එයා මැරිලා හුඟක් කල්.. 1 – Saru News Media

0
18

මම වාට්ටුව ඇතුලට හැමදාම උදේට එනකොට කලින් දවසේ ඇතුල් කරගත්ත ලෙඩ්ඩු පෝලිමට තියලා තියෙන එක රංජනී මිස්ගේ රාජකාරියයි. අදත් එහෙම ලෙඩ්ඩු තුන් දෙනෙක් හිටියා.දෙන්නෙක්ට තිබුණේ බොහොම සාමාන්‍ය තත්ත්වයේ රෝග. තුන්වෙනියා ඊට වඩා වෙනස්. එයා වචනයක්වත් කතා කරන්නේ නෑ.මම පැය දෙකක් විතර උත්සහ කළා ප්‍රහාන්ගෙන් වචනයක් එලියට ගන්න.

“රංජනී මිස්..ලෙඩා භාර දීපු ගෙදර අය මොකද කිව්වෙ.. මොකද මිස් දන්නවනේ..ලෙඩාගේ පෞද්ගලික විස්තර මම දැනගෙන ඉන්න එක මේ වගේ අසනීපයකදී ගොඩක් වැදගත් කියන එක..”

“මෙයාව ගෙදරින් නෙමේ සර් එව්වෙ. ඊයේ උසාවි නියෝග වලින් තමයි මෙහාට එව්වෙ. මම ඊට වඩා වැඩි විස්තරයක් දන්නේ නෑ.ඊයේ අපිට ප්‍රහාන්ව ගෙනත් දීපු පොලිස් ඔෆිසර්ව මම දැන් සර්ට සම්බන්ධ කරලා දෙන්නම්. කොහොමත් මම මිස්ටර් රාජරත්නම්ට කිව්වා සර්ට අනිවාර්යයෙන්ම මිස්ට‍ර් රාජරත්නම්ව හම්බවෙන්න ඕන වෙයි… ඒ හින්දා අද උදේ එන්න කියලා…ආ.. කියනකොටම ඔය එන්නේ ..මිස්ටර් රාජරත්නම් තමයි…”

රංජනී මිස් …බොහොම උස මහත දැඩි ශරීරයක් තිබිච්ච ප්‍රතාපවත් මනුස්සයෙක් මං ඉස්සරහට එනකොට පෙන්නුවා.

“ගුඩ් මෝර්නින් ඩොක්ටර් ..
මම රාජරත්නම්..”

“ගුඩ් මෝර්නින් මිස්ටර්..ආපු එක ගොඩක් හොඳයි.මට ප්‍රහාන්ගේ ඔක්කොම විස්තර ටික ඕන වෙනවා.”

“ඩොක්ටර් ..ප්‍රහාන්ව අපි එරෙස්ට් කලේ නං ක්‍රිමිනල් කේස් එකකට..
එයාගේ නෝනගේ මරණයට සැකපිට..
ඩොක්ටර් .. ප්‍රහාන් තවම අපේ සැකකාරයෙක් විතරයි. කිසිම දෙයක් ඔප්පු වෙලා නෑ.”

“අප්පා .. මේක ටිකක් සීරියස් කේස් එකක් වගේ නේද..”

“ඔව් ඩොක්ටර් … ප්‍රහන්ගේ සාක්ෂි… ප්‍රහන්ගේ කට උත්තර මේ හැම දෙයක්ම මෙයාගේ මේ ගොළුවිල්ල හින්දා ගන්න විදිහක් නැහැ.”

“ඒකනේ.. සමහරවිට මොකක් හරි ඒ වෙලාවේදී සිද්ධ වෙච්ච දෙයක් නිසා ප්‍රහාන් දැඩි කම්පනයකට ලක්වෙලා වෙන්න පුළුවන්..”

“ඇත්තටම ඩොක්ටර් ..රාජකාරිය පැත්තෙන් බලනකොට මට ප්‍රහන් කියන්නේ නිකම්ම නිකං සැකකාරයෙක් විතරයි. හැබැයි මෙතන මේ ප්‍රශ්නය මට වැදගත් වෙන්නේ ප්‍රහන් කියන්නේ මගේ හොඳම යාළුවා වීම ..”

