දැන් කාලේ හැටියට චීන භාෂාව ටිකක් ඉගෙන ගමුද? මෙන්න ඒකට උදවු! – Saru News Media

0
8

දැන් දැන් වෙනකොට ශ්‍රී ලංකාවේ අපිට චීනේ සෑහෙන්න කිට්ටු වෙලානේ තියෙන්නේ. හා නැද්ද? විශේෂයෙන්ම ඔය චීන ණය එක්ක එහෙම ගත්තහම සමහරු අනාගත වාක්‍ය කියනවා සිරි ලංකාව චීනේ කොළනියක් වෙලා තමයි නතර වෙන්නෙ කියලා. ඔව්වා ඉතින් ඔය එක එක උන්දැලා ඉරිසියාවට කියන කතා වෙන්නත් පුළුවන්, එහෙම නැතිනම් ඇත්තටම තව අවුරුදු දහයකින් විතර අපිට කොහේ හරි ගියහම ආයුබෝවන් නැතිනම් කොහොමද කියනවා වෙනුවට “නී හාව්” කියන්න සිද්ධ වෙන්නත් පුළුවන්! හරි, කොහොම හරි, මේ වෙනකොට ශ්‍රී ලංකාවේ චීන ජාතිකයෝ සෑහෙන්න ඉන්නවා. ඉස්සරහටත් ඔය චීන ජනගහණය වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නෑ. එතකොට කොහොම වුණත් ශ්‍රී ලංකාව සහ චීනය අතර සමාජ සංස්කෘතික සම්බන්ධතා වුණත් තවත් තර වෙන්න පුළුවන්.

 

දැන් එහෙම වෙනකොට මෙහේ ඉන්න චීන ජාතිකයෝ සිංහල ඉගෙන ගනීද? එහෙම නැතිනම් අපිට චීන මැන්ඩරින් ඉගෙන ගන්න සිද්ධ වෙයිද? ඇත්තටම වෙන්න පුළුවන් දේ තමයි ඔය දෙකම. කොහොමත් අපි ජාත්‍යන්තර භාෂාවක් දෙකක් ඉගෙන ගන්න එකේ කිසිම වැරැද්දක් නෑ. එතකොට ඉංග්‍රීසිත් එක්ක චීන මැන්ඩරින් භාෂාව ඉගෙන ගන්න එක කොහොමත් අමතර වාසියක් මිසක් පාඩුවක් වෙන එකක් නෑ. අමතක කරන්න එපා, ලෝකේ ජනගහණයෙන් 16% ක්, ඒ කියන්නේ මිනිස්සු බිලියන 1.3 ක් කතා කරන භාෂාවක් තමයි චීන භාෂාව.

 

ආන්න ඒ නිසා අපිත් බලමුද චීන භාෂාව පොඩ්ඩක් ඉගෙන ගන්න? ඇත්තටම චීන භාෂාව උගන්වන යූටියුබ් චැනල්ස් සෑහෙන්න තියෙනවා වගේම, ඔය භාෂා ඉගෙන ගන්න තියෙන ඩුවලින්ගෝ වගේ ඇප්ස් වලත් චීන භාෂාව තියෙනවා.

 

ඕනම භාෂාවක් ඉගෙන ගැනීමෙදී වගේම, චීන භාෂාව ඉගෙන ගැනීමෙදීත් මෙන්න මේ පදනම අත්‍යාවශ්‍යයි. පදනම තමයි රිසර්ච් එක, එහෙම නැතිනම් භාෂාව ගැන කරුණු සෙවීම. ඇයි ඒක වැදගත් කියන්නේ? උදාහරණයක් විදියට ගත්තොත්, ඇත්තටම චීන භාෂාව කියලා “එකක්” නෑ. චීන මැන්ඩරීන් භාෂාව තියෙනවා. එතකොට චීන කැන්ටනීස් භාෂාව තියෙනවා. ඒ ඇරෙන්න තව ඩබ් ඩයලෙක්ට්ස් ඕන තරම් තියෙනවා. එතකොට අපි මොකද්ද ඉගෙන ගන්නේ? ඇත්තටම ඒකට උත්තර දෙන්න නම්, අපිට චීන භාෂාව අවශ්‍ය මොනවටද කියලා හිතන්න ඕන. උදාහරණයක් විදියට ගත්තොත් අපිට පොදුවේ චීනයත් එක්ක ගනුදෙනු කරන්න එහෙම අවශ්‍ය නම්, පොදුවේ චීන භාෂාව ජාත්‍යන්තර වශයෙන් භාවිතා කරන්න අවශ්‍ය නම් හොඳම විකල්පය වෙන්නේ චීන මැන්ඩරින් ඉගෙන ගැනීම. එහෙම නැතුව අපි හොංකොං වල පදිංචියට යන නිසා චීන ඉගෙන ගන්න එහෙම හිතනවා නම්, අපි චීන කැන්ටොනීස් තමයි ඉගෙන ගන්න ඕන.

 

ඒ ඇරෙන්න චීන භාෂාවේ විකාශනය, චීන භාෂාව කොයි වගේද කියන කාරණා එහෙමත් සරල ගූග්ල් රිසර්ච් එකකින් හොයාගන්න ඕන. භාෂාව ඉගෙන ගන්න කලින් මේ කරුණු කාරණා දැනගන්න එක බොහොම ප්‍රයෝජනවත්!

 

සාමාන්‍යයෙන් ඕනම භාෂාවක් හදිසියේ ඉගෙන ගන්න හිතන කෙනෙක් මුලින්ම කරන්නේ පහසුවෙන් සහ බහුලව භාවිතා වෙන වාක්‍ය සහ වාක්‍යාංශ ඉගෙන ගන්න එක. ඒ කියන්නේ ගුඩ් මෝර්නින් කියන්නේ කොහොමද, හෙලෝ කියන්නේ කොහොමද, මගේ නම අහවලා කියන්නේ කොහොමද වගේ එව්වා ඉගෙන ගන්න එක. ඇත්තටම එව්වා හරි ලේසියෙන් ගූග්ල් කරලා හොයාගන්න පුළුවන්. හැබැයි ඒක ටුවරිස්ට් වර්ෂන් එක. වැඩේ හරි විදියට ඉගෙන ගන්න නම් පදනමේ ඉඳලා පටන් ගන්න ඕන.

 

මූලිකවම අපි ඉගෙන ගන්න ඕන චීන භාෂාවේ වාක්‍ය නිර්මාණය වෙන විදිය. වෙන විදියකට කිව්වොත් ග්‍රැමර් නැතිනම් ව්‍යාකරණ කොටස. හැබැයි මේක හිතන තරම් අමාරු නෑ. හැබැයි තමන් දැනට දන්න භාෂාවට අනුව හිතන්න නොයන එක වැදගත්. ඒ කියන්නේ සිංහල භාෂාවේ වාක්‍ය නිර්මාණය වෙන විදියට නෙවෙයි ඉංග්‍රීසි භාෂාවේ වාක්‍ය නිර්මාණය වෙන්නේ. ඒ විදියට නෙවෙයි චීන භාෂාවේ වාක්‍ය නිර්මාණය වෙන්නේ. මෙන්න මේ වෙනස ග්‍රහණය කරගන්න පුළුවන් මූලික පදනමේ ඉඳලා පටන් ගත්තොත්.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here