එයා මැරිලා හුඟක් කල් 2 – Saru News Media

0
23

එදා දවසම හොස්පිට්ල්  එකේ මට වැඩ පිරිලා තිබුණා.ප්‍රහන්ගේ ඔක්කොම ලියකියවිලි  මම බැලුවා.  විශේෂයෙන් රාජරත්නම් ගෙනල්ලා දීපු නඩු වාර්තා ඔක්කොම කියවල බැලුවා. මට හිතුණා ඒ නඩුව උඩින් පල්ලෙන් යන නඩුවක් කියලා.අහන්න ඕනෙ හුඟක් ප්‍රශ්න අහන්නේ නැතුව වැදගැම්මකට නැති දේවල් විතරක් කතා කරලා කියලත් මට හිතුනා.
ප්‍රහන්ව විශේෂ එක්ස් කිරන පරීක්ෂණ දෙකකටත් විශේෂ සීටී ස්කෑන් පරීක්ෂණ දෙකකටත්  යොමු කරන්න කියලා මම ලිව්වා. බ්ලඩ් සාම්පල් වගයක් චෙක් කරන්නත් ලිව්වා. මටත් ඇත්තටම මේ සිද්ධිය ටිකක් විශේෂ සිද්ධියක් වුණා.මෙච්චර කාලෙකට මට හම්බවෙලා තියෙන්නේ එක්කෝ ප්‍රේම සම්බන්ධතාවයක් හින්දා.. නැත්තං තමන්ගේ ස්වාමිපුරුෂයා හරි බිරිඳ එක්ක හරි  ඇතිවෙච්ච වේදනාවක් හින්දා ගොළු වෙලා ඉන්න මිනිස්සු…

මිනීමැරුම් සිද්ධියකදී ප්‍රධාන සැකකාරයා වගේම  මහා අද්භූත සිද්ධි දාමයක එකම සාක්ෂිකාරයා මේ විදිහට ගොළු වෙලා ඉන්නවා දැක්ක පළවෙනි අවස්ථාව. මේ සිද්ධිය හොයලා බලන්න මටත් ගොඩක් ලොකු පෞද්ගලික උනන්දුවක්  ඇතිවුණා. රාජරත්නම් ඇත්තටම අවංකව සේවය කරන නිලධාරියෙක් කියල මට හිතුණා. ඒ හින්දා මම පුළුවන් තරමින් රාජරත්නම්ට උදව් කරනවා කියලා හිතුවා.

ප්‍රහාන්  කෑම බීම ගැනීම පවා බොහොම අඩු කරලා තිබිච්ච හින්දා එයාට සේලයින් ඩෝස් එකක් නියම කරන්නත් මට සිද්ධ වුණා.සාමාන්‍ය ලෙඩෙකුට බේතේ හේත් කරන විදිහට ප්‍රහන්ට බෙහෙත් කරලා හරියන්නෙ නැති බව මට තේරුණා.ඒ හින්දමයි මේ ප්‍රශ්නය කොච්චර පෞද්ගලික ප්‍රශ්නයක් කියලා දැනුනත් මේකෙ අභ්‍යන්තරය ගැන මට දැනගන්න ඕන වුණේ.

එදා හවස හය හමාරට කැලිඩෝ එකේදී මමයි රාජරත්නමුයි හම්බවුණා. ඒක බොහොම නිස්කලංක තැනක්.අපි දෙන්නා හිටියේ හරියටම මුහුද පෙනෙන වම් පැත්තේ මේසේ.එතන හොඳ සනීප හුළඟක් දැනුනා. ඒ වගේම සෙනග වැඩිය ගැවසෙන්නේ නැති ඉසව්වක් හින්දා අපි දෙන්නට නිදහසේ කතා කරගෙන යන්න පුළුවන් වෙයි කියලා හිතුවා.

“ඩොක්ටර් බොහොම ස්තූතියි මේ ප්‍රශ්නයට මැදිහත් වෙලා මට උදව් කරනවට..”

රාජරත්නම් එහෙම කිව්වේ ලෙමන් ජින් වීදුරුවෙ සුදු පිනි එලියට  මතු වෙනකම් හරියටම අයිස් කැට හතරක් ක්ලොට් ක්ලොට් ගාලා දාන ගමං..

මම හිනා වුණා.

