත් හැකියාව තියෙනවා.

ඇඹරැල්ලා දළු 

එළවලුවක් සහ පළතුරක් වශයෙන් ගෙඩි ආහාරයට එක් කරගන්නා නමුත් ඇඹරැල්ලා දළු එතරම් ප්‍රචලිත ආහාරයක් නම් නෙවෙයි. සාමාන්‍ය පලා කොළ සම්බෝලයක් ආකාරයටම සකස් කරගැනීමේ හැකියාව ඇති ඇඹරැල්ලා දළු පිළිකා, හෘද රෝග, වකුගඩු රෝග, අජීර්ණ සහ අර්ශස් සහ ශරීරයේ බර පාලනයට සහය වෙනවා. 

පැණි තෝර 

පැණිතෝර ශාකයේ කොළ සහ මල් මැල්ලුම් සඳහා යොදා ගන්නවා. අධිරුධිර පීඩනය සහ දියවැඩියාව පාලනය කරවන මේ ඔසුව ශරීරයේ හිමොග්ලොබීන් ඌණතාවයට පිළියමක් ද වන බව කියැවෙනවා. රුධිරය පිරිසිදු කර සම පැහැපත් කරවන පැණි තෝර ශාකය මළබද්ධය සහ මානසික පීඩනය අවම කරවන ඔසුවක් විදියටත් පාවිච්චි කරනවා. හැබැයි ගැබිණි සහ කිරිදෙන මව්වරුන්ගේ ආහාරයට එකතු කිරීම නම් එතරම් යහපත් නොවන බවත් අපි මතක් කරනවා.

ලුණුවිල  

බැමිතිරිය යන නමිනුත් හඳුන්වන ලුණුවිල පැළෑටිය, කොළ සම්බෝලයක් හෝ මැල්ලුමක් වශයෙන් ආහාරයට එක්කර ගැනීමේ හැකියාව තියෙනවා. ශරීරයේ ලේ වැඩීමට, ප්‍රතිශක්තිය වර්ධනයට, විශේෂයෙන්ම  මතක ශක්තිය වැඩීමට හා බුද්ධි වර්ධනයට හේතු වන පලා වර්ගයක් වන ලුණුවිල පැළෑටිය මඳ තිත්ත රසයකින් යුතු පලා වර්ගයක් වනවා. හැබැයි, කොළ සම්බෝලයට යහමින් දෙහි ඇඹුල් එක්කර ගැනීමෙන් මේ තිත්ත රසය මඟහරවා ගන්න පුළුවන්කම තියෙනවා.

හීන් බෝවිටියා 

අලංකාර පුෂ්පයක් සහිත හීන් බෝවිටියා ශාකයේ පත්‍ර, කැඳ සහ කොළ සම්බෝල වශයෙන් සකසා ආහාරයට එක් කරගැනීමේ හැකියාව තියෙනවා. සෙංගමාලය සහ කොලොස්ට්‍රෝල් පාලනය කරවන ඔසු වර්ගයකි. හීන් බෝවිටියා පත්‍ර පමණක් යොදා සකස් කරගන්නවාට වඩා, වෙනත් කොළ වර්ග සමඟ මිශ්‍ර කර කැඳ සහ සම්බෝල පිළියෙල කරගැනීම වඩාත් සුදුසු වෙනවා.

නීරමුල්ලිය  

ඉකිරිය යන නාමයෙන්ද හැඳින්වෙන නීරමුල්ලිය, ජලාශ්‍රිතව පැළවෙන පැළෑටියකි. නිතර ආහාරයට එක් කර ගැනීමට නුසුදුසු වුවත් මූත්‍රා රෝගවලට, ලිංගික බෙලහීනතාවයට, දියවැඩියාවට, අධික රුධිර පීඩනයට සහ ප්‍රදාහ තත්ත්වයන්ටද ඉතා ගුණ දෙන ප්‍රතිකාරයක් වශයෙන් සැළකෙනවා. ළපටි නීරමුල්ලිය දළුවලට යහමින් දෙහි ඇඹුල් එක් කර සම්බෝලයක් ලෙස සහ කැඳ වශයෙන් පිළියෙල කරගැනීමේ හැකියාවද තියෙනවා.

කරපිංචා 

සාමාන්‍යෙන් කරපිංචා භාවිතා කරන්නේ ව්‍යංජන රස ගන්වන්න වුණත් ව්‍යංජනයේ ඇති කරපිංචා කොළය කෑමට ගන්න නම් අපි පෙළඹෙන්නේ නෑ. මේ නිසා සතියකට වතාවක්වත් කරපිංචා දළු සම්බෝලයක්, ලුණු මිරිසක් එහෙමත් නැත්තන් කැඳ විදියට හෝ ආහාරයට ගැනීමෙන් බොහෝ සෞඛ්‍යමය වාසි ඔබට අත් වෙනවා. යකඩ සහ විටමින් (A, C) අඩංගු කරපිංචා, කොලොස්ට්‍රෝල්, හෘද රෝග, අජීර්ණ තත්ත්ව, දියවැඩියාව, පිළිකා පාලනය කරන සහ තරුණ බව රැකදෙන ඖෂධයක් වශයෙන් සැළකෙනවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here