සාර්ථක ඔන්ලයින් ඇඟළුම් ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුංචි උපදෙස් ටිකක් – BabyandMe.lk

0
5

ඇඳුම් කියන්නෙ ලේසියෙන් ඉල්ලුම අඩුවෙන නිෂ්පාදනයක් නෙමෙයි. මොකද කෑම වගේම ඇඳුම් පැළඳුම් කියන්නෙත් මූලික මිනිස් අවශ්‍යතාවයක්නේ. මූලික අවශ්‍යතාවයටත් එහා ගිහින් කාලෙන් කාලෙට එන විවිධ විලාසිතා අනුගමනය කරන එකත් මිනිස් ස්වභාවය. පහුගිය දවස්වල දැඩි කොරෝනා අවදානම නිසා හුඟ දෙනෙක් කඩවල් වලට යන එන එක සීමා කරල තිබුණත් මේ ඇඳුම් පැළඳුම් මිලදී ගැනිමනම් ඔන්ලයින් ක්‍රමයට හරි සිද්ධ වුණා. ඒ නිසාම පහුගිය කාලෙ online platforms හරහා හුඟක් ඇඟලුම් ව්‍යාපාර ආරම්භ කෙරුණ හැටි අපිට දකින්න පුළුවන් වුණා. හැබැයි ඉතින් මේ හතු පිපෙනව වගේ පටන් ගත්ත හැම ව්‍යාපාරයක්ම පාරිභෝගිකයින් අතරට ගිහිල්ල සාර්ථක වුණේ​නම් නැහැ. එහෙම ඔන්ලයින් ව්‍යාපාරයක් සාර්ථක කරගන්න එකත් හිතන තරම්ම ලේසි නැහැ කියන එකට මේ සිදුවීම හොඳ උදාහරණයක්. ඒ නිසාම අපි හිතුව සාර්ථක ඔන්ලයින් ඇඟලුම් ව්‍යාපාරයක් ආරම්භ කරන්න වගේම පවත්වාගෙන යන්න අවශ්‍ය පුංචි ටිප්ස් ටිකක් ඔයාලත් එක්ක බෙදාගන්න. 

මේ විශේෂයෙන්ම කතාකරන්නේ නිමි ඇඳුම් ව්‍යාපාරයක් ගැන වුණාට මේ උපදෙස්ම වෙනත් ව්‍යාපාර සඳහාත් භාවිතා කරන්නත් පුළුවන්. 

 

ඇඟලුම් එහෙමත් නැත්තම් නිමි ඇඳුම් කියල කියන්නෙ ඉතා විශාල පරාසයක තියෙන නිෂ්පාදන වර්ගයක්නේ. ඒ කියන්නෙ ඇඳුම් කිව්වම කාන්තා ඇඳුම්, පිරිමි ඇඳුම් විදිහට, ඊළඟට කලිසම්, කමිස, සායවල්, බ්ලවුස් විදිහට, යට ඇඳුම් විදිහට වගේ විවිධ විදිහට ඇඳුම් වර්ග කරන්න පුළුවන්. එකපාරම මේ හැමදෙයක්ම විකුණන්න හිතන එක කුඩා පරිමාණ ව්‍යාපාරයකට කොහොමත්ම සුදුසු නැහැ. එකක්වත් කරගන්න බැරුව වැඩේ ඇනගන්න පොටක් තමයි ඒ. ඒ නිසා ඉස්සෙල්ලම හිතල බලන්න ඕන මේ ආරම්භ කරන බිස්නස් එකෙන්  විකුණන්න තීරණය කරන්නෙ මොන ඇඳුම් වර්ගයද කියල. එක වර්ගයක් හෝ එකිනෙකට ගැලපෙන වර්ග දෙක තුනක් තෝරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ළමා ඇඳුම් සහ කාන්තා ඇඳුම් එකට විකුණන්න පුළුවන්. එහෙමත් නැත්තම් කාන්තා සහ පිරිමි කාර්යාල ඇඳුම් එකට විකුණන්න පුළුවන්. එහෙමත් නැත්තම් යට ඇඳුම් සහ රාත්‍රී නිදන ඇඳුම් එකට විකුණන්න පුළුවන්. මේ විදිහට විකුණන්න සහ සපයා ගන්න පහසු ඇඟලුම් වර්ග කිහිපයක් මුලින්ම තෝරගන්න.