“නෑ මිස්ට රාජරත්නම්.. පර්සනලි මම මේ කේස් එකට ඉන්ටරස්ට් වේගෙන එන්නේ.. මට හිතෙනවා මේ සිද්ධිය ඇතුලේ මොකක් හරි විශේෂත්වයක් ඇති කියලා…මගේ පැත්තෙන් කෙරෙන්න ඕනේ හැම දෙයක්ම මේ කේස් එකේදී මම කරන්න උත්සාහ කරනවා.මටවත් හිතා ගන්න බෑ මේ කේස් එක ඇයි මේ තරම් මාව පොලබවන්නෙ කියලා ..”

“ඇත්තටම ඩොක්ටර් .. මේ සිද්ධියදී මම හරි අසරණ වුණා. මොකද..පුදුම විදිහට ආණ්ඩුව පැත්තෙන් මේ කේස් එක එළියට එන එක නවත්තන්න උත්සාහ කරනවා.ඒ ඇයි කියන එක මට තේරෙන්නේ නෑ.මේ කේස් එක හරි නම් සී අයි .ඩී එකට දෙන්න ඕන එකක්.. හැබැයි අපිට ඉහලින් නියෝග ඇවිල්ලා තියෙනවා පොලිසිය මගින් විතරක් මේක විසඳන්න උත්සාහ කරන්න..එහෙම බැරි උනොත් මේ කේස් එක නවත්තන්න කියලා..ඒගොල්ලො හොඳටම දන්නවා ප්‍රහාන් ගේ පවුලෙවත් ඒ ගෑණු ළමයාගේ පවුලෙවත් මේ ප්‍රශ්නය තවත් දුරදිගට ඇදගෙන යන්න පුළුවන් කෙනෙක් නැහැ කියලා..”

ඒ වෙනකොට අපි මාලු ප්‍රයිඩ් දීසි දෙකක් හිස් කරලා තිබුණා.හුඟක් කාලෙකට පස්සේ කතාවට ඉන්ට්‍රිස්ට් මනුස්සයෙක් එක්ක හැන්දෑවක් ගතකරන්න මටත් වෙලාව හම්බවෙලා තිබුණා.මම ආසම විදිහේ කේස් එකක් හැන්ඩ්ල් කරන්න ගමන්…  ඒ හින්දා මම උන්නෙ රාජරත්නම් පොලිස් ප්‍රධානියාට හදවතින්ම උදව් කරන කැමැත්තෙන් ..

“ඒක නෙමෙයි මිස්ටර් රාජරත්නම්..
මට පොඩ්ඩක් පැහැදිලි කරන්න..ඇයි ප්‍රහාන්  ඒ විදිහට රාජ්‍ය නිල වෙබ් අඩවිය දෙපාරක් හැක් කරලත් රත්නාලෝක එයාට දඬුවම් කරන්න ඉඩ දුන්නෙ නැත්තෙ..කියලා ..”

රාජරත්නම් ගම්මිරිස් ටිකක් වැඩිපුර වෙන්න දාලා තිබිච්ච තක්කලි පෙත්තක් ලුණු පෙත්තක් උඩින් තියලා බොහොම හෙමින් හපන්න ගත්තා.මං හරි ආසයි කවුරුහරි කට වහගෙන ලුණු හපන සද්දේ අහන්න. ඊට පස්සේ එයා මං දිහා බලාගෙන පුටුවෙ ටිකක් පස්සට වෙන්න වාඩිවෙලා එයාගේ ලෙමන් ජින් වීදුරුවෙ බාගයක් වෙනකං බිව්වා. මටත් එහෙමටම කියලා ලොකු හදිසියක් තිබුණෙ නැති හින්දා රාජරත්නම්ට ඕන තරම් කාලය අරගෙන එයාගේ කතාව රසවත් විදිහට කියන්න ඉඩ දෙන්න මං හිතාගෙන හිටිය. කොහොමත් ලෙමන් ජින් කියන්නේ විනාඩි පහළොවකට විතර පස්සේ ටිකෙන් ටික රස එළියට එන බීමක් හින්දා තව ටික වෙලාවකින් රාජරත්නම්ගෙන් හොඳ හොඳ කතා ටිකක් එළියට එන බව මට ඉවෙන් වගේ තේරුනා… තැපෑලෙන් වදින බඩු මේවා ..කියලා රාජරත්නම් හිනාඋනා .

