SSP බැන්නාම ප්‍රෙෂර් නැගලා OIC රෝහලේ..

0
13

ඇල්පිටිය ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් ඇල්පිටිය මුලස්ථාන පොලිස් පරික්ෂකවරයාට බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් පොලිස්පති වරයාගේ නියමය පරිදි විධිමත් පරික්ෂණයක් ආරම්භ කර තිබෙන බව දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතා අද (02) ප්‍රකාශ කළේය.

ඇල්පිටිය ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් වැඩ තහනමට ලක් කරන ලද ඇල්පිටිය පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ උපපොලිස් පරික්ෂක ආර් ඥාණදාස මහතා පොලිස්පතිවරයාගේ උපදෙස් මත නැවත සේවයේ පිහිටවූ බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩි දුරටත් සදහන් කළේය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා රාජකාරි කටයුත්තක් ගැන විමසීමට ඉකුත් අප්‍රේල් 28 වන දින උදේ සහ සවස අවස්ථා දෙකකදී ඇල්පිටිය මුලස්ථාන පොලිස් පරික්ෂක අනුර විජේසිංහ මහතා සහ එම පොලිසියේ අපරාධ අංශයේ නඩු මෙහෙයුම් අංශ උප පොලිස් පරික්ෂක ඥානදාස මහතා සිය කාර්යාලයට කැදවා බැණ වැදී අපහාස කළේ යැයි පොලිස් අධිකාරිවරයාට චෝදනා ඒල්ල වී තිබේ.

පසුව ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් ඥාණදාස මහතාගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබුණි. සෙසු පොලිස් නිලධාරීන් ඉදිරියේ අපහාසාත්මක ලෙස චෝදනා කිරීමේ සිද්ධිය හේතුවෙන් මුලස්ථාන පොලිස් පරික්ෂකවරයාගේ ශාරිරික සෞඛ්‍ය තත්ත්වය හා රුධිර පීඩනය වැඩි විම නිසා ඔහු ඇල්පිටිය මූලික රෝහලට ඇතුලත් කිරීමටද පියවර ගෙන තිබුණි.

ඇල්පිටිය, කහදූව ප්‍රදේශයේ කාන්තාවක ඝාතනය කිරිමක් පිළිබඳව 119 හදිසි ඇමතුම් අංශයට කර ඇති පැමිණිල්ලක් අනුව අදාල විමර්ෂන නිසි පරිදි සිදුවූයේ නැතැයි චෝදනා කරමින් ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට බැණ වැදී ඇතැයි දැන ගන්නට තිබේ. ඇල්පිටිය කොට්ඨාශයේ ඇති පොලිස් ස්ථාන 12 කම ස්ථානාධිපතිවරු සහ නිලධාරින් ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ක්‍රියා කලාපයන් සම්බන්ධයෙන් දැඩි රාජකාරී පීඩාවකට පත්ව සිටින බවද ඇල්පිටියේ පොලිස් ස්ථානයන්ට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරුන් දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයාටද දැනුම් දී තිබෙන බවද කියයි. චෝදනාවට ලක්ව සිටින ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ලොකුහෙට්ටි මහතාගෙන් දුරකථනයෙන් කල විමසීමේ දී තමන් මේ වන විට පොලිස් පරික්ෂණ කටයුත්තක නියැලී සිටින බැවින් පසුව කතා කරන ලෙසද දැනුම් දුන්නේය.

ඇල්පිටිය කොට්ඨාශයේ සියලුම පොලිස් නිලධාරින් හා සිවිල් සංවිධාන මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ සාමාන්‍ය පුරවැසියකු පොලිස් නිලධාරියකුට සාපරාදී ලෙස බිය ගැන්විම සහ මානසික පීඩනය ඇති වන පරිදි අපහාසාත්මක වචන භාවිතා කල විට ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 486 සහ 490 යන වගන්ති යටතේ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට හැකි බවයි. ඇල්පිටිය ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා සම්බන්ධයෙන්ද ඒවන් ක්‍රියා මාර්ග ගන්නා ලෙස දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පති මගින් පොලිස්පතිවරයාට දන්වා තිබෙන බවද ඇල්පිටිය පොලීසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල දිසාව බාර නියොජ්‍ය පොලිස්පති ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා මෙසේ කීය.

‘ඔය කියන සිද්ධිය සම්බන්ධයෙන් තමන් වෙත ලැබුනු පැමිණිලි දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පති තුමාට සහ පොලිස්පති වෙත යොමු කලා. සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරික්ෂණයක් සිදුකර තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරිමට කටයුතු කරනව’

– ජයකාන්ත ලියනගේ

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here