තරුණ පෙනුම රැක දෙන Body Scrub.. – Saru News Media

0
18

කාන්තාවන් බොහොමයක් දෙනා මුහුණේ සම පිරිසිදුව , නීරෝගීව සහ පැහැපත්ව තබා ගැනීම කෙරෙහි වැඩි උනන්දුවක් දැක්වුවත් ශරීරයේ සම කෙරෙහි එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ. නමුත් ඔබ විශේෂයෙන්ම සැලකිල්ලක් දැක්විය යුතු ශරීර අංගයක් තමයි ශරීරයේ සම කියන්නේත්. සතියකට දෙවරක්වත් ශරීරයේ සමෙහි මැරුණු සෛල ඉවත් කර විශේෂ සත්කාරයක් කළ යුතුයි. එමගින් මුහුණේ සම මෙන්ම නීරෝගී සහ පැහැපත් සමක් හිමි කර ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා. බොඩි ස්ක්‍රබ් එකක් කර ගැනීමේ වැදගත්කම සහ නිවසේදීම සකස් කරගන්නට පුළුවන් බොඩි ස්ක්‍රබ් වර්ග කිහිපයක් ගැනයි මේ ලිපිය

Body scrub එකක් කිරීමෙහි වාසි මොනවද ?

මැරුණු සෛල ඉවත් කිරීම

බොඩි ස්ක්‍රබ් එකක් කිරීමෙහි ප්‍රධානතම වාසිය වන්නේ සමස්ත ශරීරයෙහිම මැරුණු සෛල ඉවත් කිරීමයි.මෙමගින් ශරීරයේ මැරුණු සෛල ඉවත් කර , මෘදු සහ සිනිඳු සමක් ඔබට ලබා දීම සිදු කෙරෙනවා. ඔබේ ස්ක්‍රබ් එකට ඔබ එකතු කරන අමුද්‍රව්‍ය අනුව සමේ මැරුණු සෛල ඉවත් කිරීමට අමතරව සම පෝෂණය කිරීමද කරගත හැකියි.

කැලල් ඉවත් කිරීම 

වැක්ස් කිරීම , ශේව් කිරීම , තුවාල වීම්, පිළිස්සීම් හෝ වෙනත් විවිධ හේතූන් නිසා ඔබේ ශරීරයේ මතුපිට විවිධ කැලැල් තිබෙන්නට පුළුවන්. ඔබ පුරුද්දක් ලෙස බොඩි ස්ක්‍රබ් කිරීම සිදු කරන කෙනෙක් නම් ඔබේ ශරීරයේ ඇති මෙවැනි කැලැල් ක්‍රම ක්‍රමයෙන් අඩු වී යාම ඔබට දැකගත හැකි වෙනවා.

සමේ පැහැය වැඩිදියුණු කිරීම 

සම වියපත් වීමත් සමඟම සමය ප්‍රත්‍යස්ථතාවය නැති වී යාම ඉතාම සාමාන්‍ය දෙයක්. බොඩි ස්ක්‍රබ් එකක් කිරීම මගින් රුධිර ප්‍රවාහය උත්තේජනය කිරීමටත්, කොලජන් නිෂ්පාදනය වැඩි දියුණු කිරීමටත් ,ශක්තිමත් සහ තරුණ පෙනුමක් ඇති සමක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.මේ සමගම සමේ පැහැයද වැඩි දියුණු කිරීම සිදු වෙනවා.

ආලේපන වර්ග සමට හොඳින් අවශෝෂණය වීම 

මොයිස්චරයිසර් ඇතුලු සම ආරක්ෂණ නිෂ්පාදන සහ ආලේපන සමට හොඳින් අවශෝෂණය කර ගැනීමට බොඩි ස්ක්‍රබ් කර ගැනීම උපකාරී වෙනවා. සමේ මැරුණු සෛල ඉවත් වී නීරෝගී සමක් පවත්වාගෙන යන විට ඔබ භාවිතා කරන ආලේපන සහ නිෂ්පාදන සමේ ගැඹුරට යාම සඳහා ඉඩ සැලැස්වෙනවා. බොඩි ස්ක්‍රබ් කිරීමෙහි ඇති තවත් විශේෂ වාසියක් වන්නේ මෙයයි.

ආතතිය නැති කිරීම

බොඩි ස්ක්‍රබ් එකක් කිරීම මගින් ලබාගත හැකි , එහෙත් බොහෝ දෙනෙක් නොදන්නා විශේෂතම වාසියක් ලෙස ආතතිය නැති කිරීම සැලකෙනවා. බොඩි ස්ක්‍රබ් එකක් කිරිමේදි ශරීරයේ රුධිර සංසරණ ක්‍රියාවලිය හොඳින් සිදුවීම ආරම්භ වන අතර එමගින් මානසික ආතතිය බොහෝ දුරට පාලනය වීම සිදුවෙනවා.ඊට අමතරව බොඩි ස්ක්‍රබ් වල අඩංගු වන සුවඳ වර්ග මගින් ඔබේ මනස සන්සුන් කිරීම සහ ලිහිල් කිරීම සිදු කරනවා. 

නිවසේදීම සකස් කර ගත හැකි Body scrub  වර්ග මොනවාද ? 

