කෙහෙළියගේ නඩුවෙන් සැඟවුණු දේවල් එළියට – Saru News Media නවතම පුවත්

0
9

ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් ටෙන්ඩර් කොන්දේසි උල්ලංඝණය කරන ලද සැපයුම්කරුගෙන් ඊට අදාළ දඩ මුදල් අයකර නොගන්නා ලෙසට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා උපදෙස් දී ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය අධිකරණයේ දී අනාවරණය කළා.

ඒ අනුව බාල ඖෂධ නඩුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇතුලු සැකකරුවන් ලබන 6 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි මාළිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය ඊයේ නියෝග කළේ.

නඩු විභාගය ආරම්භ කරමින් අධිකරණ හමුවේ කරුණු දැක්වු නීතිපති දෙපාර්තමේන්තු වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය සදහන් කළේ රටේ හදිසි තත්ත්වයක් උද්ගතව ඇති බව සදහන් කරමින් අත්‍යවශ්‍ය ඖෂධ 170ක් ගෙන්වීමට අවශ්‍ය බව දැන්වුව ද මේ වන තෙක් රටට ලැබී ඇත්තේ ඖෂධ වර්ග 45ක් පමණක් බවයි.

ස්වාමිනි අදාළ ඖෂධ 45 සපයා ඇත්තේ කොහොමද කියලා හෙළිකර ගන්න එම ඖෂධ වර්ග සම්බන්ධයෙන් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් වාර්තාවක් කැදවන්න නියෝග කරන්න. ඒ වගේම මේ සිද්ධිය සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුවත් විමර්ෂණයක් ආරම්භ කරලා තියෙන හින්දා මේ සිද්ධියට අදාළ මුල් ලේඛන මොනවද කියලා අධිකරණයට දැනුම් දෙන ලෙසට ඔවුන්ට ද නියෝගයක් නිකුත් කරන්න.

මේ අතර අධිකරණය හමුවේ තවදුරටත් කරුණු දැක්වු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය තවත් නියෝග කිහිපයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඖෂධ මිල දී ගැනීම සදහා ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් මිලියන 200ක මුදලක් වෙන්කර තිබිය දී පෞද්ගලික අංශයෙන් ඖෂධ මිල දී ගැනීම සදහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව තවත් ඩොලර් මිලියන 50ක මුදලක් වෙන් කළේ කුමන හේතුවක් නිසා ද යන්න පිළිබදව රහස් පොලිසියට ප්‍රකාශයක් දෙන ලෙසට භාණ්ඩාගාර ලේකම්වරයා නියෝගයක් නිකුත් කරන්න.

යනුවෙන් ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා. අනතුරුව තවදුරටත් අධිකරණය හමුවේ කරුණු දැක්වු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සදහන් කළේ සති තුනක් තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටෙන බවට ව්‍යාජ භීතයක් කැබිනට් මණ්ඩලය තුළ මවා මෙම නඩුවේ අටවන සැකකරුවන වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා 2022 වසරේ මැයි 30 වනදා කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමෙන් බාල බෙහෙත් රජයේ රෝහල්වලට දීමට අවස්ථාවක් උදා කර ඇති බවයි.

එමෙන්ම මෙම සිද්ධියට සම්පුර්ණයෙන් ඔහු වගකිව යුතු බව ද ලක්මිණි ගිරිහාගම මෙනවිය අධිකරණයට දැනුම් දුන්නා. කෙසේ වෙතත් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඉතිරිව ඇති මුදල් හැකි ඉක්මනින් පාවිච්චි කිරිමේ ක්‍රමවේදයන් පිළිබදව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරීවරයාට හිටපු අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇති බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නා.

නමුත් සාමාන්‍යාධිකාරීවරයා ඊට යහපත් ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් කැබිනට් මණ්ඩලයට ඔහු මෙම බොරු භීතය මවා පා ඇති බව ද ඇය අධිකරණයට කියා සිටියා.

මෙහිදි නඩුවේ අටවන සැකකරු වන හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා මෙලෙස ප්‍රශ්න කර සිටියා.

මෙම සිද්ධියේ දී තමාගේ සේවාදායකයා කැබිනට් මණ්ඩලය නොමග යවා ඇති බවට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සදහන් කළා. නමුත් එලෙස නොමග ගිය කැබිනට් මණ්ඩල සාමාජිකයෙකුගෙන් මේ වන තෙක් ප්‍රකාශයක් සටහන් කර තිබෙනවා ද? එසේ කටඋත්තරයක්වත් නොගෙන තමයි මේ විදියට අධිකරණයට කරුණු දක්වන්නේ. මාර්තු 14 වනදා ඇප නියෝගයට පසුව මගේ සේවාදායකයා ගැන කළ විමර්ෂණයක දී ඔහුට එරෙහිව කිසිදු කරුණක් අනාවරණය වෙලා නැහැ. ඒ නිසා ඇප ලබාදීමට එය සුවිශේෂි කරුණක් ලෙස මා සදහන් කරනවා.

මීට පිළිතුරු ලබාදුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සදහන් කළේ,

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලංකාවට අරන් ඇවිත් තියෙන්නේ ඖෂධ 287න් එක් ඖෂධයක් විතරයි. ඒ වගේම පළවෙනි සැකකරු ලබාදීපු එකම ඖෂධ වර්ගයෙනුත් ඉතා හදිසි බව සදහන් කරපු ඖෂධ 22500ක ප්‍රමාණයෙන් වෛද්‍ය සැපයුම් අංශයට ලැබිලා තියෙන්නේ 100ත් / 250ත් / 400ත් අතර ප්‍රමාණයක් බවට දැනට හෙළිවෙලා තියෙනවා.

ඒ ඖෂධ සමහර අවස්ථාවල කාර් එකකින් / වෑන් එකකින් තමයි අදාළ ස්ථානවලට ගෙනිහිල්ලා තියෙන්නේ. සෙල්සියස් අංශක දෙකේ සිට පහ දක්වා උෂ්ණත්වයෙන් රෝගියාට ලැබිය යුතු ඖෂධ ප්‍රවාහනය කරලා තියෙන්නේ ඔය විදියට.

ඒ වගේම සැපයුම්කරුට වැඩ කරන දින පහකදී අදාළ ඖෂධ සම්පාදනය කිරීමට නොහැකි වුවහොත් ටෙන්ඩර් මුදලින් 25%ක දඩයක් අය කර ගැනීමට සැපයුම්කරුගේ ලන්සුවේ සදහන් කර තිබුණත් අදාළ ගාස්තු අයකර නොගන්නා ලෙසට මෙම නඩුවේ අටවන විත්තිකරු වන හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා දන්වා තිබෙනවා.

එම නිසා මෙම නඩුවේ අටවන විත්තිකරු වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඇප ලබානොදෙන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනි සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

කෙසේ වෙතත් ඉදිරිපත් වී ඇති සියලු කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරිය සදහන් කළේ නඩුවට අදාළව දැනටමත් රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවන්ට ඇප ලබාදීම සදහා සුවිශේෂි කරුණක් ඉදිරිපත් වී නොමැති බැවින් ඔවුන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි. ඒ අනුව සැකකරුවන් ලබන 6 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here