රෙස්‍ටුරන්ට් එකකට ගිහින් හරි විදියට හැසිරෙන හැටි දැනගන්න, සිරිපාලගෙන් අහන්න! – Saru News Media

0
24

සිරිපාල රෙස්‍ටුරන්ට් එකකට ගියහම කොහොමද හැසිරෙන්නේ? අන්න ඒක අහලා දැනගන්න වටිනවා. මොකද සිරිපාල ඔය ෆැන්සි රෙස්‍ටුරන්ට් එකකට යන්න බයක් නැහැ. ගිහිල්ලා සිංහලෙන් කතා කරන්න පැකිලෙන්නෙත් නැහැ. ටේබල් මැනර්ස් වරද්දන්නෙත් නෑ. ඔය කියන අවන්හලකදී පිළිපදින්න ඕන යහපත් සිරිත් විරිත් වරද්දන්නෙත් නෑ. හැබැයි සිරිපාල ඔය සිරිත් විරිත් ඔලුවට කරදරයක් කරගන්නෙත් නෑ. ආන්න ඒ නිසා අපි අහලා බලමු සිරිපාලගෙන්, රෙස්‍ටුරන්ට් එකකට එහෙම ගියහම කොහොමද හැසිරෙන්න ඕන, මොනවද දැනගෙන ඉන්න ඕන කරුණු කාරණා කියලා!

 

අපි මනුස්සයෝ විදියට තවත් මනුස්සයෙක්ට ගරු සැලකිලි දක්වන්න ඕන කියන එක අමුතුවෙන් කියලා දෙන්න වුවමනා දෙයක් නෙවෙයිනේ. මේවා කොමන් සෙන්ස්. කෙනෙක්ගේ ‍රැකියාව කොයි තරම් ඉහළ වුනත්, පහළ වුනත් ගරුසරුව සලකන්න දැනගන්න ඕනෑ. ආන්න ඒක රෙස්‍ටුරන්ට් එකකට ගියහමත් තරයේ පිළිපදින්න ඕන. දොර ඇරලා දෙන්න ඉන්න සේවකයාගේ ඉඳලා, වේටර් දක්වා, මැනේජර් දක්වා ඕනම තරාතිරමක මනුස්සයෙක්ට අපි විනීතව කතා කරන්න දැනගන්න වුවමනායි. ඒ කියන්නේ වේටර් මහත්තයාව ගෙන්න ගන්න විසිල් එකක් ගහන එක, සූවක් දාන එක අන්තිම කැතයි. “මේ”, “හලෝ”, “ඕයි” වගේ වචන වලින් වේටර්ව ගෙන්න ගන්න හදන එකත් ඒ වගේම කැතයි. කෙලින්ම “එක්ස්කියුස් මී” කියලා කියන්න. නැතිනම් “පොඩ්ඩක් මෙතනට එන්න පුලුවන්ද” කියලා අහන්න. එතකොට වේටර් මහත්තයට මහත්තයා කිවුවත්, මචං කිවුවත්, මල්ලි කිවුවත් කමක් නෑ. හැබැයි “තමුසේ”, “ඔහේ” වගේ පහතට දාන වචන වලින් ආමන්ත්‍රණය කරන්න තියාගන්න එපා. අනික දෙයක් ඉල්ලන කොට “කරුණාකරලා” කියන වචනේ කිවුවත්, දෙයක් කරලා දුන්නට, ගෙනැල්ලා දුන්නට පස්සේ “ස්තුතියි” කියලා කිවුවත් දිව ගෙවෙන්නේ නෑ!

අනික තරු පංතියේ රෙස්‍ටුරන්ට් එකකදී වුනත් ඉංග්‍රීසි බැරි නම් සිංහලෙන් කතා කරන්න පැකිළෙන්න, බය වෙන්න එපා. ඒ තැන්වල ඉන්නෙත් සිංහල දන්න මිනිස්සු!

 

අපි හැමෝම ස්මාට්ෆෝන් පාවිච්චි කරනවනේ. ඉතින් බහුතරයක් දිහා බැලුවහම කොයි මොහොතෙත් ස්මාට්ෆෝන් එක අතේ. හැබැයි ඉතින් රෙස්‍ටුරන්ට් එකකට තමන්ගේ හිතමිතුරෙක් හරි ආදරය කරන කෙනෙක් හරි එක්ක ගිහින් නිදහස් වෙලාවක් ගත කරන්න හිතනවා නම් හොඳම දේ තමයි ස්මාට්ෆෝන් එක සයිලන්ට් කරලා සාක්කුවේ දාගන්න එක. ෆෝන් එකත් මේසේ පැත්තකින් තියාගන්න එපා.
හරි ස්මාට්ෆෝන් එක සයිලන්ට් කරන්න බැහැයි කියමුකෝ. මේසේ උඩම තියාගන්නත් ඕන කියමුකෝ. එහෙමනම් අඩු තරමින් සම්පූර්ණ සද්දෙන් රින්ග් වෙන්න දාලා තියන්න එපා. හඬ උපරිම අඩු කරලා තියන්න. මොකද රෙස්‍ටුරන්ට් එකක තවත් මිනිස්සු කතා බස් කරනවා. තමන්ගේ මේසෙන් එහාට යන සද්දෙන් නාද වෙන දුරකථනයක් කියන්නේ අනික් අයට කරදරයක්.

ඒ වගේම තමයි හරි සිරිත් විරිත් වල හැටියට ඔය යතුරු, පසුම්බි, මේක් අප් කිට් වගේ දාහක් දේවල් වුණත් මේසේ උඩ තියන්නේ නෑ.