“ඩොක්ටර් … ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නේ. ඇයි..රත්නාලෝක කාරයා ප්‍රහන්ට දඬුවම් කළේ නැත්තේ…හැබැයි මෙහෙමයි.මගේ සේවා කාලය ඇතුලතදී ඔය විදිහට අමුතු විදිහට හිතලා ප්‍රශ්න විසඳන නායකයෝ මම දැකලා තියෙනවා.මට මතකයි මම ඉස්කෝලේ යන කාලේ අපේ ප්‍රින්සිපල් වෙලා හිටියේ ෆාදර් කෙනෙක්.ඒ කාලේ මමත් හෙන නහරකාරයා.අපි ඉස්කෝලේ ඇතුලේ රතිඤ්ඤා පත්තු කළා.අතටම අහු උනා අපි තුන්දෙනාව.මමයි ප්‍රහානුයි, දර්ගයි. අපි තුන්දෙනාටම ඔෆිස් එකට එන්න කියලා කිව්වා.ඩොක්ට දන්නවද අපි ගියේ පණ බයේ ගැහි ගැහි.මොකද ෆාදර්  හරි වසයි. ආයි ගැහුවොත් ගහන්නේ අත්වල පලු එන්න.ගෙදර ගිහින් ආපහු අම්මලාට කියන්නත් බෑ.ඊට පස්සේ ගෙදරිනුත් ගුටි කන්න එපාය..ඉතිං අපි තුන්දෙනාම ගැහි ගැහී ඔෆිස් එකට ගියා.ෆාදර් හරි ලස්සනට අපි තුන්දෙනා එක්කම හිනාවුණා. ඉඳගන්න පුතා කියලා අපි තුන්දෙනාවම එයාගේ මේසේ ඉස්සරහින් ඉන්දව ගත්ත. ඊට පස්සේ ඔෆිස් එකේ පියන්ට  කියලා මාර රස කිරිතේ තුනක් හදල අපි තුන්දෙනාට දුන්නා . දැන් පණ බයේ හිටපු අපි තේ ටික බොන්න බැරුව ප්‍රින්සිපල් ෆාදර් දිහා බලාගෙන ඉන්නවා.

ඇයි නිකන්ම තේ ටික බොන්න බැරිද …කියලා අහපු ෆාදර්  චොක්ලට් කේක් කෑලි තුනකුත් අපිට කපලා දුන්නා.
කන්න කන්න කියලා දැන් ෆාදර් කියනවා. දැන් මෙතනින් ගැලවිලා යන්න ඕන හින්දා අපි තුන්දෙනාම කේක් කාලා තේ බිව්වා. හොඳට ගුටි කන්න බලාගෙන ගියපු අපි තුන්දෙනා අන්තිමට බඩකට පිරෙන්න කාල තමයි එළියට ආවේ…  ඉතින් බලන්න ඩොක්ටර් .. ආයෙත් කවදාවත් අපි තුන්දෙනාට ඉස්කෝලේ ඇතුලේ දඟ වැඩ කරන්න හිතුනෙ නෑ… දැන් තමයි තේරෙන්නේ ෆාදර් ප්‍රින්සිපල් දඬුවම් කරලා තියෙන්නේ අපේ හිත් වලට කියලා.. “

මම මිස්ටර් රාජරත්නම් එක්ක හොඳටම හිනාවුණා.

” හරි හරි.. දැන් මට තේරෙනවා.ඒ කියන්නේ රත්නා ලෝක මහත්තයත් ප්‍රහාන් ගේ හිතටද දඬුවම් කරලා තියෙන්නේ..”

“නෑ ඩොක්ටර් .. මට හිතෙන්නෙ මෙතන ඊට වඩා දෙයක් වෙලා තියෙනවා. උනේ මොකක්ද කියලා දැනගන්න නම් මේ මනුස්සයව කතා කරවන්නම සිද්ධ වෙනවා.”

එහෙම කියපු රාජරත්නම් හිස් වෙලා තිබිච්ච මගේ වීදුරුවට ආපහු සැරයක් ලෙමන් ජින්  වැක්කෙරුවා.

