Google search engine
Home ආහාරපාන ඉන්දියානු රසට අල බැදුමක් කමු – Saru News Media

ඉන්දියානු රසට අල බැදුමක් කමු – Saru News Media

0
16

ලෝකයේ විවිධ රටවල විවිධ ජාතීහු විවිධ ආකාරයෙන් අර්තාපල් සකසා ආහාරයට ගනිති. ලංකාවේ ද විවිධ අල වර්ග දක්නට ලැබුණ ද අර්තාපල් අල බොහෝ දෙනාගේ තේරීම වේ. දානයකදී, පිරිතකදී මෙන්ම වෙනත් උත්සව අවස්ථාවලදී ද අර්තාපල් අලවලින් තොර ආහාර වේලක් දකින්නට නොමැති තරම් ය.

අල හොදි, අල චිප්ස් මෙන්ම අල බැදුම ද බහුලව දැකිය හැකි ආහාර වේ. එසේ ම කට්ලට් වැනි ආහාරවල මැද පිරවුම රසවත් කරගැනීමට ද යොදාගනී. ලංකාවේ විවිධ ප්‍රදේශවල අර්තාපල් විවිධ රසයට සාදනු ලබයි. ඒ ඒ ප්‍රදේශවලට ම ආවේණික වූ අල තෙල් දැමීම, ව්‍යංජන වර්ග සෑදීම, බිස්ටේක් දැමීම ආදිය දැකිය හැකිය.

ඉතින් අද අපි කියා දෙන්නේ බොහෝ දෙනෙකුට ලෙහෙසියෙන් මෙන්ම අලුත් ම රසයකින් අල බැදුමක් සාදා ගන්නා ආකාරය යි. උතුරු ඉන්දියානු ජාතිකයන් චපාති කෑමට බොහෝ විට සාදන්නේ මේ අල බැදුම ය. ආප්ප, රොටී වගේම පාන් සමග වුවත් මේ අල බැදුම නම් කෙනෙකුට අගේට රස විඳිය හැක. අලවල පිෂ්ඨය අධික ය. මේ නිසා දියවැඩියා රෝගී තත්වයෙන් පෙලෙන කෙනෙකු නම් පරිස්සමින් ආහාරයට ගත යුතු වේ.

හය දෙනෙකුට ප්‍රමාණවත් අල බැදුමක් සඳහා අවශ්‍ය දෑ :-

■ ලොකු අල ගෙඩි 5
■ රටළුෑණු ගෙඩි 4
■ රම්පේ / කරපිංචා ඉත්තක්
■ අමු මිරිස් කරල් 2
■ කුරුඳු පොත්තක්
■ සූදුරු තේ හැඳි 3
■ අබ තේ හැඳි 1
■ මිරිස් කුඩු තේ හැඳි 2
■ අමු තුනපහ කුඩු තේ හැඳි 3
■ ගම්මිරිස් තේ හැඳි ½
■ ලුණු තේ හැඳි 4
■ ගිතෙල් හෝ පොල්තෙල් මේස හැඳි 4 ක් පමණ
■ කොත්තමල්ලි කොළ මිටක් ද තිබුණොත් ඉතා හොඳය.

පළමුව අප කළ යුත්තේ අර්තාපල් ගෙඩි ටික පොතු ඉවත් කරගැනීම යි. ඉන් පසු අල ගෙඩිය අල චිප්ස් සඳහා කපන ආකාරයට දිගට කපා ගන්න. මෙහිදී මුලින් ම අවශ්‍ය ඝනකම පරිදි දිග අතට අල පෙති කපාගෙන ඉන්පසු කොටු හැඩය එන පරිදි අල පෙති කපා ගන්න. කපාගන්නා අල තීරු වතුර දැමූ භාජනයකට දමන්න. එවිට කහට ගතිය නොපිපේ.

දෙවනුව රටළුෑණු ගෙඩි ටික පොතු ඇර සාමාන්‍ය පරිදි කපාගන්න. කලින් කැපූ අල තීරු වතුර ටික පෙරා වෙනත් බඳුනකට දමාගන්න. එසේ දමාගත් බඳුනට කපාගත් රටළුෑණු ටික ද දමන්න.

