අනුන්ට කිසිම උදවුවක් නැතුව, අනුන්ගෙන් උදවු ඉල්ලන කෙනෙක්ද ඔයත්? – Saru News Media

0
5

දැන් අපි කියනවනේ අනුන්ට උදවු කරන එක ඉතාම හොඳ, මහත්මා කටයුත්තක් කියලා. ඒක බොරු නෙවෙයි. හැබැයි එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔන්න සමහරු ඉන්නවා, අපිට තඹ සතේක උදවුවක් නෑ. අපිව මළාට මතක් වෙන්නෙත් නෑ. හැබැයි අපෙන් උදවුවක් ඕන වුණු තැනදී ඔන්න අපිව මතක් වෙනවා. ලැජ්ජාවක් නැතුව කතා කරලා උදවුවත් ඉල්ලනවා. හැබැයි අපි කාර්ය බහුල නිසා ඒ උදවුව කරන්න පරක්කු වුණොත් එහෙම කතා කරලා බණිනවත් එක්ක. “මට මේක කරගන්න තව ඕන තරං මිනිස්සු ඉන්නවා, ඒත් යාළුවා නිසා මම ඔයාට මුලින් කතා කළේ” වගේ ලයිනුත් දෙනවා. ඒ කියන්නේ මුන්දැට මේ උදවුව කරලා දෙන්න ලැබෙන එකත් අපිට ලැබෙන මහා භාග්‍යයක් විදියට තමයි කතා කරන්නේ. ඉතින් මෙහෙව් එකෙක්ට හොම්බට දෙකක් දීලා අදින්න හිතෙන්නැද්ද අපෙ හාමුදුරුවනේ?

පොඩ්ඩක් හෝව්. බැරිවෙලාවත් මේ කියන ආත්මාර්ථකාමී, යාළුවෙක්ව උදවුවක් ඕන වුණහම විතරක් මතක් වෙන හාදයා තමන් නම්? ආන්න ඒක ප්‍රශ්නයක් නේ? එතකොට නිකමට හිතලා බලන්න අනික් මිනිස්සු අපි ගැන කොයි තරම් නරකටද හිතනවා ඇත්තෙ කියලා. අන්න ඒ නිසා අපිට බැරිද ඒ ආත්මාර්ථකාමී බව අඩු කරගන්න? ඇත්තටම ආත්මාර්ථකාමී බව අඩුකරගන්න ඕන කියලා හිතනවා නම්, මේ ආටිකල් එක ඔයා වෙනුවෙන්ම තමයි!

 

කෙනෙක්ගෙන් උදවුවක් ඉල්ලන්න කලින් මේක පොඩ්ඩක් හිතලා බලන්න. ඒ කෙනා කවදාහරි මගෙන් උදවුවක් ඉල්ලලා තියෙනවද? ඒ උදවුව කවදාහරි මට කරලා දෙන්න පුළුවන් වෙලා තියෙනවද? ඒ උදවුව කරන එක මම හිතාමතාම පැහැර හැරලා තියෙනවද? මම මීට කලින් කී පාරක් එයාගෙන් උදවු අරගෙන තියෙනවද? මෙන්න මෙහෙම හිතලා බැලුවහම, ඒ කෙනා අපෙන් උදවුවක් කවදාවත් ඉල්ලලා නැතිනම්, අපිට අවශ්‍ය උදවුව ඉල්ලන්න පුළුවන්. හැබැයි අපි එයාට කතා කරන්නේ උදවුවක් ඉල්ලන්න විතරක් නම්, මීට කලිනුත් එහෙම උදවුවක් ඕන වුණහම විතරක් එයාට කතා කරල උදවු ඉල්ලගෙන තියෙනවා නම්, රෙද්දක් ඇඳගෙන ආයෙ උදවු ඉල්ලන්න යන්න එපා. ඒ වෙනුවට එයාට කතා කරලා, මීට කලින් මේ තරම් උදවු කළාට ස්තුති කරන්න. ඒකත් ලොකු දෙයක්.

