කුල භේදය ලංකා ඉතිහාසය වෙනස් කරන්න බලපාපු හැටි – Saru News Media

0
49

“අඩුකුලේ කියාලා අසරණයා මැඬලන්නෙ මෙ ලෝකේ වසලයා”

මේ ලංකාවේ එක යුගයක ජනප්‍රිය සිංදුවක්, දැනුත් ඉඳහිට ඇහෙනවා. ඒ වගේම පත්තරේ මංගල දැන්වීමක් ගත්තම සම කුල මනමාලයෝ, මනමාලියෝ හොයන දැන්වීම් තියෙනවා. සෙංකොට්ටං, සක්කාරං වගේ පොත් කියවද්දි අසරණ වුණු මිනිස්සු ගැන අපි කියවනවා. පන්සලේදි සුනීත,සෝපාක ගැන කියවෙන බණ කතා අහලා අපි සාධුකාර දෙනවා. මේ හැම තැනදිම මහ පොදු ගුණාකාරේ වෙන්නේ “කුලය” කියන ෆැක්ටර් එක. අද වෙද්දි සිංහල සමාජය ඇතුළේ ඉස්සර තරම් දරුණුවට නැති වුණත් කුලය ගැන කයි කතන්දර එහෙන් මෙහෙන් ඇහෙනවා. දෙමළ සමාජය ඇතුළේ කුලය ගැන දරුණුවට බලනවා. මේ ලිපියෙන් අපි කතා කරන්න හිතුවේ ලාංකිකයන් අතර කුලය කියන සාධකය බලපාපු තැන් කීපයක්.

 

මේක ඉතින් අපේ ඉතිහාසයේ තියෙන ප්‍රසිද්ධම ප්‍රේම කතාව වගේම කුල පලහිලව්ව. දුටුගැමුණු රජ්ජුරුවන්ගේ එකම පුතා සාලියගේ හිත පැහැරගන්නේ සැඩොල් සුරූපිනියක්, ඒ අපි දන්න කියන අසෝකමාලා. ඒ නිසා සාලිය කුමාරයට තමන්ගේ පියාගෙන් පස්සේ රජකම අහිමි වෙනවා. ඒ වෙනුවට රජකම හිමි වෙන්නේ දුටුගැමුණු රජතුමාගේ සහෝදරයා වුණු සද්ධාතිස්ස කුමාරයට. ඒත් සමහර ඉතිහාසඥයන්ට අනුව සාලිය කුමාරයගේ මවත් උසස් කියලා සම්මත කුලයක උපන් කෙනෙක් නෙමෙයි. ගැමුණු කුමාරයා කොත්මලේ ඉන්න කාලේ විවාහ වුණු කාන්තාවක් කියලා තමයි විශ්වාස කරන්නේ.

 

ලංකාවේ හාමුදුරුවරු අතර තියෙන නිකාය භේදයට මූලිකම හේතුව වෙලා තියෙන්නේ කුල භේදය කියන එක රහසක් නෙමෙයි. වැලිවිට ශ්‍රී අසරණ සරණ සරණංකර සංඝරාජ හාමුදුරුවෝ සියම් දේශයේ ඉඳන් උපසම්පදාව ගෙනල්ලා සියලු දෙනාටම උපසම්පදාව ලබා ගැනීමේ අවස්ථාව ලබා දෙනවා. ඒත් කීර්තී ශ්‍රී රාජසිංහ රජතුමා ගොවිගම කුලයේ අයට විතරක් උපසම්පදාව ලබා දෙන්න කියලා නියෝගයක් පනවනවා. මේ නිසා වෙනත් කුලවල අයට උපසම්පදාව ලැබීමේ අයිතිය අහිමි වෙනවා. මේ නිසා සලාගම කුලයේ සාමණේර ස්වාමීන්වහන්සේලා පිරිසක් බුරුමයට ගිහින් උපසම්පදාව ලබාගෙන අමරපුර නිකාය ඇති කරනවා. ඊට පස්සේ කරාව, දුරාව වගේ කුලවල සාමණේර ස්වාමීන්වහන්සේලා උපසම්පදාව ලබා ගන්න බුරුමයට යාමත් එක්ක අමරපුර නිකායේ පාර්ශව කීපයක් ඇති වෙනවා.

 

හික්කඩුවේ සුමංගල හාමුදුරුවොයි වැලිගම සුමංගල හාමුදුරුවොයි කියන්නේ අපේ රටට, බුද්ධ ශාසනයට සුවිශාල මෙහෙවරක් කරපු ස්වාමීන්වහන්සේලා දෙනමක්. ඒ වගේම නමින් විතරක් නෙමෙයි, මේ හාමුදුරුවරු දෙනම රූපයෙනුත් සමානයි. ඒ වගේම හොඳ මිත්‍රයෝ දෙනමක්. නමුත් මේ මිත්‍රකම මැද්දටත් කුල ප්‍රශ්නය එනවා. වැලිගම සුමංගල හාමුදුරුවෝ පොතක් ලියනවා ” ඉතිහාසය” කියලා. මේ පොතෙන් කරාව කුලය ඉතා ඉහළින් වර්ණනා කරලා තියෙනවා. මේ පොතට පිළිතුරු විදිහට කතුවරයාගේ නම සඳහන් නොවුණ “කේවට්ට ඉතිහාසය” කියලා පොතක් පිටවෙනවා. මේ පොත ලිව්වේ හික්කඩුවේ සුමංගල හාමුදුරුවෝ කියලා පස්සේ ආරංචි වෙනවා.

