අලුත් අවුරුද්දට රසවත් කැවිලි කිහිපයක් හදමු ද – Saru News Media | Lady | Women | Lifestyle | Health | Beauty

0
5

සිංහල හින්දු අලුත් අවුරුද්දත් නොදැනීම අත ළඟටම ඇවිත් නේද? ඉතින් කැවිලි ටිකක් එහෙම ලෑස්ති කරලා නව වසර ජයටම සමරන්න හිතන් ඉන්න ඔබ වෙනුවෙන් තමයි අපි මේ ලිපිය අරන් එන්නේ. එහෙනම් වැඩි විස්තර කතා නොකර අපි බලමු අලුත් අවුරුදු කෑම මේසයට නැතිවම් බැරි කැවිලි වර්ග කිහිපයක් සකස් කරගන්නේ කොහොමද කියලා.

මුං කැවුම්

අවශ්‍ය ද්‍රව්‍ය:- මුං ඇට ග්‍රෑම් 300, සහල් පිටි ග්‍රෑම් 200, පැණි කෝප්ප 2, සීනි ග්‍රෑම් 200, ලුණු, වතුර, උකු පොල්කිරි කෝප්ප 2, කහ ස්වල්පයක්, පොල්තෙල්, පාන් පිටි ග්‍රෑම් 200, බිත්තර 1

සකස් කරගන්නා ආකාරය:- සෝදා පිරිසිදු කරගත් මුං ඇටවල වතුර වියළාගෙන හොඳින් බැදගෙන grinder එකක් භාවිතා කර කුඩු කරගන්න. සහල් පිටි ග්‍රෑම් 200ත් බැදගන්න. දැන් වතුර කෝප්ප ½ ක්, සීනි සහ පැණි හොඳින් මිශ්‍ර කර ලිපේ තබා තරමක් ඝන වනතුරු උණු කරගන්න. මේ පැණිවලින් භාගයක් පමණ වෙන් කර වෙනත් බඳුනකට දමන්න. ඉතිරි පැණි, සහල් පිටි සහ මුං ඇට පිටි විනාඩි 10ක් පමණ මිශ්‍ර කරමින් පිසගෙන ලිපෙන් බාගෙන හොඳින් අනාගන්න. අවශ්‍ය නම් තවත් පැණි එකතු කර අනාගෙන අතේ නොඇලෙන ආකාරයේ පිටි මිශ්‍රනයක් සකස් කරගන්න අවශ්‍ය වෙනවා. පිටි ඉසින ලද ලෑල්ලකට මෙම මිශ්‍රනය දමා අඟල් ¼ ක් පමණ ඝනකම් වන තෙක් පැතලි කරගෙන මුං කැවුම් හැඩයට කපා, තෙල් ආලේප කරන ලද කෙසෙල් කොළවල අතුරන්න. පාන් පිටි, කහ කුඩු, ලුණු කුඩු, බිත්තරය සහ පොල් කිරි හොඳින් මිශ්‍ර කර මෘදු batter එකක් සකස් කරගන්න. කලින් සකස් කරගත් කැවුම් මෙම batter එකේ දවටාගෙන රන්වන් පැහැවන තෙක් ගැඹුරු තෙලේ බැදගන්න. 

වැලිතලප

අවශ්‍ය ද්‍රව්‍ය:- සහල් පිටි ග්‍රෑම් 500, පැණි බෝතල් ¼, ගාගත් පොල් ගෙඩියක්, සීනි ග්‍රෑම් 250, ලුණු, කරඳමුංගු කුඩු ස්වල්පයක්, වතුර 

සකස් කරගන්නා ආකාරය:- සහල් පිටි සහ  ලුණු (රස අනුව) හොඳින් මිශ්‍ර කර වතුර ස්වල්පය බැගින් එකතු කරමින් කැට සාදාගන්න. මේ පිටි මිශ්‍රනය steamer එකක් භාවිතා කර පිට්ටුවක ආකාරයට තම්බාගන්න. මෙය නැවතත් කැට වශයෙන් පොඩි කරගෙන මඳක් නිවෙන්නට හරින්න. තරමක් විශාල බඳුනක් ගෙන එයට පොල්, පැණි, සීනි, කරදමුංගු සහ ලුණු ස්වල්පයක් එකතු කර ලිපේ තියා හොඳින් හැඳිගාමින් පැණි පොල් සකස් කරගන්න. කලින් සකස් කරගෙන කැට කරගත් පිට්ටු මේ පැණි මිශ්‍රනයට දමා හොඳින් හැඳිගා ලිපෙන් බාගන්න. මේ මිශ්‍රනය ලෑල්ලක දමා පැතලි කරගෙන අවශ්‍ය ආකාරයට කැබලි කපාගන්න.