Coffee and sugar scrub

අවශ්‍ය ද්‍රව්‍ය , සූදානම් කර ගැනීම සහ භාවිතා කරන ආකාරය

කෝපි කෝප්ප 1/2

සීනි කෝප්ප 1/2

ඔලිව් තෙල් තේ හැඳි 2

විටමින් E කරල් 3

සියලුම අමුද්‍රව්‍ය හොඳින් මිශ්‍ර කර ස්ක්‍රබ් එක සකස් කර ගන්න 

ඔබ සාමාන්‍යයෙන් භාවිතා කරන මෘදු සබන් වර්ගයක් හෝ බොඩි වොශ් වර්ගයක් භාවිතා කර සම හොඳින් පිරිසිදු කරගන්න.

සකස් කරගත් බොඩි ස්ක්‍රබ් එක ශරීරයෙහි ආලේප කර රවුම් චලිත ආකාරයෙන් මෘදු ලෙස ස්ක්‍රබ් කරන්න. විනාඩි දහයක හෝ පහළොවක කාලයක් මේ සඳහා වැය කරන්න.

මද උණුසුම් ජලය භාවිතයෙන් ස්ක්‍රබ් එක සෝදා හරින්න 

සතියකට දෙතුන් වතාවක් මෙය භාවිතා කරන්න 

මෙම ස්ක්‍රබ් එක ශරීරයේ සම මත ක්‍රියා කරන්නේ කොහොමද ? 

කෝපි ප්‍රතිඔක්සිකාරක වලින් සමන්විත වන අතර සීනි මගින් සමේ මැරුණු සෛල ඉවත් කිරීම ඉතා හොඳින් සිදු කරනවා. ඒ වගේම ඔලිව් තෙල් සහ විටමින් ඊ සම ගැඹුරින්ම පෝෂණය කරනවා.

Yogurt body scrub 

අවශ්‍ය ද්‍රව්‍ය , සූදානම් කර ගැනීම සහ භාවිතා කරන ආකාරය

යෝගට් මේස හැඳි 4 

ඔලිව් තෙල් මේස හැඳි 2 

මී පැණි තේ හැඳි 1 

සීනි මේස හැඳි 2 

සියලුම අමුද්‍රව්‍ය හොඳින් මිශ්‍ර කර බොඩි ස්ක්‍රබ් එක සකස් කර ගන්න

ශරීරය හොඳින් පිරිසිදු කරගෙන ස්ක්‍රබ් එක ආලේප කර විනාඩියක් පමණ තිබෙන්නට හරින්න

ඉන්පසුව රවුම් චලිත ආකාරයෙන් මෘදු ලෙස සම්භාහනය කරන්න

විනාඩි දහයක් පමණ සම්බාහනය කිරීමෙන් පසුව මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න 

සතියකට දෙතුන් වතාවක් මෙම සත්කාරය කරන්න 

මෙම ස්ක්‍රබ් එක ශරීරයේ සම මත ක්‍රියා කරන්නේ කොහොමද ? 

වියලි සමක් ඇති ඔබට මෙය හොඳම body scrub එකකි. යෝගට් සතුව විශේෂ පිරිසිදු කිරීමේ ගුණ ඇති අතර එමගින් ඔබේ සමේ මැරුණු සෛල සහ අපද්‍රව්‍ය ඉවත් කරනවා.ඒ වගේම සමට හොඳ තෙතමනයක් ද ලබාදෙන අතර ඔලිව් තෙල් සහ මී පැණි මගින් සමට හොඳ පෝෂණයක් ලබා දෙනවා. සීනි මගින් සමේ මැරුණු සෛල ඉවත් කිරීම සිදු කරනවා.

Turmeric scrub 

අවශ්‍ය ද්‍රව්‍ය , සූදානම් කර ගැනීම සහ භාවිතා කරන ආකාරය

කාබනික කහ කුඩු තේ හැඳි 2 

සීනි කෝප්ප 1

පොල් තෙල් කෝප්ප 1/2 

සියලුම අමුද්‍රව්‍ය හොඳින් මිශ්‍ර කර බොඩි ස්ක්‍රබ් එක සකස් කර කරගන්න

පිරිසිදු කරගත් ශරීරයෙහි සම මත scrub එක ආලේප කරන්න 

විනාඩි දෙකක් පමණ තිබෙන්නට හැර රවුම් චලිත ආකාරයෙන් මෘදු ලෙස විනාඩි 10 ක් පමණ ස්ක්‍රබ් කරන්න

මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න 

සතියකට දෙතුන් වතාවක් මෙම සත්කාරය කරන්න 

මෙම ස්ක්‍රබ් එක ශරීරයේ සම මත ක්‍රියා කරන්නේ කොහොමද ? 

කහ යනු වඩාත් ජනප්‍රිය ස්වාභාවික රූපලාවණ්‍ය අමුද්‍රව්‍යයක්.එහි ප්‍රබල විෂබීජ නාශක සහ ප්‍රතිබැක්ටීරිය ගුණ අඩංගු වන අතර එමගින් සමෙහි ඇතිවිය හැකි විවිධ කුරුලෑ තත්ත්වයන් පාලනය කරමින් සමෙහි පැහැයද වැඩි දියුණු කරනවා. සීනි මගින් සමෙහි මැරුණු සෛල ඉවත් කරන අතර පොල්තෙල් මගින් සමෙහි තෙතමනය ආරක්ෂා කර සම පෝෂණය කරනවා.

නිවසේදීම පහසුවෙන් සකස් කර ගත හැකි මෙම ස්ක්‍රබ් වර්ග භාවිතා කිරීම මගින් ඔබේ කාලයත් මුදලුත් ඉතිරි කර ගැනීමට හැකිවනවා වගේම දිගුකාලීන සහ ඉතා හොඳ ප්‍රතිඵල ලබා ගන්නත් ඔබට හැකියාව ලැබෙනවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here