අනුන්ගේ සම්ප්‍රදායන් පිළිපදිනවා වෙනුවට, තමන්ගේම මෝරල් කෝඩ් එකක්, සදාචාර මාලාවක් හදාගන්න උපදෙස්! – Saru News Media

0
19

තමන්ගේම මෝරල් කෝඩ් එකක් හදාගන්න කලින්, ඇත්තටම මෝරල් කෝඩ් එකක් නැතිනම් සදාචාර මාලාවක් කියන්නේ මොකක්ද කියන එක අපිට අවබෝධ කරගන්න වෙනවා. ඇත්තටම මෝරල් කෝඩ් එකක් කියන්නේ පුද්ගලයෙක්ට සදාචාරාත්මකව, ආචාර ධාර්මිකව හැසිරෙන්න ඉඩ සලසන, හරි වැරැද්ද මොකක්ද කියලා තීරණය කරන්න ඉඩ ලබාදෙන ප්‍රතිපත්ති, රීති මාලාවක් කියලා කිව්වොත් හරි. ඇත්තටම යම් රටක නීතියෙන්, එතකොට සංස්කෘතියෙන්, ආගමෙන් එහෙමත් මේ විදියේ සදාචාර මාලාවන් නිර්මාණය කරලා දීලා තියෙනවා. මෙතනින් තමන් ඉන්න රටේ නීතියෙන් පනවලා තියෙන හරි සහ වැරදි මාලාවට අනුගත වෙන්න ඕනම පුද්ගලයෙක්ට සිද්ධ වෙනවා. හැබැයි සංස්කෘතියෙන්, සම්ප්‍රදායෙන් සහ ආගමෙන් පනවලා තියෙන නීති රීති හෝ සදාචාරයන්ට අනුගත වෙන්නම ඕන කියලා නියමයක් නෑ. අන්න එතකොට, ඔය පැවතගෙන එන සදාචාරයන් පිළිපැදීම සහ නොපිළිපැදීම ගැටළු ඇති කරන්න මුල් වෙනවා කියන්න පුලුවන්.

උදාහරණයක් විදියට කිව්වොත්, අසල්වාසියාගේ වත්තට කුණු දැම්මොත්, ඒක නීතියෙන් විසඳන්න පුලුවන්. හැබැයි අසල්වාසියා එක්ක නිතරම ප්‍රශ්න ඇති කරගන්න එක, අසල්වැසියාට නරකට සලකන එක නීතියෙන් විසඳගන්න අමාරුයි. හැබැයි ඒක පුද්ගලයෙක්ගේ සදාචාරය ගැන ප්‍රශ්නයක්. පාරේ කුණු දැමීම වගේ එකක් වුණත් එහෙමයි.

දැන් තව ප්‍රශ්නයක් තමයි, ඔය සදාචාරය කියලා සම්ප්‍රදායෙන්, සංස්කෘතියෙන් කියලා තියෙන දේවල් කාලයත් එක්ක වෙනස් වෙනවා. උදාහරණයකට ගත්තොත්, ඉස්සර දෙන්නෙක් එකට ජීවත් වෙනවා නම් විවාහ වෙන්නම ඕන කියලා සදාචාරාත්මක නියමයක් තිබුණා. හැබැයි දැන් වෙනකොට එහෙම එකක් නෑ. ඕන නම් දෙන්නෙක්ට ලිවින් ටුගෙදර් සම්බන්ධයක් ගෙනියන්න පුලුවන්.

මෙහෙම බලනකොට, හොඳම දේ තමයි තමන්ගේම මෝරල් කෝඩ් එකක්, එහෙම නැතිනම් සදාචාර මාලාවක් නිර්මාණය කරගන්න එක. හැබැයි ඒක තමන්ට වාසි වෙන විදියට නෙවෙයි හදාගන්න ඕන. තමන්ට හරි වැරැද්ද තීරණය කරන්න පුලුවන් විදියට, තවත් කෙනෙක්ට හෝ සමාජයට හානියක් නොකර ජීවත් වෙන්න පුලුවන් විදියට තමයි ඒක හදාගන්න ඕන.