 

මේ සිද්ධිය සිද්ධ වෙන්නේ 1911දී විතර, එතකොට යටත් විජිත පාලකයන් ලංකාවට ව්‍යවස්ථාදායක සභාව කියලා අද පාර්ලිමේන්තුවට සමාන, ඒ වුණාට සීමිත බලතල තියෙන ආයතනයක් නිර්මාණය කරලා තිබ්බා. ව්‍යවස්ථාදායක සභාවට සභිකයන් තෝරන්න ඡන්ද බලයත් තිබ්බේ සීමිත පිරිසක් අතර. ඒ කාලෙදි ව්‍යවස්ථාදායක සභාවේ “උගත් ශ්‍රී ලාංකිකයන්” වෙනුවෙන් ආසනයක් වෙන් කරනවා. මේ ආසනය වෙනුවෙන් ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් සහ ශ්‍රීමත් මාර්ක්ස් ප්‍රනාන්දු තරග වදිනවා. ගොවිගම සිංහල ඡන්ද හිමියන් සියල්ලම වගේ රාමනාදන් වෙනුවෙන් ඡන්දය දෙනවා. හේතුව මාර්ක්ස් ප්‍රනාන්දු මහත්තයා කරාව කුලයට අයත් වීම.

 

සිංහල සමාජයට සාපේක්ෂව දෙමළ සමාජය ඇතුළේ කුල භේදය දරුණුවටම තියෙනවා. විශේෂයෙන් ඒ කාලේ යාපනේ පහත් යැයි සම්මත කුලයක කෙනෙක්ට උසස් කුලයක ගේක ළිඳකින් වතුර ගන්නවත් අවස්ථාව තිබ්බෙ නෑ. ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් මහතා කුල ක්‍රමය නීතී මගින් සම්මත කරන්න ඕන කියලත් අදහස් දක්වලා තියෙනවා. 1957 අප්‍රේල් මස අංක 21 දරන සමාජ දුබලතා වැළැක්වීමේ පනත කුල පීඩනයෙන් බැට කමින් හිටපු දෙමළ ජනතාව ඉන් මුදාගන්න සමත් වුණා. මේ පනත නිසා පහත් කුලයේ යැයි සම්මත දෙමළ දරුවන්ට පාසල්වල ඉගෙනීමට අවස්ථාව වගේම එම කුලවල බැතිමතුන්ට කෝවිල්වලට ඇතුළු වීමේ අවස්ථාව ලැබුණා. මේ පනතට දෙමළ ප්‍රභූ සමාජයෙන් එල්ල වුණේ දැඩි විරෝධයක්. සී. සුන්දරලිංගම් කියන ඒ කාලේ උතුරු පළාත නියෝජනය කරපු මන්ත්‍රීවරයා පහළ කුලවල අයට කෝවිල්වලට ඇතුළුවීම වැළැක්වීමේ ව්‍යාපාරයක් ගෙනගියා. ඒ නිසා ඔහුට නඩු පැවරීමෙන් අනතුරුව රුපියල් සීයක දඩයක් ගෙවන්න නියම කළා. ඔහු ඊට විරුද්ධව එංගලන්‍තයට පවා අභියාචනා ඉදිරිපත් කළත් වැඩක් වුණේ නෑ.

 

ලංකාවේ දේශපාලනේ ඇතුළේ වැඩිය පේන්න නැති වුණාට කුලය කියන සාධකයට වැඩි අවධානයක් ලැබෙනවා. සමහර ආසනවලට අපේක්ෂකයන් තෝරද්දි ඒ ආසනේ කුල පදනම ගැනත් ඒ ඒ පක්ෂ හිතනවා.ඒ වගේම සමහර ආසන නිර්මාණය කරලා තියෙන්නෙත් කුලය මත පදනම් වෙලා. උදාහරණයක් ගත්තොත් කරන්දෙණිය ආසනය, මේ ආසනය නිර්මාණය වෙන්නේ වහම්පුර කුලයේ ජනතාවට පාර්ලිමේන්තුව ඇතුළේ නියෝජනයක් ලබාදෙන්න. ඒ වගේම කලින් සමහර ආසන බහු ආසන විදිහට හඳුන්වලා තිබ්බේ විවිධ කුලවල අයට අවස්ථාව ලබා දෙන්න.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here