Google search engine
Home දහම් ලිපි සරණිය මරණය සිහි කරන විටයි වීරිය වැඩෙන්නේ – Saru News Media

මරණය සිහි කරන විටයි වීරිය වැඩෙන්නේ – Saru News Media

0
36

පින්වතුනේ, පින්වත් දරුවනේ,
හිතන්න බැරි කෙනා කොයිතරම් වයසින් මේරුවත් දර කොටයක් වගේ තමයි. ඔහේ කාලා බීලා මැරිලා යනකම් දිරව දිරවා ඉන්නවා. හිතන්න බැරි කෙනාට, හිතේ කොයිතරම් අකුසල් ඇතිවුණත්, එ් ගැන කිසිම ගානක් නැහැ. අටුවන් බැහැපු දර කොටයක් වගේ තමයි. ජීවිතය අවබෝධ කරගන්න පුළුවන් හැකියාව තියෙද්දි අවබෝධ නො කර ඔහේ මැරිලා යනවා.

හිතන්න පුළුවන්කම නිකම් හිටියට ලැබෙන්නේ නැහැ. එයා හිතන්න පටන් ගන්න ඕන. එ්කට මම රහසක් කියන්නම්. හැබැයි මේව රහස් වුණාට එළිපිට තියෙන දේවල්. හිතන්න පුළුවන්කම ඇතිවෙන්න නම් මරණසතිය වඩන්න ඕන.

ඔබ මෙහෙම හිතන්න, ‘මම අද රෑට මැරුණොත් මම මැරෙන්නේ මේ අකුසල ධර්මයන්ගෙන් පිරිච්ච හිතක් තියාගෙන නේ ද? කර්මයට අනුවයි මරණින් පස්සේ උපතක් කරා යන්නේ… මම මගේ ජීවිතයට ආරක්ෂාවක් සලසාගෙන තියෙනවා ද?’ කියලා නිතර නිතර ම කල්පනා කරන්න ඕන. අන්න එතකොට හිතට බයක් ඇතිවෙනවා. අකුසල් ධර්මයන් ප‍්‍රහාණය කරන්න වීරියක් ඇතිවෙනවා. හිත ඉක්මනට ධර්මයන් තුළ පිහිටුවා ගන්න හැකියාව ලැබෙනවා.

ඔබ නිදාගන්න ලෑස්ති වෙනකොට මෙහෙම කල්පනා කරන්න, ‘බැරි වෙලාවත් මම නින්දෙන් මළොත් මට මොකද වෙන්නේ? එ් නිසා මම ඉක්මනට කුසල ධර්මයන්ගේ හිත පිහිටුවා ගෙන නිදාගන්න ඕන…’ කියලා නින්ද යනකම් ම විදර්ශනාව වඩන්න පුරුදු වෙන්න. උදේ නැගිටපු ගමන් කල්පනා කරන්න, ‘හප්පා! මම ඊයේ ? නම් යන්තම් බේරුණා. අද දවසේ මොකක් වෙයි ද දන්නේ නැහැ. මම අද දවසේ සිත, කය, වචනය සංවර කරගෙන මෛත‍්‍රී සහගතව ජීවත් වෙනවා. අකුසල ධර්මයන්ගෙන් හිත ආරක්ෂා කරගෙන, කුසල ධර්මයන් හිත තුළ පවත්වා ගන්නවා’ කියලා. මෙන්න මේ විදිහට තමයි හිතන ආකාරය හරි ගස්සගෙන ඉක්මනට ඉක්මනට වැරදිවලින් අත්මිදෙන්න, සිහිය පිහිටුවා ගන්න තියෙන්නේ. දැන් ඔන්න ඔබට මම ධර්මය අවබෝධ කරගන්න නම්, හිතන්න ඕන පිළිවෙළේ රහස ඉගැන්නුවා.

අපි මේ ජීවිතයේ දී ම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්න ඕන. එ් සඳහා මම කියපු ආකාරයට හිතන්න පටන් ගන්න ඕන. ‘මම සිහියෙන් ඉන්න කෙනෙක් වෙනවා. මම නුවණින් කල්පනා කරලා කටයුතු කරන කෙනෙක් වෙනවා. මම අකුසල් දුරු කරන කෙනෙක් වෙනවා. මම නුවණින් කල්පනා කරලා කටයුතු කරන කෙනෙක් වෙනවා. මගේ ජීවිතයේ වෙච්ච පරණ වැරදි ගැන, අකුසල් ගැන මම හිත හිතා පසු තැවෙන්නේ නෑ. මම අකුසල් ධර්ම ප‍්‍රහාණය කරලා, කුසල ධර්ම දියුණු කරගන්න කෙනෙක් වෙනවා’ කියලා ඔබේ හිතට දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕන. එතකොට ඔබටත් මේ ජීවිතයේ දී ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාර දුකින් නිදහන් වෙන්නට පුළුවනි.

මේ දහම් කරුණු ඔබ හැම දෙනාටම උතුම් ධර්ම අවබෝධ කරගැනීම පිණිස දහම් පඬුරක් ම වේවා!

හැම දෙනාටම තෙරුවන් සරණයි!

නමෝ බුද්ධාය!

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here