How to create a moral code for yourself

අපි ඉන්න ඕනම රටක විවිධාකාරයේ නීති තියෙනවා. එතකොට අපිට බැහැ අපි ඉන්න රටේ වුණත්, අපි යන රටක වුණත් නීතිරීති වලට පිටින් වැඩ කරන්න. උදාහරණයක් විදියට ගත්තොත්, ශ්‍රී ලංකාවේ මාර්ග නීති වල සඳහන් වෙනවා මත්පැන් හෝ මත් වෙන දෙයක් පාවිච්චි කරලා, ඒකේ බලපෑම යටතේ රිය පදවන්න බැහැ කියලා. එතකොට අපි මුලින් හිතන්න ඕන ඇයි එහෙම නීතියක් තියෙන්නේ කියලා. සරලයි. එහෙම නීතියක් තියෙන්නේ රිය අනතුරු වළක්වන්න. අන්න එතකොට, අපි නීතියෙන් වගේම පුද්ගලික වගකීමෙනුත් බැඳී සිටිනවා ඒ නීතිය ආරක්ෂා කරන්න.

හැබැයි මේ අතරේ තියෙනවා යල් පැන ගිය නීති එහෙමත්. සමහර වෙලාවට එහෙම නීති වලට අපිට අධිකරණයට ගිහින් පවා අභියෝග කරන්නත් හැකියාව තියෙනවා. උදාහරණයක් විදියට, කාන්තාවන්ට මත්පැන් මිලදී ගන්න තහනම් කියලා නීතියක් ලංකාවේ තියෙනවා. ඒක ක්‍රියාත්මක නොවීම වෙනම දෙයක්. හැබැයි එහෙම නීති වලට අපි ප්‍රායෝගිකව යටත් විය යුතු නැහැ.

මෙන්න මේ විදියට නීතිරීති පිළිපදින නීතිගරුක පුරවැසියෙක් වීමත්, ඒ නීතිරීති ප්‍රායෝගික මට්ටම එක්ක අවබෝධ කරගැනීමත් අවශ්‍යයි. ඒකත් තමන්ගේ මෝරල් කෝඩ් එකට එන්න ඕන.

How to create a moral code for yourself

මෙන්න මේක තමයි තමන්ගේ මෝරල් කෝඩ් එක හදනකොට හිතන්න ඕන ප්‍රධානතම කාරණය. ඒ තමයි, තමන්ගේ විවිධ ක්‍රියාකාරකම් වලින් තවත් කෙනෙක්ට හානියක් සිදුවෙනවද කියන එක. උදාහරණයක් විදියට ගත්තොත්, අපි තව කෙනෙක්ගේ නිශ්චිත අවසරයකින් තොරව, ඒ කෙනා එක්ක බලෙන් ලිංගික ක්‍රියාකාරකම් කරන්න යන එකෙන් ඒ කෙනාට වරදක් සිද්ධ වෙනවා. අපි කෙනෙක්ගෙන් මුදල් වංචා කළොත්, ඒකෙන් ඒ කෙනාට වරදක් සිදුවෙනවා. අපි කෙනෙක්ගෙන් මුදල් වංචා කරලා ඒ මුදල් දුප්පතුන්ට බෙදා දුන්නත්, අර මූලිකවම පළවෙනි කෙනාට වරදක් වෙනවා කියන කාරණය නැති වෙන්නෙ නෑ. අන්න ඒ නිසා, හැකිතාක් දුරට, තවත් මනුස්සයෙක්ට හෝ ප්‍රාණියෙක්ට තමන්ගෙන් වරදක් හෝ කරදරයක් වෙන්න පුලුවන් දේවල් නොකර සිටීම, නොකියා සිටීම හෝ ඒ වගේ දේවලට අනුබල නොදීම, අපේ මෝරල් කෝඩ් එකට එන්න ඕන.