මම පොලිස් ප්‍රධානී රාජරත්නම් දිහා බලාගෙන හිටියා. මම හිතුවට වඩා මේ සිද්ධිය බරපතල එකක් කියන එක මට තේරුණා.

“ප්‍රහාන්ගේ නෝනට බබෙක් හම්බවෙන්න හිටියා.ප්‍රහාන් සොෆ්ට් වෙයර්  ඉන්ජිනියර් කෙනෙක්. වැඩකාරයෙක්.. දෙපාරක් රාජ්‍ය නිල වෙබ් අඩවි හැක් කරලා මිනිහව අහුවෙලා තියෙනවා. හැබැයි දන්න තරමින් ප්‍රහාන් නරක කෙනෙක් නෙමෙයි . ඔය හැක් කිරිලි වුණත් කරලා තියෙන්නේ මිනිහගේ තරම පෙන්නන්න මිසක් හොරකමකට නෙමෙයි…
ඉතින් විස්තරය මේකයි ඩොක්ටර්. මේක ටිකක් විශ්වාස කරන්න බැරි සිද්ධියක්. මෙයාගේ නෝනට බබා හම්බවෙන්න තිබිලා තියෙන්නේ සති දෙකයි. ඔය අතරෙදි තමයි රාජ්‍ය නිල වෙබ් අඩවිය හැක් කරලා  දෙවනි පාරටත් මෙයාව අහුවුනේ.
දන්නවනේ අපේ ජනාධිපතිතුමා ටිකක් වෙනස් විදිහට හිතන කෙනෙක්නේ..පෙනුමෙනුත් කොල්ලා වගේ වැඩත් කොල්ලා වගේ..”

එහෙම කියපු රාජරත්නම් හිනා වුණා.රජරත්නම්ගෙ කතා විලාසය හරි සිත් ඇදගන්නා සුළුයි.හරියට කතන්දරයක් කියනවා වගේ ලස්සනට විස්තරය කියාගෙන යනවා. රාජරත්නම්ගේ කතාව අහගෙන ඉන්නකොට මට වෙලාව යනවා  තේරුනෙත් නෑ..

“ම්ම්.. ඉතින් ..”

“ඉතිං ඊට පස්සේ … මේ දෙවනි පාරටත් හැක් කිරිල්ල හරියටම මේ දවස්වල ප්‍රහාන්  කරලා තියෙන්නේ..හරියටම මේ හැක් කිරිල්ල කරලා තියෙන්නේ ප්‍රහන් කියලා දැනගත්තට පස්සේ සයිබර් අපරාධ අංශය හදලා තියෙනවා ප්‍රහාන්ව අත්අඩංගුවට ගන්න. එතකොට රත්නාලෝක සර් පුද්ගලිකව මැදිහත් වෙලා ඒ අත්අඩංගුවට ගැනීම නවත්තලා තියෙනවා. ඒ වෙනුවට රත්නාලෝක සර් කරලා තියෙන්නේ ප්‍රහාන්ටයි එයාගේ නෝනටයි රෑ කෑමකට ජනාධිපති මන්දිරයට ආරාධනා කරපු එක.”

“හරි .. හරි … දැන් මිස්ටර් රාජරත්නම් මට මෙන්න මේක කියන්නකෝ.. මේ විස්තර ඔක්කොම ඔයා කොහොමද දන්නේ?..”

