දෙවෙනි ලෝක යුද්ධයෙන් ලොවට අහිමි වුණු වටිනා කලා නිර්මාණ – Saru News Media

0
8

මිනිසා විසින් මිනිසාට එරෙහිව දියත් කරන ලද විනාශකාරීම යුද්ධය වන දෙවන ලෝක යුද්ධයේදී මිනිස් ජීවිත මිලියන ගණනක් ලොවට අහිමි වුණා. ඒ වගේම සමස්ත මානව වර්ගයාගේ ප්‍රගමනය යම්තාක් දුරකින් අඩාල කිරීමටත් දෙවන ලෝක යුද්ධය සමත්වුණා. එම යුද්ධය තුළදී යම්කිසි දියුණුවක් සිදු වුණා නම් සිදුවුණේ යුද්ධායුධ කර්මාන්තයේ පමණයි. ලෝක යුද්ධය ගැන කතාකරන බොහෝ තැන්වලදී කතා නොකරන මාතෘකාවක් ගැනයි අපි අද කතා කරන්න යන්නේ. ඒ එම යුද්ධයේ ප්‍රතිඵලයක් විදිහට මිනිසාට අහිමිව ගිය ලොව විශිෂ්ටතම කලා නිර්මාණ පිළිබඳව. 

 

රුසියාවේ කැතරින් මාළිගයෙහි තිබූ එක්තරා කුටියක් දෙස් විදෙස් වල පතළ කීර්තියක් අත් කරගෙන තිබුණා. රනින් විසිතුරු කර තිබූ මෙම කුටිය ඇම්බර් වලින් නිර්මාණය කර තිබුණේ ජර්මනියේ කාර්මික ශිල්පීන් විසින්. සාර් රජු සඳහා ප්‍රශියානු රජෙකුගෙන් ත්‍යාගයක් ලෙස ලබා දී තිබූ මෙම නිර්මාණය නාසි හමුදා විසින් කොල්ල කනු ලැබුවා. ඔවුන් විසින් මෙම කුටිය සම්පූර්ණයෙන්ම ගලවා නැවතත් ජර්මනිය වෙත ගෙන ගියේ දෙවැනි ලෝක යුද්ධයේ දී එතෙක් යුද්ධයේ ඔවුන් රුසියාවට එරෙහිව ලබා තිබූ ජයග්‍රහණය සැමරීමටයි. එහෙත් ඉන්පසුව මේ නිර්මාණයට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව කිසිවෙක් දැන සිටියේ නැහැ.

 

ඉතාලි ජාතික සුප්‍රකට චිත්‍ර ශිල්පියෙකු වන රෆායෙල් විසින් නිර්මාණය කරන ලද මෙම සිතුවම ඒ වන විට පෝලන්තයේ ප්‍රධාන පෙළේ ධනවතෙකුගේ චිත්‍ර එකතුවේ ප්‍රධාන ස්ථානයක් ගෙන තිබුණා. එහෙත් පෝලන්තය ආක්‍රමණය කිරීමෙන් අනතුරුව නිර්දය ලෙස එරට කොල්ලකෑ නාසි හමුදාව විසින් මෙම නිර්මාණයත් ජර්මනිය වෙත රැගෙන ගියා. අවසානයේදී සිදුවූයේ මේ නිර්මාණයත් මිනිස් සංහතියට අහිමි වී යෑමයි.

 

වින්සන්ට් වැන්ගෝ විසින්  නිර්මාණය කරන ලද මෙම සුවිශේෂී සිතුවම ඔහුගේ නිර්මාණ ජීවිතයේ එක් විශිෂ්ට නිර්මාණයක් ලෙස කලා රසිකයන්ගේ මෙන්ම කලා විචාරකයන්ගේ ද ගෞරවාදරයට පාත්‍ර වූ නිර්මාණයක්. නාසීන්ගේ කුප්‍රකට කලා මංකොල්ලයට හසුවූ මෙම නිර්මාණයත් අවසානයේදී මිත්‍ර පාක්ෂික හමුදාවන්ගේ බෝම්බ ප්‍රහාරවලින් දැවී ගියා.

 

ජියෝවානි බෙලිනි විසින් සිය කලා ජීවිතය තුළ අඳිනු ලැබූ විශිෂ්ටතම සිතුවම ලෙස සැලකුණු මෙම නිර්මාණය ජර්මනියේ කෞතුකාගාරයෙන් කෞතුකාගාරයට මාරුකර යැවුණේ මිත්‍ර පාක්ෂික බෝම්බ ප්‍රහාරවලින් ආරක්ෂා කර ගැනීම සඳහායි. කෙසේ වෙතත් දෙවැනි ලෝක යුද්ධය අවසානයේ ජර්මනිය මිත්‍ර පාක්ෂික හමුදා වලට යටත් වූ කාලය දක්වා මෙම නිර්මාණය ආරක්ෂා වී පැවති බවට වාර්තා වෙනවා. නමුත් ඉන්පසුව මෙම චිත්‍රයට සිදු වූයේ කුමක්ද යන්න තවමත් නොවිසඳුණු අබිරහසක්.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here