 

ඊලඟ ප්‍රශ්නය වගේම ව්‍යාපාරයක ලොකුම අභියෝගය තමයි මේක. කොහොමද මේ ව්‍යාපාරයට අවශ්‍ය නිෂ්පාදන සපයාගන්නේ? ව්‍යාපාරය ගැන ඔයාගේ හිතේ තියෙන අනාගත සැලසුම අනුව තමයි මේ දේ මුළුමනින්ම තීරණය වෙන්නෙ. විශේෂයෙන්ම ඇඟලුම් වගේ ව්‍යාපාරයක. ඔයාට අවශ්‍ය කරන්නෙ සාමාන්‍ය ඇඟලුම් නිෂ්පාදන වෙළඳසැලක් පවත්වාගෙන යන්නනම්, ඒ කියන්නෙ උදාහරණයක් විදිහට කිව්වොත් Nolimit, House of Fashion වගේ ඇඳුම් කඩයක් කරගෙන යන්නනම් ඒකෙ ආරම්භක පියවර වශයෙන්නම් මේ ඔන්ලයින් ව්‍යාපාරය ආරම්භ කරන්නෙ ඔයාට පුළුවන් හොඳ සැපයුම්කරුවන් කිහිප දෙනෙක් හොයාගෙන ඔවුන්ගේ නිෂ්පාදනවල තත්ත්වය පරික්ෂා කරල ඒ නිෂ්පාදන මිලදී ගන්න. 

හැබැයි ඔයාගේ ව්‍යාපාර සැලසුම ඊට වඩා පුළුල් විශේෂ එකක්නම්, ඒ කියන්නෙ ඔයාට අවශ්‍ය කවදාහරි තමන්ගේම නිෂ්පාදන සන්නාමයක් වෙළඳපලට හඳුන්වාදෙන්න නම්, උදාහරණයක් විදිහට කිව්වොතින් Nils, Kelly Felder වගේ තැනකට මේ ව්‍යාපාරය දවසක අරගෙන එන්නනම්, මේ ඇඟලුම් නිෂ්පාදන ඔයාගෙම අධීක්ෂණය යටතේ නිෂ්පාදනය කෙරෙන්න අවශ්‍යයි. මේක ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක්. හැබැයි ඒ සඳහා අවශ්‍ය මූලික දැනුම ඔබ සතුව තියෙනවනම්, අධිෂ්ඨානය තියෙනවනම් කරන්න බැරි නැහැ. 

 

ලස්සන නමක් කියන්නෙ ඕනම බිස්නස් එකක සාර්ථකත්වයට බලපාන ප්‍රධානම අංගයක්. හොඳට හිතල ලස්සන, කාලෙට ගැලපෙන, කියවන්න වගේම මතක තියගාන්න පහසු නමක් තීරණය කරන්න. ඒ වගේම තමයි ලස්සන ලෝගෝ එකකුත්. මේ ලෝගෝ එක තමයිනේ ඇඳුමක් හෝ අදාළ බිස්නස් එකට සම්බන්ධ පෝස්ට් එකක් දැක්ක ගමන් ඕනම කෙනෙකුගේ ඇසට මුලින්ම ග්‍රහණය වෙන්නෙ.  ඉතින් ඒ නිසා මේ ලෝගෝ එක හදාගන්න වැඩේට ටිකක් වියදම් කළාට කමක් නැහැ. හොඳ ලෝගෝ හදන ග්‍රැෆික් නිර්මාණ කරුවෙක් සම්බන්ධ කරගෙන එයාගේ මිල ගෙවල ලස්සන ලෝගෝ එකක් නිර්මාණය කරගන්න. ඒ ගෙවන මුදල කවදාවත්ම නාස්තියක් වෙන්නෙ නැහැ. 

 

අපිට මේ ව්‍යාපාරය වෙබ් අඩවියක් හරහා වගේම ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් වගේ ඔන්ලයින් සමාජ මාධ්‍ය හරහාත් සිදුකරන්න පුළුවන්. ඒ තුන්විදිහටම කරන්නත් පුළුවන්. හැබැයි ඔය කොයි විදිහට ක​ළත් ඇඳුම් විතරක් නෙමෙයි ඕනම නිෂ්පාදනයක් විකුණන්න නම් ප්‍රමෝෂන් කරන්න වෙනවා. ඉතින් ඒව ගැන ටිකක් සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. ඊමේල් හරහා වෙබ් අඩවිය ප්‍රවර්ධනය කිරීම වගේ දේවල් උත්සාහ කරන්න පුළුවන්. ඒ වගේම ෆේස්බුක් එකේනම් ගෙවීමක් කරල තමන්ගේ පිටුව ප්‍රවර්ධනය කරගන්න පුළුවන්. එතකොට ඒ නිෂ්පාදන ගැන හොයන අදාළ කණ්ඩායම් වලට ඔයාලගේ නිෂ්පාදන ගැන දැනුම්දීම ෆේස්බුක් මඟින් සිදුකරනවා. ඒ මඟින් පේජ් එකට අලුත් පාරිභෝගිකයින් ආකර්ෂණය කරවගන්න පුළුවන්.  

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here