 

ඔව් මේක අදාළ වෙන්නේ කුඩා දරුවෝ ඉන්න අම්මලාට තාත්තලාට තමයි. තමන්ගේ කුඩා දරුවාවත් රෙස්‍ටුරන්ට් එකකට අරගෙන යන එක කිසිම ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි තමන්ගේ දරුවාව හරියට හසුරුවාගන්න එක තමන්ගේ වගකීම කියන එක මතක තියෙන්න ඕන. දරුවෝ අනවශ්‍ය විදියට රෙස්‍ටුරන්ට් එකේ දුව පනිනවා නම්, කෑ ගහනවා නම්, අනෙක් මේස වලට කරදරයක් වෙනවා නම්, දරුවොනේ, සෙල්ලමනේ, හුරතලේනේ කියලා හිනා වෙවී ඉන්න එපා. දරුවාව ළඟට කතා කරගන්න. බැරිම නම් එළියට එක්කරගෙන ගිහින් සන්සිඳවාගෙන බැරිනම් තරව‍ටු කරලා හරි එක්කගෙන එන්න. හැබැයි තවත් කෙනෙක්ට දරුවා දිහා කරදරකාරයෙක් විදියට බලන තැනට ඉඩ තියන්න එපා!

 

සමහරු ඉන්නවා ෆැන්සි රෙස්‍ටුරන්ට් එකකට ගිහින් මෙනු එක බලපු ගමන් හොල්මන් වෙනවා. ඉන් පස්සේ එක්කෝ කන්න බැරි කෑමක් ඕඩර් කරලා ආවට පස්සේ මාරු කරන්න අහනවා. නැත්නම් අමාරුවෙන් කන්න හදනවා. තව සමහරු මෙනු එක බලලා ඕඩර් එක දීලා, වේටර් ඒ ඕඩර් එක කිචන් එකට දුන්නටත් පස්සේ හිත වෙනස් වෙනවා. දැන් වේටර් පස්සෙන් දුවනවා ඕඩර් එක වෙනස් කරන්න. අන්න ඒවා හොඳ සිරිත් විරිත් නෙවෙයි.
මුලින්ම මෙනු එක දුන්නට පස්සේ වෙලාව අරගෙන මෙනු එක කියවන්න. සම්පූර්ණ මෙනු එකම හොඳට බලන්න. ඒකේ තියෙන කෑම මොනවද කියලා තේරෙන්නෙ නැතිනම් ‘ලැජ්ජයි ඕයි අහන්න’ කියලා ඉන්නෙ නැතුව වේටර් මහත්තයාට ළඟට කතා කරලා මේ කෑම මොනවද, මේ කෑමේ තියෙන්නේ මොනවද කියලා හරියට අහගන්න. මෙනු එකේ හොඳම ඩිෂ් එක මොකක්ද කියලා හිතාගන්න බැරි නම්, වේටර් මහත්තයාගෙන් අහන්න හොඳ මොනවද කියලා. අන්න ඊට පස්සේ තමන්ට හරියටම ඕන මෙන්න මේක තමයි කියලා ෂුවර් කරගත්තට පස්සේ ඕඩර් එක දෙන්න. පස්සේ ආයෙ ඒක වෙනස් කරන්න ගිහින් මුළු රෙස්‍ටුරන්ට් එකේ කාර්ය මණ්ඩලයටම ඇණයක් නොවන්න!

තව කාරණයක්. කරුණාකරලා මෙනු එකේ බලිකුරු‍ටු අඳින්න, කවි ලියන්න යන්න එපා. මෙනු එක ලැබුණු විදියටම ආපිට භාරදෙන්න!

 

එක දවසක් සිරිපාලයි එයාගෙ යාලුවෙකුයි එක්ක රෙස්‍ටුරන්ට් එකකට ගියා දෙන්නගෙම මිතුරියක්. සෑහෙන පොෂ් ලෙවල් එකකින් ඉන්න ගෑණු ළමයෙක්. මෙන්න ටික වෙලාවකින් මේ ළමයා වේටර් මල්ලිට හෝ ගාලා බණිනවා. “දුන්නු කෝක් එකේ කාබන්ඩයොක්සයිඩ් නැහැල්ලු”! හරි ඉතින්, කෝක් එක පැයක් විතර ළඟ තියාගෙන පච හල හල හිටියට පස්සේ කෝක් කෝප්පේ කාබන්ඩයොක්සයිඩ් ඉතුරු වෙන්නෙ නෑ. හැබැයි මෙහෙම පොෂ් වෙන්න රෙස්‍ටුරන්ට් එකකට ගිහින් නැති වැරදි හොයාගෙන වේටර්ටයි මැනේජර්ටයි බණින්න තියාගන්න එක හරි නෑ.

අපි කියමු ඇත්තටම තමන්ට ලැබුණු කෑම එකේ මොකක් හරි අවුලක් තියෙනවා කියලා. එතකොට වැදගත් මනුස්සයෙක් නම් කරන්නේ එතන දෙවනත් වෙන්න කෑ ගහන එක, වලි දාගන්න එක නෙවෙයි. ඇත්තටම වේටර්ට බැණලා හරියන්නෙත් නෑ. නැගිටලා යන්න මැනේජර් හොයාගෙන. ගිහින් පැමිණිලි කරන්න. එතනින් පස්සේ මැනේජර් ඔස්සේ ඒ ගැන ක්‍රියාත්මක වෙන්න.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here