දැන් එම බඳුනට ම මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, අමු තුනපහ කුඩු හා කුරුඳු පොත්තක් ද දමා හොඳින් කලවම් කරගන්න. ඔබේ රස පරිදි මිරිස් කුඩු හා තුනපහ කුඩු අඩු වැඩි කරගත හැක. දැන් එය පසෙකින් තබන්න.

සාස්පානක් හෝ තාච්චියක් ගෙන ලිප මත තබා රත් කරගන්න. තාච්චිය රත්වන විට ගිතෙල් ටික දමන්න. ඔබ ගිතෙල් රසට කැමති නැතිනම් පොල්තෙල් දමන්න. තෙල් ටික රත් වූ පසු මුලින් ම සූදුරු තෙලට දමන්න. වැඩිය කර කරගන්නේ නැතුව ගින්දර ටිකක් අඩු කරගන්න. එයට ම අබ ටිකත් දමන්න. අබ ඇට එක දෙක පුපුරන විට රම්පේ හා කරපිංචා එක් කරන්න. කපාගත් අමුමිරිස් කරල් ද ඒ තෙලට ම දමන්න.

රත් වූ බඳුනේ ඇති මිශ්‍රණයට අපි කලින් සකසා ගත් අල තීරු මිශ්‍ර කරගන්න. හොඳින් කලවම් කරන්න. ගින්දර මධ්‍යම ප්‍රමාණයේ තබාගැනීම හොඳ ය. අඩිය අල්ලන ගතියක් ඒනම් ගින්දර තවත් අඩු කළ යුතුය. දැන් එය කර මූඩියකින් හෝ පියනකින් වසා ගන්න.
විටින් විට මිශ්‍ර කරමින් කලවම් කරගන්න. මඳක් අල තැම්බීගෙන එද්දී ලුණු කුඩු ටික මිශ්‍ර කරන්න. අලවල තිබෙන වතුරින් ම අල ටික තැම්බේ. ඒ වගේම තෙලෙන් හොඳට ෆ්‍රයි වේ. අල ටික ෆ්‍රයි වෙනකොට සූදුරු සුවඳ මිශ්‍ර ඉතා මිහිරි සුවඳක් දැනේවි. අපි කපාගත් අල තීරු තැම්බෙන විට හා මිශ්‍ර කරන විට කුඩා ප්‍රමාණයට කැඩේ. නමුත් පමණට වඩා මිශ්‍ර කර අල ටික දියකරගන්න එපා. එවිට එහි ලස්සන නැති වේ.

මෙසේ අල මිශ්‍රණයේ වතුර ටික නැති වී හොඳට මැලවී ගිය පසු ලිප නිවා දමන්න. ඔබ කොත්තමල්ලි කොළවලට කැමති නම් මිටක් පමණ ගෙන විශාල කෑලි සේ කපා උඩින් ඉසින්න. මඳ වේලාවකින් මිශ්‍ර කරන්න. ඔබට දැන් ඉන්දියානු රසයට රසවත් අල බැදුමක රස විඳිය හැක. ඔබේ පවුලේ අයටත් සාදා දෙන්න. අවස්ථාව ලද විට සංඝයා උදෙසා පූජා කොට පින් රැස් කරගන්න. හීල දානයට පූජා කරගන්නේ නම් වඩාත් උචිත වේ.

“දත්වා ච භුත්වා ච යථානුභාවං
අනින්දිතෝ සග්ගමුපේති ඨානං

තමාගේ ශක්ති පරිදි ප්‍රණීත දන් දී, ප්‍රණීත ආහාර තමාත් අනුභව කොට නින්දා රහිත සුගතියෙහි උපදී”

“මනාපදායී ලභතේ මනාපං

මනාප දේ දෙන්නා මනාප දේ ලබයි” යනු බුදු වදන් ය. ඒ අනුව බලන විට ආහාරයට ගැරහීම නුසුදුසු ය.

ඔබට ජය ශ්‍රී. සුභ දවසක්!

ඔබේ හිතාදර

අෂාන් ඉමල්ක

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here