ඇහිබැම ගලවා, අතපය ඉරා ඉතිහාසයේ කාන්තාවක් මරා දමනු ලැබූ ඉතා දරුණුම ආකාරයට මරා දැමූ හයිපේෂියා කියන්නේ නැගෙනහිර රෝම අධිරාජ්‍යයේ කොටසක් වූ ඊජිප්තුවේ, ඇලෙක්සැන්ඩ්රියාවේ ජීවත් වූ නවප්ලේටෝනවාදී දාර්ශනිකවරියක්, තාරකා විද්‍යාඥවරියක් සහ ගණිතඥවරියක්.
ක්‍රිස්තු වර්ෂ 370 දී පමණ උපත ලද හයිපේෂියා කියන්නේ ඇලෙක්සැන්ඩ්රියාවේ සුප්‍රකට ගණිතඥයෙකු වූ Theon ගේ දුව. Theon “Mouseion” නම් වූ ඇලෙක්සැන්ඩ්‍රියාවේ කීරතිමත්ම පාසලක ප්‍රධානියා වූ අතර නවප්ලේටෝනවාදී දාර්ශනිකයෙක්ද වුනා. ඇගේ මව පිළිබඳ තොරතුරු අප්‍රකටයි.
තම පියාගේ අඩිපාරේ ගමන් කල හයිපේෂියා සුප්‍රසිද්ධ විද්‍යාඥවරියක් වගේම ගුරුවරියක්. ඇලෙක්සැන්ඩ්රියාවේ ප්‍රකට දේශකයෙකු වූ ඇය ප්ලේටෝ සහ ඇරිස්ටෝටල්ගේ ලේඛන පිළිබඳව දේශන පැවැත්වූවා. ඇලෙක්සැන්ඩ්රියාවේ පාලන තන්ත්‍රයේ බොහෝ උසස් තනතුරු දැරුවන් මහේස්ත්‍රාත්වරු සහ අගරදගුරු වරු ඇයගේ ශිෂ්‍යයන් වූ නිසාවෙන් සහ ඔවුන් නිතරම ඇයගේ උපදෙස් පැතීමට යොමු වූ නිසාවෙන් ඇය ඇලෙක්සැන්ඩ්රියා සමාජය තුල විශාල සමාජ දේශපාලන බලයක් සහිත පුද්ගලයෙක් වුනා. ඇලෙක්සැන්ඩ්රියාවේ කාන්තාවන්ට සහභාගී වීමට තහනම් වූ සෙනෙට් සභාවටත් ඇය සහභාගී වුණා.
ඉතිහාසයේ ලේඛන වලට අනුව හයිපේෂියා ජීවිත කාලය පුරාම කන්‍යාවක් විදියටයි ජීවත් වුනේ. ඇයගේ දේශනවලට පැමිණි එක් සිසුවෙක් ඇයට ප්‍රේමය ප්‍රකාශ කල විට, ඇය වීණාව වාදනය කරමින් ඔහුගේ ආශාව සංසිඳුවීමට උත්සාහ කළ බවත් Damascius ප්‍රකාශ කරනවා. ඔහුව දැඩිව ප්‍රතික්ශේප කල ඇය අවසානයේ ඇයගේ ලේ වැගිරෙන ඔසප් රෙදිකඩ පෙන්වා මෙයට ආදරය කරනවානම් මා ඔබව පිළිගන්නවා යැයි පවසා තිබෙනවා. තරුණයා කෙතරම් කම්පනයට පත් වූවාද කියනවනම් ඔහු ඇය කෙරෙහි වූ ආශාවන් වහා අත්හැර දැමූ බවත් සඳහන්.
ක්‍රි.ව. 382 – 412 දක්වා ඇලෙක්සැන්ඩ්රියාවේ බිෂොප්වරයා වූයේ තියෝෆිලස් ය. තියෝෆිලස් නවප්ලේටෝනවාදීන්ට විරුද්ධ වුවද, හයිපේෂියාව මිතුරියක මෙන්ම උපදේශක වරියක් ලෙස සැලකු නිසා ඇයගේ ඉගැන්වීම් වලට ඉඩ ලබා දුන්නා.
නමුත් තියෝෆිලස් ක්‍රි.ව.412 දී අනපේක්ෂිත ලෙස විදියට මැරෙනවා. ඔහු තම බෑණනුවන් වූ සිරිල්ව තම අභිප්‍රාප්තිකයා ලෙස පුහුණු කරමින් සිටි නමුත් නිල වශයෙන් ඔහුව නම් කරල තිබුනෙ නෑ. තියෝෆිලස් ගේ මරනයන් පස්සේ රදගුරු පදවිය සම්බන්ධයෙන් ප්‍රචණ්ඩ බල අරගලයක් සිරිල් සහ ඔහුගේ ප්‍රතිවාදියා වූ තිමෝති අතර ඇතිවුණා. සිරිල් ජයගත්තා. තිමෝතිට සහාය දුන් අයට දඬුවම් කිරීමට පටන් ගත්තා.
සිරිල් සහ Orestes ගේ බල අරගලයට හයිපේෂියා ඍජුව මැදිහත් වුනේ නෑ. නමුත් සිරිල්ට විරුද්ධ වූ Orestes ඇයගේ සමීප මිතුරෙකු වූ නිසා සිරිල් ඇය ඉල්ලක්ක කරගෙන මඩ ප්‍රහාර එල්ල කරා. ඒ නිසා ඇය මන්තර ගුරුකම් ආදිය පුහුණු කල මිත්‍යා දෘෂ්ටිකයෙක් බවට ඔහු කටකතා පතුරුවන්නට වුනා.
සොක්‍රටීස්ගේ ලේඛන වලට අනුව ක්‍රි. ව. 415 මාර්තු මාසයේ ක්‍රිස්තියානි උත්සව සමයේදී, පීටර් නම් ක්‍රිස්තියානි දේශකයෙකුගේ නායකත්වය යටතේ කිතුනුවන් පිරිසක්, ඇය නිවසට යමින් සිටියදී රථය වටලලා. ඇයව කයිසාරියන් නම් ගොඩනැගිල්ලකට ඇදගෙන ගියා. එහිදී, මැර කල්ලිය හයිපේෂියාව නිරුවත් කර ඔස්ට්‍රකා (“වහලවල ටයිල්” හෝ “බෙල්ලන්ගේ කටු”) වලින් ගහලා ඇයව මරා දැමූ බව සඳහන් කරනවා. ඔවුන් ඇගේ ඇහිබැමි ද කපා, ඇගේ සිරුර කැබලිවලට ඉරා ඇගේ අත් පා නගරය හරහා ඇදගෙන ගිහින් ගිනි තිබ්බා.
Saru Fm Media