කළු දොදොල්

අවශ්‍ය ද්‍රව්‍ය:- සහල් පිටි ග්‍රෑම් 250, උකු පොල් කිරි ලීටර 1, සීනි ග්‍රෑම් 350, කජු මද, කරදමුංගු කුඩු තේ හැඳි 1, ලුනු ස්වල්පයක්

සකස් කරගන්නා ආකාරය:- බඳුනක් ගෙන එයට සීනි, පොල් කිරි, පිටි සහ ලුණු ස්වල්පයක් එකතු කර හොඳින් මිශ්‍ර කර ලිපේ තියන්න. මේ මිශ්‍රනයට සීනී caramel ද (සීනි ග්‍රෑම් 50කින් පමණ සකස් කරගත්) එකතු කර නොනවත්වා හැඳිගාමින් පිසගන්න. හැබැයි ගින්දර වැඩි කරගන්න එපා. පැය බාගයක් පමණ ගතවෙනකොට මතුවීගෙන එන තෙල් ඉවත් කරගෙන කජු මද සහ කරදමුංගු කුඩු එකතු කරගන්න. බඳුනේ නොඇලෙන පදමට සකස් වුණු දොදොල් මිශ්‍රනය තෙල් තැවරූ තැටියකට දමා කෙසෙල් කොළයකින් තද කර තුනී කරගන්න. පැය 24ට පමණ පසුව අවශ්‍ය පරිදි කෑලි කපාගන්න.

රුලං අලුවා

අවශ්‍ය ද්‍රව්‍ය:- රුලං ග්‍රෑම් 250, ගාගත් පොල් ගෙඩි බාගයක්, සීනි ග්‍රෑම් 500, වැනිලා ස්වල්පයක්, කජු මද ස්වල්පයක්, ලුණු, කරදමුංගු කුඩු ස්වල්පයක්, වතුර 

සකස් කරගන්නා ආකාරය:- වතුර කෝප්ප ½ ක් සහ සීනි ග්‍රෑම් 500 රත් කර පැණි සකස් කරගන්න. එයට කරදමුංගු කුඩු, ලුණු, වැනිලා සහ පොල් එකතු කර හොඳින් හැඳි ගාන්න.  කබලේ බැදගත් රුලං සහ කජු කැබලිත් එකතු කර ඝනවන තෙක් නැවතත් හැඳිගාන්න. Butter තැවරූ තැටියකට දමා තුනී කරගෙන අවශ්‍ය පරිදි කැබලි කපාගන්න.

කොකිස්

අවශ්‍ය ද්‍රව්‍ය:- සහල් පිටි ග්‍රෑම් 500, පොල් ගෙඩියකින් ගත් උකු පොල් කිරි, බිත්තර 1, ලුණු, කුඩාවට කපාගත් කරපිංචා කොළ කෝප්ප බාගයක්, පොල් තෙල්, කහ කුඩු, සීනි ස්වල්පයක්

සකස් කරගන්නා ආකාරය:- බඳුනක් ගෙන කහ, පිටි, සීනි සහ රස අනුව ලුනු යොදා හොඳින් මිශ්‍ර කරන්න. එයට පොල් කිරි සහ බිත්තරය එකතු කර හොඳින් කලවම් කර තරමක් උකු මිශ්‍රනයක් සකස් කරගන්න. මෙය පැයක් පමණ පිපෙන්නට තියා සිහින්ව කපාගත් කරපිංචා එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. තාච්චියක් ලිපේ තියා තෙල් දමා තෙල් හොඳින් රත් කරගෙන කොකිස් අච්චුව එයට දමා පදම් කරගන්න. ඉන් පසු කලින් සකස් කරගත් පිටි මිශ්‍රනයේ දවටමින් ගැඹුරු තෙලේ රන්වන් පැහැ වන තෙක් බැදගන්න.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here