කට්ටියක් එක්ක හිත් රිද්දගන්නෙ නැතුව ආගම සහ දේශපාලනේ ගැන කතා කරන්නෙ මෙහෙමයි! – Saru News Media

0
8

දැන් ඔය සබාවක් මැද්දේ එහෙම කතා නොකළ යුතු මාතෘකා විදියට සැළකෙන ටොපික් රේන්ජ් දෙකක් තියෙනවා. එකක් තමයි ආගම. දෙක තමයි දේශපාලනේ. දැන් ඔය ආගම ගත්තහම ඇත්තටම සාකච්ඡාවකදී, කට්ටියක් හෝ සබාවක් මැද්දේ කතා කරන්න එපා කියන්නේ එකිනෙකාගේ ආගම් එක්ක තියෙන ගැටෙන්න පුළුවන් දේවල් තමයි. එතකොට දේශපාලනේ ගැන කතා කරන්න එපා කියනකොට, ඒ කියන්නේත් එකිනෙකාගේ දේශපාලන අදහස් එක්ක ගැටෙන්න පුළුවන් එව්වා කතා කරන්න එපා කියන එක තමයි. හැබැයි එහෙම කිව්වට, ආගම හෝ දේශපාලනය ගැන සංකල්පීයව, දාර්ශනිකව කතා කරන්න බැරිද? බැරි නෑ. ඒත් එහෙම කතා කරන්න ගත්තත්, ඒක ඉතාම ඉක්මනට පුද්ගලික අදහස් ගැටෙන තැනකට ගිහිල්ලා, හිත් රිදෙන, චාටර් වෙන තැනකට එන්න පුළුවන්. ආන්න ඒ නිසා, එහෙම දේවල් කතා කරනවා නම්, හරි විදියට කතා කරන්න දැනගෙන ඉන්න එක වැදගත්. මොකද, සදාකල් ආගම හෝ දේශපාලනේ ගැන කතා නොකර ඉන්න බැහැනේ.

 

මෙන්න මේක හරිම වැදගත්. විශේෂයෙන්ම ඔය ආගමික උමතුව හෝ දේශපාලන උමතුව තියෙන මිනිස්සු කරන වැරැද්දක් තමයි, බලහත්කාරයෙන් මිනිස්සුන්ව දේශපාලනය හෝ ආගම ගැන කතා කරන්න ඇදලා ගන්න එක. එතනදී ඇත්තටම මේ අයට ගොඩක් වෙලාවට ඕන කරන්නේ තමන් දරණ මතවාදයක් අනික් අයට ගිල්ලවන්න හෝ තමන් නියෝජනය කරන පක්ෂයක් හෝ ආගමක් හරියි කියලා අනික් අයට ඒත්තු ගන්වන්න. ඔය දෙකම ප්‍රශ්නකාරීයි. ආන්න ඒ නිසා, මුලින්ම තමන්ට එහෙම වුවමනාවක් තියෙනවා නම් කරුණාකරලා ශිෂ්ට සංවාද වලින් ඈත් වෙලා ඉන්න. එහෙම වුවමනාවක් නැති කෙනෙක් නම්, කිසිම විටකදී දේශපාලනය හෝ ආගම ගැන කතාව බලෙන් සංවාදයක් මැද්දට ඇදලා නොගන්න. ඒ වෙනුවට ඒක සංවාදය ඇතුළෙදී අදාළ වෙන අවස්ථාවේදී විතරක්ම කතා කරන්න. ඒකත් බොහොම ප්‍රවේසමෙන් කරන්න ඕන කියන එකත් අමතක කරන්න එපා. විශේෂයෙන්ම මොකක් හරි තර්කයක් කරන වෙලාවක, ඒක සාධාරණීකරණය කරන්න වගේ දේකට දේශපාලනය හෝ ආගම ඇදලා ගන්න එක ඉතාම අහිතකර වෙන්න පුළුවන්.

