දැන් වැරදීම මිනිස් ගතියක්, සමාව දීම දේව ගතියක් කියනවනේ. ඒක ඔය පොදුවේ හරි වෙන්න පුලුවන්. හැබැයි විශේෂයෙන්ම වෘත්තිය ජීවිතයේදී එහෙම කරන්න හොඳම නැති වැරදි තියෙනවා. ඒ කියන්නේ ඔෆිස් එකකදී වුණත්, වර්කින් ෆ්‍රොම් හෝම් වුණත්, තමන්ගේ රස්සාව කරන තැන කරන සමහර වැරදි වලින්, තමන්ගේ වෘත්තිය ජීවිතයටම හානි වෙන්න පුලුවන්.
මේ අපි කතා කරන ඔෆිස් එකේ කරන වැරදි සම්බන්ධයේදී තියෙන නරකම දේ තමයි, ගොඩක් අය මේ සමහර දේවල් වැරදි කියලා නොදන්න එක. අන්නෙ ඒ නිසා, අපි හිතුවා, ඔෆිස් එකේදී නොකළ යුතුම වැරදි ලැයිස්තුවක් හදන්න. එතකොට අපිට පරිස්සම් වෙන්න පුලුවන්.
මෙන්න මේක බොහොම ඉන්ටරෙස්ටින්ග් කාරණාවක්. මුලින්ම කියන්න ඕන, වර්තමාන ලෝකයේ අපි අනුගමනය කරන්න ඕන වර්ක් හාඩ් කියන එක නෙවෙයි, වර්ක් ස්මාට් කියන එක.
දැන් අපි වෘත්තිය ජීවිතයක් ඇතුළේ ඉන්නවා නම්, අපි ගන්න මුදලට වඩා වැඩි වැඩක් කරන්න ඕන. ඒකේ අපේ අවම සදාචාරය. හැබැයි මේ කියන්නේ, අපිට ගෙවන ප්‍රමාණයට, අපේ ජොබ් රෝල් එකේ ඇතුළේ අඩුම තරමින් 150% ක වැඩක් කරන්න පුලුවන් නම් සුපිරියි කියන එක තමයි. එහෙම නැතුව අපි රැකියාවට ලබාදෙන්නේ අපෙන් 60% නම්, ඒ කියන්නේ අඩුවෙන් නම් වැඩ කරන්නේ, ඒක වැරදියි. ඒක ඔය ජොබ් එකේදී ගොඩක් අය කරන වැරැද්දක්. අයිස් ගහනවා කියන්නේ ඒකට. ඒ කියන්නේ තමන්ගේ ජොබ් රෝල් එකේ වෙන්න ඕන වැඩ ටික නොකිරීම වගේම, වෙන්න ඕන වැඩ ටික නියමිත කොලිටියට ලබා නොදීමත් අදාළයි.
හැබැයි ඕවර්වර්කින් කියන එකත් වෘත්තිය ජීවිතයේ කෙනෙක් කරන වැරැද්දක්. ඒ කියන්නේ, තමන්ගේ වටිනාකම ඉහළ කළමණාකාරීත්වයට තේරෙන විදියට තමන්ගේ ජොබ් රෝල් එකේ තියෙන වැඩ හෝ, ඊට එපිටින් තියන වැඩ කරලා පෙන්නන එක නෙවෙයි මෙතන ඕවර්වර්කින් කියන්නේ. ඒ වෙනුවට, අර පටන් ගන්නකොටම කියපු විදියට, තමන්ගේ වැඩ වල කොලිටිය දියුණු කරනවා වෙනුවට, තමන් කරන වැඩ ප්‍රමාණය වැඩි කරන එක, ගුණාත්මක භාවය වෙනුවට ප්‍රමාණාත්මක භාවයෙන් තමන්ගේ කැපෑසිටියෙන් 300% කටත් එහා වියදම් කරන එක ගැන තමයි මේ කියන්නේ. ඒකත් අන්ඩර්වර්කින් වගේම අප්සට් කාරණයක්.