“ඇත්තටම ඩොක්ටර්.. මම මේ නිකං ප්‍රශ්නයක් අහන්නේ. දැන් ඔය රත්නාලෝක ලොක්කා  ඔච්චර ලස්සනට ඉන්නේ කොහොමද.. මං කියන්නේ මෙහෙමයි.දැන් රත්නාලෝක ලොක්කට මං හිතන්නේ වයස අසූවක් විතර ඇතිනේ..වයස අසූවක සාමාන්‍ය මනුස්සයෙකුට ඔය තරම් ලස්සනට ශරීරය තියාගන්න හැකියාවක් නෑනේ..මං කියන්නේ බහුතරයක් ඔය පාර්ලිමේන්තුවේ ඉන්න ලොකු ලොක්කෝ ගොඩක්… හුඟක් වයසයි.ඒ උනාට පුදුම ලස්සනක් පුදුම ජවයක්.. ඇත්තටම කොහොමද ඩොක්ටර් එහෙම වෙන්නේ..”

“මෙහෙමයි මිස්ට රාජරත්නම් . හොඳ ව්‍යායාම …හොඳ ආහාර රටාවක්.. හොඳ මානසික  සමතුලිතතාවයක් වගේම  එක එක beauty culture tips වලින් ඔය කියන දේවල් ළඟා කරගන්න පුළුවන්.ඊට අමතරව සමබර විටමින් කෙමිස්ට්‍රියක් තියාගනිල්ලෙනුත් ඔය තත්ත්වයට ලං වෙන්න පුළුවන්.මේවා ඉතින් ටිකක් මිල අධික දේවල්.මෙහෙ නැති වුණාට ටිකක් දියුණු රටවල් වල බ්ලඩ් එක්ස්චේන්ජ් කරන සිස්ටම් පවා තියෙනවා. ඒවා බොහොම මිල අධික දේවල්.සමහරවිට මේගොල්ලෝ ඒවා කරනවා ඇති.”

“ඒ කිව්වේ ඩොක්ටර්.. අර වකුගඩු රෝගීන් ලේ මාරු කරනවා වගේ දේවල්ද..”

“ඔව් ඒ සිස්ටම් එකට ගොඩක් සමානයි.. මේවට ඉතින් කොච්චර මුදලක් වියදම් වුණත් ප්‍රශ්නයක් නැහැනේ..එයාල වියදම් කරන්නේ මහජන මුදල්.. “

ඒ වෙනකොට සෑහෙන ප්‍රමාණයකට ලෙමන්ජින් බෝතලය ඉවර කරලා තිබුණේ අපි දෙන්නම.රාජරත්නම්ට  ටිකක් වැඩි බව මට තේරුනා. ඒ උනාට ඒ ආරෝහ පරිණාහ දේහය වට්ටන්න ලෙමන්ජින් බෝතල් දුසිමක්වත් ඕන වෙයි කියලා මට හිතුනා. ඒ වෙනකොට මගෙත් කන් දෙක රත්වෙලා පිට හරියට දාඩියත් දාගෙන ඇවිල්ල තිබුනෙ.

“ඩොක්ටර් සමහරවිට මගේ මේ පරීක්ෂණය වධයක් වගේ දැනෙනවා නම් කියන්න… ඇත්තටම මම මේ පරීක්ෂණය කරන්නේ තනියම. හැබැයි මට.. මම හොයාගත්තු දේවල් බෙදාගන්න දැනුම තියෙන මනුස්සයෙක් ඕනේ උනා. නිකන්ම කෙනෙකුට මේවා කිව්වට සමහරවිට තේරෙන එකකුත් නැහැ.සමහරවිට උන් කියයි කසාද බැඳලත් නැති එකේ මොනවායින් කරදරයක්ද..ඔය වගේ පිස්සු බහුභූත හොය හොය ඉන්න ඕන තරම් පුලුවන්නෙ කියලා.. “

“නෑ.. නෑ රාජරත්නම් මම එහෙම කියන්නේ නෑ.. ඇත්තටම ඔයා ඔය හොයාගෙන යන දේවල් මට හරි ඉන්ට්‍රස්ටින්.. මමත් දන්න දෙයක් තියෙනවා නම් කියලා දෙන්නම්.ඒවගේම ඔයාට ඕන උදව්වක් මං කරන්නම්..”

“ඩොක්ටර් මට හිතෙනවා..ඔය ඩොක්ටර් කලින් කියපු ටිප්ස් වලට වඩා මොකක් හරි මහා අමුතු දෙයක් මෙතන තියෙනවා කියලා. මං පොඩි එක්සාම්පල් වගයක් ඩොක්ටර්ට පෙන්නන්නම්..මේ මේ බලන්න …. “

The post එයා මැරිලා හුඟක් කල් 2 appeared first on Saru News Media.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here