“මේකනේ ඩොක්ටර්.. මේ ඉන්නේ  මගේ ඉස්කෝලේ කාලේ ඉඳලා හොඳම යාළුවා. ඉතින් ඌට වෙන හැම දෙයක්ම මම දන්නවා. ඒ වගේම තමයි  මේක මේ නඩු වාර කීපයක් කතා කරපු නඩුවක්.. දැන් අවුරුදු එකහමාරක් විතර මේක පරණයි. ආ මේ තියෙන්නේ..  මේ තියෙන්නේ  ඔක්කොම නඩු වාර්තාව.. සාමාන්‍යයෙන් මේවා එළියට ගන්න වෙන්නේ ඉල්ලීමක් කලාට පස්සේයි. ඒත් මට ඩොක්ටර් විශ්වාසයි. මම මෙහෙම දෙයක් අරගෙන ආපු බව එළියට දැනගන්න තියන්න එපා.ප්‍රහාන්‍ට මම උදව් කරන්නේ …. නඩුව පටන් ගත්තු දවසේ ඉඳන් මට මිනිහා වැරදි නෑ කියලා හිතෙනවා. මිනිහා අහිංසකයෙක්. ඒත් මම ඒක හරියටම කියන්න දන්නේ නෑ..  මම පුළුවන් තරම් මේ ප්‍රශ්නය විසඳගන්න මේ තරම් දත කන්නේ අහිංසකයෙක් හිර බත් කනවා බලන්න මම එදා ඉදලම අකමැතියි.ඒකයි. අනික මේක බාහිරෙන් ඉන්න කිසිම කෙනෙකුට උදව් කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි… මේ නඩු වාර්තා නම් ඩොක්ටට වැදගත් වෙයිද දන්නේ නෑ..ඒත් කමක් නෑ ඩොක්ටර්ට වෙලාවක් තියෙනවා නම් කියවලා බලන්න..අර කතාවක් තියෙනවානේ නීතිඥයාටයි වෛද්‍යවරයාටයි කිසි දෙයක් හංගන්න එපා කියලා..”

රාජරත්නම් එහෙම කියනකොට අපි දෙන්නම හිනා වුණා.

“ම්ම්.. ඉතින් ඊට පස්සේ..”

“ඔව් ඊට පස්සේ තමයි කතාව පටන් ගන්නේ…”

” රෑ කෑමකට ආරාධනා කරපු සිද්ධියෙන් පස්සේ මේ දෙන්නා ගෙදර ඇවිල්ලා තියෙන්නේ පහුවදා උදේ. එදා රෑ ජනාධිපති මන්දිරයේ හිටියා කියලා තමයි ප්‍රහාන්ගෙ අම්මා සාක්ෂි වලට කිව්වේ. එදා හවස තමයි ප්‍රහන්ගේ නෝනගේ අන්තිම ස්කෑන් එක තිබිලා තියෙන්නේ.
ජනාධිපති මන්දිරයේ රෑ ඉඳල ආවට පස්සේ ප්‍රහන්ගේ නෝනා කියලා තියෙනවා එයාට දැනෙනවා කියලා බබා දඟලන්නේ නෑ කියලා..ඒ හින්දා  එදා හැන්දෑවේ මේ දෙන්නා ගිහිල්ලා තියෙනවා ස්කෑන් එකට.
මෙන්න මෙතන ඉඳන් තමයි ඩොක්ටර් විශ්වාස කරන්න බැරි කොටස පටන් ගන්නේ.”..

” මට පොඩි බාධා කිරීමක් තියෙනවා මිස්ට රාජරත්නම්.. එදා රෑ කෑමට ජනාධිපති මන්දිරයට ගියාට පස්සේ ඇයි  ඒගොල්ලො උදේ ආවෙ..  ඇයි ජනාධිපති මන්දිරයේ රෑ නැවතුනා කියලා අම්මා කියලා තියෙන්නේ…”

මේ ප්‍රශ්නය ඇහුවහම රාජරත්නම් ටික වෙලාවක් මං දිහා බලාගෙන හිටියා.

“ඩොක්ටර් .. මේ කේස් එකේදී විසඳිච්ච නැති හුඟක් තැන් තියෙනවා… ඒ තැන්වලට උත්තර ගන්න පුළුවන් වෙන්නේ ප්‍රහන් කතා කලොත් විතරයි.. දැනට අපිට තියෙන ප්‍රශ්නය ප්‍රහාන් ගොලු වෙලා ඉන්නේ  ඇයි කියන එක දැනගන්නයි. ගොළුවොත් කතා කරවන බෙහෙත් අපි ළඟ තියෙනවා…හැබැයි ඒ ඇත්තටම වැරදිකාරයෙක් කියලා දැනුනොත් විතරයි. සමහර විට මේ සිද්ධිය සිද්ධ වුණේ වෙන මනුස්සයෙකුට නං ගොළුවො කතා කරවන බෙහෙත අපි දීලා තියෙයි.ඒත් මූ මගේ යාළුවා. ඒකයි මම ප්‍රහාන් ගෙ නීතිඥයා හරහා මේක ඇත්තක්ද නැත්තක්ද කියලා බලවන්න ඉක්මනින්ම ඉස්පිරිතාලයට දාගත්තෙ.”