ස්මාට් විදියට වැඩ කරන්න කියන එක අපි උඩිනුත් කිව්වනේ. එතනදී තවත් වැදගත්ම කාරණාවක් තමයි, මේ ලෝකේ වේගයෙන් අලුත් වෙනවා කියන එක අවබෝධ කරගැනීම. ඒ කියන්නේ, අපි ඉන්න වෘත්තිය ක්ෂේත්‍රය වුණත් බොහොම වේගයෙන් යාවත්කාලීන වෙනවා. අන්න එතකොට, අපි ඒ වේගයෙන් ඉස්සරහට යන ලෝකයත් එක්ක තරගකාරීව ඉදිරියට යන්න නම්, අපේ දැනුමත් අලුත් කරගන්න ඕන. නව හැකියාවන් සහ කුසලතාවයන් ලබාගන්න, තියෙන ඒවා වැඩිදියුණු කරගන්න ඕන. ඒක දැන් කාලේ අනිවාර්යයි. එහෙම නැතිව එක තැන පල්වෙනවා නම්, තමන් කොයි තරම් මහන්සියෙන්, කැපවීමෙන් වැඩ කලත් වැඩක් නෑ. ආන්න ඒ නිසා තමයි අපි කියන්නේ, වෘත්තිය ජීවිතයේ තමන් අවුරුදු දහයකට කලින් කරපු දේම ඒ විදියටම අදත් කරමින් ඉන්නවා නම්, ඒක වෘත්තිය ජීවිතයේ කරන වැරැද්දක් කියලා.
දැන් සරල අර්ථයෙන් ගත්තොත්, සමාජේ කොහේ වුණත් සෙක්ෂුවල් හැරස්මන්ට්, සෙක්ෂුවල් ඇබියුස් වගේ දේවල් නඩු යන්න පුලුවන් කතන්දර කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. කොටින්ම කියනවා නම් ගැහැණු පිරිමි කිසිම කෙනෙක්ගේ අවසරයකින් තොරව කිසිම ලිංගික කාරණයක් හැඟවෙන ආකාරයේ හැසිරීමක් හෝ කරන්න කිසිම කෙනෙක්ට බැහැ. හැබැයි ඒක එතනින් නතර වෙන්නෙ නෑ. ඔෆිස් එකේ කොච්චර ෆිට් ඩයල් එකක් එක්ක වුණත් ශාරීරිකව සමීප වෙන්න නොයන එක ඇඟට ගුණයි. උදාහරණයක් විදියට, ඔය ෆිට් එකට කරන කරට අතදැමීමක් වගේ දෙයක් වුණත්, වෙන විදියකට නිර්වචනය වෙන්න සහ, අපිට චෝදනාවක් බවට පත් වෙන්න ඉඩ තියෙනවා. එතකොට ඔය ඩබල් මීනින් කතා කිවීම, ඇම්ඩන්ගෙ වගේ කුණුහරුප කතා කිවීම වගේ දේවල් පවා ප්‍රශ්න බවට පත්වෙන්න තියෙන ඉඩ වැඩියි.
ඇත්තටම කිව්වොත්, තමන්ගේ ශරීරයට ගුණදායකම දේ තමයි, තමන් එක්ක වැඩ කරන, තමන්ගේ සේවාස්‍ථානයේ ඉන්න ගැහැණු පිරිමි ඕනම කෙනෙක් එක්ක ගාණට ඉන්න එක. යාළුමිත්‍රකම් ඇතිවෙන්න පුලුවන්, ඒක හරි. හැබැයි වෙනත් කිසිම කෙනෙක්ට අපි වෙනත් අර්ථයක් එන විදියට කිව්වා කියලා නිර්වචනය කරන්න පුලුවන් වචනයක් හෝ නොකියා, මෙසේජ් එකක් හෝ නොයවා ඉන්න එක අපේ ඇඟට ගුණයි. මොකද, එකක් අපි හොඳ හිතින් කියන දෙයක් හෝ ජෝක් එකට කියන දෙයක් තවත් කෙනෙක්ට එහෙම නොදැනෙන්න, ඒ වෙනුවට ඒක සෙක්ෂුවල් හැරස්මන්ට් එකක් විදියට දැනෙන්න පුලුවන්. ඒ වගේම, අපිත් එක්ක තරහට හෝ අවධානය ගන්න හෝ වෙනත් ඕනම පර්සනල් හේතුවකට, කෙනෙක් අපි එහෙම කියන දෙයක් සෙක්ෂුවල් හැරස්මන්ට් එකක් කියලා පැමිණිලි කරන්නත් පුලුවන්!
