රැවටෙන්නේ නැතිව ජීවිත රක්ෂණයක ප්‍රතිලාභ ගන්න හැටි දැනගන්​න – Saru News Media

0
8

රක්ෂණය කියන්නෙ හරියට  පැරෂුට් එකක් වගේ. ඒක අවශ්‍ය වෙන වෙලාවට තමන් ළඟ නැති උනොත් ආයේ කවදාවත් ඒක ඕනේ නැති වෙන්න පුළුවන්. ඒ මොන දේ උනත් ශ්‍රී ලංකාවේ ජීවත් වෙන අපිට නම් ඉන්ෂුවරන්ස් ගැන තියෙන්නෙ ඒ තරම් හොඳ ආකල්පයක් නෙමෙයි. ඒකට ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා. එකක් රක්ෂණ නියෝජිතයින් කරපු නොයෙකුත් අකටයුතු. තව එකක් තමයි ජනතාව රක්ෂණ කටයුතු වලදී නිරවුල් සහ පැහැදිළි අවබෝධයකින් තොරව ක්‍රියා කිරීම. හැබැයි මෙහෙම එකකුත් තියෙනවා. දෙවෙනි අඩුපාඩුව නැති උනා නම් පළවෙනි අඩුපාඩුවත් ඉබේම නැති වෙනවා. කොහොම උනත් ජීවිත රක්ෂණය කියන මාතෘකාවට අදාළව රැවටෙන්නේ නැතුව ප්‍රතිලාභ අත්විඳින ආකාරය ගැන තමයි අපි අද කියල දෙන්නේ. 

 

විශේෂයෙන්ම මූලික අවධානයක් යොමු කරන්න ඕනේ මේ කාරණාව සම්බන්ධයෙන්. හොඳ රක්ෂණ ආයතනයක් තෝරාගන්න වැඩේ ටිකක් අමාරුයි. මොකද කිසිම ආයතනයක් කියන්නෙ නෑ තමන් හොඳ නෑ කියන එක. ඒක හොයාගන්න වෙන්නෙ අපිටමයි. හොඳ රක්ෂණ ආයතනයක් හොයාගන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. ඉන් ප්‍රධානම ක්‍රමය තමයි තමන් දන්නා කියන අයගෙන් ඒ ඒ ආයතන ගැන අහල ඒ අයගේ අත්දැකීම් කොහොමද කියල බලල තක්සේරුවකට එන එක. ඊට අමතරව අන්තර්ජාලය හරහා ඒ ඒ ආයතන ගැන හොයල බලන්න පුළුවන්, රක්ෂණ ආයතනයට ගිහින් බලල තොරතුරු කතා කරගෙන තක්සේරුවකට එන්නත් පුළුවන්. 

 

ජීවිත රක්ෂණයක් කියන්නෙ අරමුණු දෙකක් සාක්ෂාත් කරගන්න මිනිස්සු ලබාගන්න දෙයක්. එකක් ආයෝජන අරමුණ. අනික අවදානම් ආවරණය කිරීමේ අරමුණ. ඉතින් මේ අරමුණු ඇතුව ලබාගන්න අවශ්‍ය වෙන්නෙ තමන්ට ගැළපෙන රක්ෂණ ඔප්පුවක් මිසක් රක්ෂණ ආයතනයට හෝ රක්ෂණ නියෝජිතයාට අවශ්‍ය වෙන ඔප්පුවක් නෙමෙයි. ඒ නිසා තමන්ගේ අවශ්‍යතාවය මත තමන්ට අවශ්‍ය වෙන ආවරණ සහිතව තමන්ට ගෙවිය හැකි වාරික මුදලක් සහිතව රක්ෂණ ඔප්පුව තෝරාගන්න. මොකද ජීවිත රක්ෂණයක් කියන්නෙ අවුරුද්දක, දෙකක කාලයකට ලබාගන්න දෙයක් නෙමෙයි. මගදී ගෙවාගන්න බැරි උනොත් අපරාදේ.

 

ජීවිත රක්ෂණයක් වේවා අනෙක් ඕනෑම රක්ෂණයක් වේවා ඒවායින් ලැබෙන ප්‍රතිලාභ මොනාද කියන එක රක්ෂිතයා පැහැදිළිව දැනගෙන ඉන්න එක ඉතා වැදගත්. මොකද රක්ෂණ ඔප්පුවක් කියන්නෙ හැමදේම ලැබෙන කප්රුකක් නෙමෙයි. ඒවායින් ප්‍රතිලාභ ලැබෙන්නේ රක්ෂණ ඔප්පුව ලබාගන්න අවස්ථාවේදී දෙපාර්ශවය එකඟ වෙච්ච කරුණු කාරණා සහ කොන්දේසි අනුව. උදාහරණයක් විදිහට කිව්වොත් ජීවිත රක්ෂණ ඔප්පුව ලබාගෙන තියෙන්නෙ ඔප්පුව ලබාගෙන මාස හයකින් පස්සේ ප්‍රතිලාභ ලැබෙන විදිහට නම් මාස හයක් වෙන්න කලින් ප්‍රතිලාභ ලැබෙන්නේ නෑ කියන කාරණාව හොඳින් අවබෝධ කරගන්න. 

 

කලිනුත් කියපු විදිහට ජීවිත රක්ෂණ ඔප්පුවක් කියන්නෙ අවුරුද්දක දෙකක ගිවිසුමක් නෙමෙයි. බොහෝ දුරට අවුරුදු දහයක් හෝ ඊට වැඩි කාල සීමාවකට බලපැවැත්වෙන ගිවිසුමක්. ඉතින් බොහෝ දුරට ඒ ගිවිසුම ඇතිවෙන්නේ ‘උපරිම විශ්වාසය’ කියන මූලධර්මය මත. ඒකේදී දෙපාර්ශ්වයම තමන් අදාළ රක්ෂණ යෝජනාවේදී හෙළි කල යුතු කරුණු සත්‍ය හා නිවැරදි විදිහට හෙළි කළ යුතුයි. විශේෂයෙන් ඔබෙන් රක්ෂණ යෝජනා පත්‍රයේ අහන හැම පුංචි දේටම සත්‍ය සහ නිවැරදි තොරතුරු ලබා දිය යුතුයි. උදාහරණයක් විදිහට යෝජනා පත්‍රයේ ඔබෙන් අහල තිබුණොත් ඔබ කාලයක සිට කිසියම් රෝගී තත්ත්වයකින් පෙළෙනවද? යනුවෙන්, ඔබ ඊට ඔබේ සත්‍ය තත්ත්වය ප්‍රකාශ කළ යුතුයි. එහෙම තොරතුරු වසන් කළාම තමයි ඉන්ෂුවරන්ස් කියන දේට පස්සේ දොස් කියන්න වෙන්නෙ. හැබැයි ඒ වෙද්දී අදාළ රක්ෂිතයා ජීවතුන් අතර නොසිටින්නත් පුළුවන්. ඒ හෙළි නොකරපු කරුණු නිසා ජීවත් වෙන අයට තමයි බලපෑම සිද්ද වෙන්නෙ. 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here