විසි අවුරුදු විරාමයකට පසු නැවත ගිනිගත් ඇෆ්ඝනිස්තානය – Saru News Media

0
6

 ඇෆ්ඝනිස්තානය කියන්නේ කවදාවත් සාමකාමී රටක් නෙමෙයි. සෝවියට් කඩා වැදීම්, බ්‍රිතාන්‍ය ආක්‍රමණ ආදී අතීත යුධමය තත්ත්වයන් වලට පසුව 2002 දී ඇමරිකානු හමුදව ඇෆ්ඝනිස්තාන තලේබාන් ඇතුළු ඉස්ලාමීය අන්තවාදීන්ට ප්‍රහාර එල්ල කළා. ඒත් දැන් වසර 20ක් අවසානයේ නැවතත් තලේබාන් පාලනය ඇෆ්ඝනිස්තානයෙන් 70%කට වඩා පෙදෙසක් අත්පත් කරගෙන තියෙනවා. විශාල මුදලක් වියදම් කරලා හමුදා බලය යෙදෙව්වත් එයින් ත්‍රස්ත නායකයින් ඝාතනය වුණා හැර ඇෆ්ඝන් වැසියන්ට සෙතක් ශාන්තියක් වුණාද යන වග අද ලෝක මාධ්‍යවලින් දැඩිව ප්‍රශ්න කරනවා.

 

ජෝ බයිඩන් ජනපතිතුමා කියපු විදිහට 2001 දී පටන් ගත් ඇෆ්ඝනිස්තාන යුද්ධය ඇමරිකානු ජනාධිපතිවරු 4 දෙනෙකුට උරුම වුණා. ඒත් ඔහු තවදුරටත් යුද්ධය ඊළඟ ජනාධිපතිවරයෙකුට උරුම කරන්නේ නැහැ. මේ ගැන පළවූ මත නම් බයිඩන්ට සුබවාදී නැහැ. මොකද 2002දී ඇමරිකාව ඇෆ්ඝනිස්තානයට ගහනකොට බයිඩන් ඇවිල්ලා ප්‍රබල සෙනට් සභිකයෙක්. පසුව ඔබාමා පාලනය ඇෆ්ඝනිස්තානයට පහර දෙනකොට ජෝ බයිඩන් උප ජනාධිපති වෙලත් හිටියා. ඒ අනුව ප්‍රබල තැනක සිට, කොටින්ම ඇෆ්ඝනිස්තාන දේශපාලනය සමග සෘජු ගනුදෙනු කරන මට්ටමක සිටි අතීතයක් හිමි කෙනෙක් විදිහට බයිඩන් කෙලින්ම ඉක්මනින් ඇෆ්ඝනිස්තානයෙන් අමරිකානු හමුදා ඉවත් කරගැනීමේ වැඩපිළිවෙළ විවේචනයට ලක් වුණා.

 

ඇමරිකානු සෙබළුන් විදෙස් යුදබිම් වලදී ජීවිතක්ෂයට පත් වීම නූතන ඇමරිකාවට දැඩි ලෙස සංවේදී තත්ත්වයක්. සිය රටට එන සතුරු කරදරයකදී ඒ සඳහා හමුදා මැදිහත්වීමට මහජනතාවගේ සහාය ලැබෙනවා. ඒත් සිය දේශයෙන් බොහෝ දුර ඈත රටක ජනයා වෙනුවෙන් ඉස්ලාමීය සටන්කාමීන් සමග සටන් කිරීම ඇමරිකානු ජනතාව බහුතරයකට රුචි දෙයක් නෙමෙයි. මේ යුධ කටයුතු වලට ඇමරිකානු ඩොලර් ට්‍රිලියනයකට වඩා වියදමක් මේ 2001-2021 කාලයේදී වියදම් වෙලා තියෙනවා. ඒ වගේම මේ 2001 දී පටන් ගත් ඉරාක සහ ඇෆ්ඝන් යුධ කටයුතු වලදී ඇමරිකාව සිය හමුදා සෙබළු 7,000කගේ ජීවිත අහිමි කරගෙන තියෙනවා.

 

යුද්ධයක් කියන්නේ වෙඩි තියන එකම නෙමෙයි. යුද්ධයට සෑහෙන වියදමක් යනවා. ඒ වියදම මෙතෙක් කල් ඇමරිකාව දිනුවා. ඒ වගේම යුධ කටයුතු වලට සෑහෙන තාක්ෂණයක් අවශ්‍ය වෙනවා. මෙතෙක් ඇමරිකානු සෙබළු තලේබාන් ඉලක්ක වලට ගුවන් ප්‍රහාර එල්ල කළා. තලේබාන් ත්‍රස්තවාදීන්ට තිබුණ ලොකුම බාධකයක් තමයි ගුවන් ප්‍රහාර. ඇෆ්ඝන් ගුවන් හමුදාවක් හදලා යානාවන් දීලා ගියත් ඒ යානා නඩත්තු කරගැනීම මේ වෙද්දි ඇෆ්ඝනිස්තානයට ප්‍රශ්නයක් වෙලා.

 

ඇමරිකානු හමුදා ගොඩබැහැපු ඉරාකය, පැරණි වියට්නාමය වගේ රටවල ඇමරිකානු හමුදාවලට මහජන සහයෝගය ලැබුණේ අඩුවෙන්. ඒ රටවල තිබුණ දේශපාලන ප්‍රශ්න වලට වඩා ඇමරිකානු හමුදා සිය අවි කෙරේ විශ්වාසය තැබුවා. ඉතින් තලේබාන්වරුන්ට තවමත් ඇෆ්ඝනිස්තානයේ දුෂ්කර පළාත්වල ජනතාවගේ සහයෝගය ලැබෙනවා. 2002න් පස්සේ ඇෆ්ඝනිස්තානයේ ඉලක්ක වෙතට බෝම්බ වැටෙද්දි පාකිස්තානයේ අහුමුළු වල තලේබාන් සහ අල්ක්වයිදා සාමාජිකයින්, නායකයින් සැඟවුණා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here