මීට අමතරව, ඔෆිස් එකේ සිද්ධ වෙන ලිංගික හිරිහැර නවත්තාගන්නේ කොහොමද කියලා අපි කලින් කියපු ආටිකල් එකත් කියවලා බලන්න.
දැන් අපි හැමෝම වැඩ කරනවනේ ඔෆිස් එකක. එතකොට සාමාන්‍යයෙන් වෙන්න ඕන දේ තමයි, තමන් මහන්සියෙන් කරපු වැඩ වලට තමන්ට ක්‍රෙඩිට් එක ලැබෙන එක. එතකොට ටීම් එකක් එකතුවෙලා නම් යම් වැඩක් කරන්නේ, ඒකට ටීම් එකටම ක්‍රෙඩිට් එක යන්න ඕන. හැබැයි ටීම් ලීඩර්ව තමයි ටීම් එකේම නියෝජිතයා විදියට සැලකෙන්නේ. ඔය ඔක්කොම හරි. හැබැයි අපි හිතමු මෙහෙම. ඔන්න අපිට යම් කිසි අපිත් සම්බන්ධ ප්‍රොජෙක්ට් එකක් සම්බන්ධයෙන් නිර්මාණශීලී අයිඩියා එකක් හිතට එනවා. දැන් ඕක කාටද අපි කියන්නේ? ගොඩක් වෙලාවට අපේ ඉමීඩියට් බොස්ට. එහෙම නැතිනම් ටීම් එකේ ලීඩර්ට. ඒක අපි කිව්වහම ඔන්න ඉමීඩියට් බොස් හරි ටීම් ලීඩ් හරි අපිට ඒ ගැන ප්‍රශංසා කරලා කියනවා, ඒ අයිඩියා එක ඉහළට ගෙනියන්නම් කියලා. ඔන්න ටික දවසකට පස්සේ අපි දැනගන්නවා, ප්‍රොජෙක්ට් එකට වැදගත් වෙන නිර්මාණශීලී අයිඩියා එකක් ඉදිරිපත් කිරීම ගැන අර ඉමීඩියට් බොස් නැතිනම් ටීම් ලීඩ් හැමතැනින්ම ප්‍රශංසා ලබනවා කියලා. දැන් මොකද වෙලා තියෙන්නේ? අර ඉමීඩියට් බොස්/ටීම් ලීඩ් වෙන කෙනෙක්ගේ අයිඩියා එකක් තමන්ගේ වගේ ඉහළ කළමනාකරණයට ඉදිරිපත් කරලා ලකුණු දාගෙන.
ඔය වගේ තවත් සමහර ඉමීඩියට් බොස්ලා/ටීම් ලීඩ්ලා ඉන්නවා, තමන්ගේ ටීම් එකේ ඉන්න කෙනෙක්ගෙන් – ගොඩක් වෙලාවට අලුත් එක්කෙනෙක්ගෙන්- මොකක් හරි වැඩක් සුපිරියටම කරව ගන්නවා. අපි හිතමු ප්‍රසන්ටේෂන් එකක් කියලා. ඊට පස්සේ, ඒක ඉදිරිපත් කරනවා තනිකරම තමන් කරපු එකක් විදියට. දැන් ඔය කියපු විදියේ වැඩ වෙන්නේ ඉමීඩියට් බොස්ලා/ටීම් ලීඩ්ලා වගේ මිඩ්ල් මැනේජ්මන්ට් එක අතින් විතරක් නෙවෙයි. එකටම ඉන්න අය පවා ඔහොම අනික් අයගේ වැඩ තමන්ගේ එකවුන්ට් එකට දාගන්නවා.
Saru FM Media