 

දේශපාලනය හෝ ආගම ගැන කතා කරන්න සිද්ධ වෙනවා නම්, මුලින්ම තමන් කතා කරන පදනම ගැන දැනුවත් කිරීමක් කරලා ඉන්න. ඒ කියන්නේ මෙතනදී මාතෘකාව වෙන්නේ මොකද්ද, ඒකට අදාළව දේශපාලනය හෝ ආගම සෙට් වෙන්නේ කොහොමද, එතකොට එක අපක්ෂපාතීව, නිරීක්ෂණ මත පදනම් වුණු විශ්ලේෂණ සහ නිගමන විදියටයි කතා කරන්නේ කියන එක කලින්ම කියලා ඉන්න. අන්න ඒක තමයි බේස් එක. දැන් ඒක මත පදනම්ව හැමෝටම බොහොම මධ්‍යස්ථ තැනක ඉඳලා කතා කරන්න පුළුවන්. 

 

උඩ කියලා තියෙන්නේ ඇත්තටම පක්ෂ හෝ ආගම් හෝ පෞද්ගලික මතවාද ගාවගන්නේ නැතුව දේශපාලනය හෝ ආගම ගැන කතා කරන්නේ කොහොමද කියන එකනේ. මෙතනදී අපි කොයි තරම් නිර්පාක්ෂිකව, මධ්‍යස්ථව කතාබහ කළත්, අපි අනික් අයගේ අදහස් උදහස් හෝ විශ්වාසයන් ගැන සංවේදී වෙන්නත් ඕන. උදාහරණයක් විදියට ගත්තොත්, අපි දේවවාදය විවේචනයකට ලක් කරන්න ගියොත්, එතන ඉන්න දේවභක්තිකයෙක්ගේ හිත රිදෙන්න පුළුවන්. ඒක අපහාසයක් නොවී විවේචනයක් වුණත් ඒ හිත් රිදිල්ල එහෙම්මම වෙන්න පුළුවන්. ආන්න ඒ නිසා සංවාදයකදී දේශපාලනය හෝ ආගම ඇදලා ගන්නවා නම්, හොඳම දේ තමයි හරිම ඩිප්ලොමැටික් විදියට කතා කරන එක. විශේෂයෙන්ම දේශපාලනය හෝ ආගම ගැන කතා කරනවා නම් ඇල් වතුරත් නිවලා බොන ලෙවල් එකට යන්නම වෙනවා. ඒ වගේම, විරුද්ධ වීම පවා ඩිප්ලොමැටිකලි කරන්න ඕන. ඒ කියන්නේ “මම ඒ මතය එක්ක ඒ තරම් එකඟ වෙන්නෙ නෑ, හැබැයි ඔයා මතු කරන කාරණය හරිම ඉන්ටරස්ටින්ග්” වගේ දේකින් එකඟ නොවීම ප්‍රකාශ කරන්න පුළුවන්.

 

දේශපාලනය හෝ ආගම ගැන කතා කරනකොට විතරක් නෙවෙයි, වෙන මොන දෙයක් ගැන කතා කරනකොට වුණත් මේක ඉතාම වැදගත්. ඒ තමයි අපි කතා කරන දේ ගැන සවිඥාණිකව සහ මනා දැනුවත් භාවයකින් යුතුව කතා කරන එක. විශේෂයෙන්ම අපි දකිනවනේ ඔය දේශපාලනය හෝ ආගම් සම්බන්ධයෙන් නොයෙකුත් තොරතුරු සමාජ මාධ්‍ය ඇතුළේ එහෙම සංසරණය වෙනවා. හැබැයි ඒ හැම තොරතුරක්ම විශ්වසනීය හෝ සත්‍ය වෙන්නෙ නෑ. ආන්න ඒ නිසා, විශේෂයෙන්ම දේශපාලනය හෝ ආගම සංවාදයකට අරගෙන කතා කරමින් ඉන්නවා නම්, තමන්ට මූලාශ්‍ර සහිතව ඔප්පු කරන්න පුළුවන් කාරණා විතරක් අරගෙන කතා කරන එක තමයි හරි විදිය. එහෙම නැතුව අරයා මෙහෙම කියල තියෙනවා, හරම කියල තියෙනවා වගේ කතන්දර එක්ක දේශපාලනය හෝ ආගම ගැන සංවාද කිරීමම නිශ්ඵල කාරණාවක්. ඒ ඇරෙන්න, තමන් කතා කරන දේ ගැන තමන්ගේ දැනුමකුත් තියෙන තරමට වැඩේ සාර්ථකයි. එහෙම දන්නෙ නැතිනම් සංවාදයට නොයා අහගෙන ඉන්න එක වඩාත් සුදුසුයි.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here