How to create a moral code for yourself

කිසිම කෙනෙක්ට වරදක් හෝ කරදරයක් නොකර සිටීම අපේ මෝරල් කෝඩ් එකට එන්න ඕන කියලා උඩ කිව්වනේ. හැබැයි මෙතනින් එහාට තව තලයක් තියෙනවා. ඒ තමයි මේ ලෝකෙට හෝ පරිසරයට හෝ සමාජයට කිසිම වරදක් හෝ කරදරයක් අපෙන් සිද්ධ වෙන එකෙන් හැකිතාක් දුරට වැළකීමත් මෝරල් කෝඩ් එකට අවශ්‍යයි කියන එක. සරල උදාහරණයක් කිව්වොත්, අපි කියමු ප්ලාස්ටික් බෝතල්, පොලිතීන් අනං මනං තියෙන කුණු බෑග් එකක් අපි කුණු ලොරිය එනකල් එළියෙන් තියලා තියනවා. හැබැයි කුණු ලොරිය පරක්කු වෙනවා. වැස්සට මේ කුණු හේදිලා යනවා. වතුර එක්ක ගහගෙන යන මේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය වතුර පාරකට එකතුවෙලා, ඇළට වැටිලා, ගඟට වැටිලා අන්තිමට මුහුදට එකතුවෙනවා. දැන් තාක්ෂණිකව බැලුවහම අපි වැරැද්දක් කරලා නෑ. හැබැයි අපි පරිසර දූෂණයට, සාගර දූෂණයට දායක වෙලා තියෙනවා. බිග් පික්චර් එකේදී ඒක වැරදියි.

දැන් එතකොට අපි මොකක්ද කරන්න ඕනේ? කුණු ලොරිය එනකල් කුණු ටික ගේ ඇතුළේ තියාගන්න එකද? නැහැ. ඊට කලින් කරන්න පුලුවන් දෙයක් තියෙනවා. ඒ තමයි හැකිතාක් දුරට ප්ලාස්ටික් බෝතල්, පොලිතීන් වගේ දේවල් පාවිච්චියෙන් වළකින එක. ඒ වෙනුවට විකල්ප හොයාගන්න එක. වෙන විදියකට කියනවා නම්, අපේ සමාජය, පරිසරය, ලෝකය ගැන හිතන එකත්, මෝරල් කෝඩ් එකට ඇතුළත් වෙන්න ඕන.

How to create a moral code for yourself

කොන් කිරීම් සහ ගර්හා කිරීම් කියන දේවල් අපි දැන දැන හිතා මතාමත් කරනවා. සමහර වෙලාවට නොහිතාත් කරනවා. හැබැයි ඇත්තටම මේවත් නොකළ යුතු දේවල් විදියට අපේ මෝරල් කෝඩ් එකට එන්න ඕන දේවල්. විශේෂයෙන්ම සමහර දේවල් අපේ ආකල්ප වලට සහ සංස්කෘතියට එකඟ නොවෙන්න පුලුවන්. ඒත් අපිට ඒ දේවල් වලට ගැරහීමෙන් හෝ ඒ අයව කොන් කිරීමෙන් වළකින්න පුලුවන් වෙන්න ඕන. උදාහරණයක් විදියට ගත්තොත්, අපි කියමු අපි සමලිංගිකත්වය ස්වභාවික නොවෙන දෙයක් විදියට දකිනවා කියලා. හරි, ගැටළුවක් නෑ. ඒක තමන්ගේ පුද්ගලික දැනුම සහ පුද්ගලික විශ්වාස මත පදනම් වුණු පුද්ගලික අදහසක්නේ. හැබැයි අපිට අයිතියක් නෑ, එහෙමයි කියලා සමරිසිභාවයට හෝ සමරිසි පුද්ගලයින්ට ගර්හා කරන්න. ඒ අයව කොන් කරන්න. ඇත්තටම මේක එක උදාහරණයක් විතරයි. අපි ජීවත් වෙන සමාජය ඇතුළේ මේ විදියේ කොන් කිරීම් සහ ගැරහීම් ටොන් ගාණින් සිද්ධ වෙනවා. සරලවම, කාන්තාවන්ට වාහන එළවන්න බැහැ වගේ ස්ටීරියෝටයිප් එකක් අපේ ඔළුවේ තියෙනවා නම්, ඒක පවා කොන් කිරීමක් දක්වා දිගු වෙනවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here