 

අපේ ෆ්‍රෙන්ඩ්ස් ලිස්ට් එකේ ඉන්න දෙදාහ තුන්දාහ එක්කම ටච් එකේ ඉන්න එක කරන්න පුළුවන් ප්‍රායෝගික දෙයක් නෙවෙයි. හැබැයි කෙනෙක් අපිට ජීවිතේට එකපාරක් හරි සීරියස් උදවුවක් කරලා තියෙනවා නම්, ඒ කෙනා අපි ටච් එකේ ඉන්න අවශ්‍ය කෙනෙක් විදියට හිතාගන්න ඕන. ඉතින් එහෙම අපිට උදවු කරලා තියෙන අය, අපි යාළුවෝ විදියට සළකන අය එක්ක අපි ටච් එකේ ඉන්න ඕන. පුලුවන් වෙලාවට කෝල් එකක් ගන්න. මෙසේජ් එකක් දාන්න. දුකසැප හොයලා බලන්න. අපිට උදවු පදවු කරන යාළුවෙක්ට කරදරයක් වෙලා, අපි දන්නෙත් නැතිනම්, ඇත්තටම එතන ප්‍රශ්නේ තියෙන්නේ කරදරයක් වුණා කියලා අපිට කියපු නැති යාළුවගේ නෙවෙයි. යාළුවා ගැන හොයලා බලන්න බැරි වුණු අපේ. අපි නිතර ටච් එකේ ඉන්නවා නම් යාළුවා කවදාවත් කරදරයක් වුණා කියලා අපිට නොකියා ඉන්නෙ නෑ.

 

අපි කෙනෙක්ගෙන් උදවුවක් ඉල්ලුවහම ඒ කෙනාට එක්කෝ ඒ උදවුව කරලා දෙන්න බැරි වෙන්න පුළුවන්. එහෙම නැතිනම් උදවුව කරන්න අමාරුයි කියලා කියන්න පුළුවන්. ආන්න එතකොට ඒ කෙනාට වගපල කියන්න කලින්, හිතින් හරි ඒ මනුස්සයාට බණින්න කලින් පොඩ්ඩක් හිතලා බලන්න එයා ඉන්න තැන ගැන. අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා. එතකොට ඒ මනුස්සයාට ඒ උදවුව කරන්න බැරි නිසානේ ඒක නොකළේ. හැබැයි ඒක අපි ඒ මනුස්සයා ගැන අහිතක් ඇතිකරගන්න පාවිච්චි කළ යුතු නැහැ. අන්න ඒ නිසා, හැම තිස්සෙම අනික් මිනිහගේ සපත්තු වලට බැහැලා බලන්න, එයාගේ පැත්තෙත් සෑහෙන්න ප්‍රශ්න තියෙන්න පුළුවන් කියන එක ගැන.

 

 

සමහරු ඉන්නවා, ඇත්තටම අනික් අයගෙන් ඉල්ලන්නේ තමන්ට කරගන්න බැරි උදවු නෙවෙයි. මෙහෙම අය එක්කෝ ලෝක කම්මැලියෝ. එහෙම නැතිනම් ලෝක අවස්ථාවාදියෝ. අන්න ඒ නිසා, කෙනෙක්ගෙන් උදවුවක් ඉල්ලන්න කලින් පොඩ්ඩක් හිතලා බලන්න තමන්ට ඒ දේ කොයිතරම් දුරට කරගන්න පුළුවන්ද කියලා. සමහර වෙලාවට තමන්ම ඒ දේ කරන්න ගියහම පොඩි කට්ටක් කන්න වෙයි. ඒත් කමක් නෑ. ඒ වැඩේ එතකොට තමන්මනේ කරගෙන තියෙන්නේ. ආන්න ඒ විදියට තමන්ගේ වැඩ තමන්ම හැකිතාක් දුරට කරගන්න පුරුදු පුහුණු වෙනකොට, ඕන දේටයි එපා දේටයි අනුන්ගෙන් උදවු ඉල්ලන්න තියෙන පෙළඹවීම, පුරුද්ද අඩු වෙනවා. ආන්න ඒක ලොකු දෙයක්!

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here