ලංකාවේ වැදි පරපුර ගැන තොරතුරු – Saru News Media

0
45

ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගැන හොයල බලන කෙනෙක්ට අනිවාර්යයෙන් වැදි ජනතාව ගැන අහන්න, කියවන්න ලැබෙනවා අනිවාර්යයෙන්. ඒ තරම් ඉතිහාසයක් ලංකාවේ වැදි ජනතාවට තියෙනවා . ඒක 1914දී වැදි ජනයා ගැන අධ්‍යයනය කරපු විල්හෙල්ම් ගයිගර් පවා වැද්දෝ යනු අභිමානවත් ජනතාවක්ය යන්නත් ඔවුන් ලංකාවේ මුල් අයිතිකරුවන් ලෙස සිංහලයන්ගේ ගෞරවයට ප්‍රාත්‍ර වන්නෝයයනුවෙනුත් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ගොඩක් දුරට පර්යේෂණ සිදුකරලා තියෙනවා වැදි ජනතාවගේ ආරම්භය ගැන සහ විකාශනය පිළිබඳවත්. ඉතින් අපි අද හොයල බලන්නෙ අන්න ඒ වැදි ජනාතාව ගැන විස්තර

 

ලංකාවේ වැදි ජනයාගේ සුලමුල එහෙම නැත්නම් ඔවුන්ගේ ආරම්භය ගැන ජනප්‍රවාද ගොඩක් තිබුණත් අපිට ලිඛිත මූලාශ්‍රයක් විදිහට ගන්න පුළුවන් මහාවංසයේ කියල තියෙන දේවල්. ඒකට අනුව විජය සහ කුවේණියට දාව දරුවන් දෙදෙනෙකු ලබෙනවා. ඉන් පස්සෙ විජය ඉන්දියාවෙන් තවත් කුමාරියක් ගේනවා. ඒ නිසා කුවේණිය නැවත තමන්ගේ යක්ෂ   ප්‍රජාව වෙත පිටත් කර හැරෙනවා.  ඒ ගිය අවස්ථාවේ ඇති වෙච්ච ආරවුලක් නිසා කුවේණිය ඝාතනය වෙනවා. ඉන් පස්සේ ඒ දරුවන් දෙන්නත් කැලයට පලා යනවා. ඒ යන්නෙ සමනළ කන්ද පැත්තට. ඉන් පස්සේ ඔවුන් දෙදෙනාගේ එකතු වීමෙන් ආරම්භ උන පරම්පරාව තමයි මේ වැදි ජනතාව කියල මහාවංසයේ සඳහන් වෙනවා. 

 

අද අපි වාසගම නමත් එක්ක පාවිච්චි කරනවා වගේ වැදි ජනතාවත් තමන්ව හඳුන්වාගන්න වරිග නාමයක් පාවිච්චි කරනවා. මූලිකව මේ වගේ වරිග හයක් විතර තියෙනවා. මොරාන වරු‌ගේ, උනාපාත වරු‌ගේ, ඌරු වරු‌ගේ, ඇඹල වරු‌ගේ, නමුඩන වරු‌ගේ, සහ තලා වරු‌ගේ තමයි ඒ හය. එහෙම කියද්දි නම් අපිට මතක් වෙන්නෙ ඌරුවරිගේ තිසාහාමි කියන වැදි නායකයාව.  ඊට අමතරව පදිංචිය අනුවත් වරිග වෙන් කිරීමක් තියෙනවා. ඒ හේ‌නෙ බැද්ද වරුගේ, ‌ගොඩතලාව වරු‌ගේ, එල‌කොතලිය වරු‌ගේ, සීතල වන්නිය වරු‌ගේ, ගිරාදුරු වරු‌ගේ, තමන්කඩුව වරුගේ, දෙහිගම වරු‌ගේ, ‌හොර‌බොර වරු‌ගේ, යක්කු‌රේ වරු‌ගේ, උනිච්චිය වරු‌ගේ වගේ වරිග. 

 

ආරම්භයේදි වැදි ජනතාව තමන්ට ජීවත් වෙන්න තෝරගත්තෙ ස්වභාවික ගල් ලෙන්. ඒත් පසුකාලීනව ගල් ලෙන් වලින් පැල්පත් වලට මාරු වීමක් වෙලා තියෙනවා. පැල්පත් වලට මාරු උනත් ඔවුන්ගේ සංක්‍රමණික ජීවිතය නම් අත ඇරියෙ නෑ. ආහාර රටාව ගත්තොත් මූලිකව දඩයම් කිරීම මගින් තමයි ආහාර අවශ්‍යතාවය සපුරාගන්නේ. ඒ උනත් දඩයම් කිරීමට අමතරව අල වර්ග එහෙමත් ආහාර විදිහට යොදාගත්තා. ඒ වගේම මී කැඩීමත් ඒ අයගෙ මූලික ආහාර ප්‍රභවයක්. ආහාරයට වගේම පිළිස්සුව මස් කල් තියාගන්නත් මී පැණි පාවිච්චි කලා. 

 

මේ ගැන පර්යේෂණ කරපු අය විවිධ මත පළ කරල තියෙනවා මේ වැදි භාෂාව සම්බන්ධව. ඒ අනුව වැඩි දෙනා පිළිගන්නේ වැදි ජනයා දඩයම් කිරීමේදී භාවිතා කරපු රහස් භාෂාවක් වැදි භාෂාව විදිහට දියුණු වුණා කියන මතයයි. ඉන් පස්සේ ඒ භාෂාව සිංහල භාෂාව එක්ක මිශ්‍ර වෙලා වැදි භාෂාව දැන් තියෙන අකෘතියට හැඩගැහිලා තියෙනවා. ඒ එක්කම වෙනත් භාෂා වලින් එහෙමත් වැදි භාෂාවට වචන එකතු වෙලා තියෙනවා. විශේෂයෙන් දමිළ භාෂාවෙන් ගොඩක් වචන වැදි භාෂාවට එකතු වෙලා තියෙනවා. 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here