“හරි ඊට පස්සේ කියන්නකො කතාව..”

“ම්ම්..මං කොතනින්ද නැවැත්තුවේ..
හරි .. ස්කෑන් එක… ඔව් එදා ගෙදර ඇවිල්ලා හවස තමයි ඒ දෙන්නා ස්කෑන් එකට ගිහිල්ලා තියෙන්නේ.. එතනදි තමයි විශ්වාස කරන්න බැරි කතාව පටන් ගන්නේ..”

“ඒ කිව්වේ..”

“ඒ කිව්වේ ඩොක්ටර්.. ස්කෑන් එකේදී ස්කෑන් කරපු ඩොක්ටර් උඩ බිම බැලුවලු. ආශිකා.. ඒ කියන්නේ ප්‍රහාන් ගේ නෝනගෙ බඩේ හිටපු ළමයා දුංකොළයක් වගේ වේළිලා ගිහිල්ලලු. සම්පූර්ණයෙන්ම වේළිලා දුංගහපු මස්වැදැල්ලක් විතරක් වෙලා තිබුණා ලු…”

පොලිස් ඔෆිසර්ගෙ කතාව අහගෙන හිටපු මටත් හීල්ලුනා.

“මොකක්.. මගේ ප්‍රොෆ්‍ර්ශනල් ලයිෆ් එක දැන් අවුරුදු විස්සකටත් වැඩියි.කවදාවත් ඔහොම කතාවක් අහලා නෑ..
මිස්ටර් රාජරත්නම්..මේ කේස් එක පත්තරේ ගියේ නෑ නේද..මීඩියා එකකින්වත් ගියේ නෑ නේද..මෙච්චර ලොකු හේතුවක් තිබුන කේස් එකක්  නැත්නම් මට මතක නොහිටින්න විදිහක් නැහැ.”

රාජරත්නම් මං දිහා බලාගෙන හිටියා.

“මෙතන අපි නොදන්න ගොඩක් දේවල් තියෙනවා ඩොක්ටර්. හැබැයි මම …මේ කේස් එක අග ඉඳන් මුලටම හොයනවා.මේකෙ අවසානයේ මොකක් වෙයිද කියන්න මමවත් දන්නෙ නෑ.මේ කේස් එක පටන් ගත්තු දා ඉදන්  මේකට කිසිම මීඩියා කවරේජ් එකක් දෙන්න තහනම් කියලා රත්නාලෝක සර් කිව්වා.”

“ඒ මොකද …”

“ඒක මට හරියටම කියන්න බැහැ.සමහර විට ප්‍රහාන් රාජ්‍ය විරෝධී වැඩක් කරලා තියෙන කොටත් දඬුවම් දෙන්න නොදී ජනාධිපති මන්දිරයට ගෙනල්ලා ඩිනර් එකක් දීම සම්බන්ධයෙන්
රත්නාලෝක සර්ට කේස් එකක් වැටෙයි කියලා බය හිතුනද දන්නේ නැහැ..”

“ම්ම්.. ඇත්තටම මිස්ටර් රාජරත්නම් .. එක්ස්ට්‍රිම්ලි සොරි මෙහෙම අහනවට… ඇත්තටම ඇයි ප්‍රහාන් ට දඬුවම් දෙන්න නොදී ඩිනර් එකකට කතා කලේ..”

මම එහෙම අහනකොට රාජරත්නම් මං දිහා බලං උන්නේ හරියට ඩිස්ප්ලේ එලිය වැඩි කරපු ස්ක්‍රීන් එකක් දිහා ඇස් පුංචි කරගෙන බලන් ඉන්නවා වගේ…

“ඩොක්ටර් … මම හිතුවට වඩා මේ කතාව දුරදිග යනවා..මං කියන්නේ මම ඩොක්ටර්ගේ වෙලාව ගොඩක් නාස්ති කරනවා..
ම්ම්..අපි මෙහෙම කරමු.අද හවස හයෙන් පස්සේ ඩොක්ටර් මොකද කරන්නේ?…..”

The post එයා මැරිලා හුඟක් කල්.. 1 appeared first on Saru News Media.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here