කාදිනල් හෝ කතෝලික සභාවෙන් උත්තර නැහැ – ටිරාන් UPP සමුළුවේදී කියයි

0
12

පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධව පොලිසිය විසින් මෙතෙක් කරන ලද විමර්ශණ බලා එහි ප්‍රගතිය හෝ අඩු පාඩු පෙන්වා දීමට කාදිනල් හිමියන්ට සහ

කතෝලික සභාවට කරන ලද ආරාධනාවට මෙතෙක් ප්‍රතිචාරයක් නැතැයි පොලිසිය බාර ඇමැතිවරයා පවසයි.

එම ප්‍රහාර මාලාවට වසර 5ක් පිරුන අප්‍රේල් 21 වැනිදා පැවති එක්සත් මහජන පක්ෂයේ (UPP) නුවරඑළිය දිස්ත්‍රික් සමුළුව ඇමතු එම පක්ෂයේ මහලේකම් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මේ බව කියා සිටියේය.

“නමුත් අවාසනාවකට වගේ කාදිනල් හිමිපාණන් සහ තවත් පූජකවරුන් කිහිප දෙනෙක් කරන්නේ මාධ්‍ය සාකච්ඡා තිය තිය ආණ්ඩුව මොකුත් කරන්නේ නැහැ, මහමොළකරුවො හොයලා නැහැ, කියල එකම පදේ හැම මාධ්‍ය සාකච්ඡාවෙම ගහනවා. උන්වහන්සේලා හැමතිස්සේම කතා කරන්නේ  පොලිස්  නිලධාරින් ගැන හා එවකට හිටපු දේශපාලඥයන් අතින් සිද්ධ වුනු අතපසුවීමකින් මේ ප්‍රහාරය සිද්ධ වුණා කියල. විටින් විට ඔවුන් අපිට කියන්නේ ඒ කතාව පමණයි. කාගෙන් හරි අතපසුවීමක් වුනානම් ඒක පස්සේ විතරයි එලවන්නෙ. අද වෙනකම් මේක කවුද කලේ කියල අපි එකතුවෙලා හොයලා බලමු කියල කියල නෑ තාම.”

පොලිස් නිලධාරින් සිදුව ඇති අතපසු විම්වලට ක්‍රියාමාර්ග ගන්නා බව පැවසු මහජන ආරක්ෂක ඇමැතිවරයා එසේ අතපසුවීමට හේතුවක් ලෙස කියා සිටියේ ප්‍රහාර මාලාව හොඳ හැටි සැලසුම් කර තිබිම බවය.

 මෙතෙක් සිදුකරන ලද සියලු විමර්ශණ වාර්තා කාදිනල් හිමියන්ට සහ කතෝලික සභාවට ලබා දිය හැකි බවත් ඒවා අධ්‍යනය කර පරීක්ෂණ කටයුතු ඉදිරියට ගෙන යාමට සහාය වන්නැයි ටිරාන් අලස් අමාත්‍යවරයා යළි වරක් ආරාධනා කර සිටියේය.

“මම දුන්න පොරොන්දුව තමයි මේ රටේ ඉන්න ඕනම ලොක්කෙක් මේ ප්‍රහාරයට සම්බන්ධවෙලා තියෙනවා නම් මම ඔහුව අඩංගුවට ගන්නව කියල. මම ඒ පොරොන්දුව දීල උන්වහන්සේලාට දැන් අවුරුදු දෙකක් තිස්සේ ආරාධනා කරනවා මේක බලලා මේ පරීක්ෂණයට අපි සමග එකතුවෙලා බලමු ඇත්තටම මහ මොළ කරුවෝ කවුද කියලා.” යැයි මහජන ආරක්ෂක ඇමැති පවසයි.

එක්සත් මහජන පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් සමුළුවට පක්ෂයේ දේශපාලන ලේකම් හේමප්‍රිය කවිරත්න ඇතුළු පක්ෂ නිළධාරීන් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පක්ෂ ක්‍රියාකාරින් විශාල පිරිසක් එක්ව සිටියහ.

UPP 2024.04.24

එක්සත් මහජන පක්ෂයේ මහලේකම් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සිදුකළ සම්පූර්ණ කතාව,

”අපේ පක්ෂයේ සහය දෙන්නේ අපේ ප්‍රතිපතිවලට එකඟ ජනාධිපති අපේක්ෂකයාට”
 

” මට අවශ්‍යය අපේ මේ පක්ෂය සියලුම මහජනතාව එකතු කරගෙන මහජනතාවගේ ප්‍රශ්න විසඳගෙන ඒ මහජනතාවගේ දුක අඳුරගෙන අපි ඉදිරියට යන එක.

මම මේ ඇමතිකම අරගෙන අවුරුදු දෙකක් වෙනවා. මම විපක්ෂයේ ඉන්නකොට තමයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ අමාත්‍යාංශය භාරගන්න කිව්වේ.

මම රට සමනය කරන්න ගන්න තියෙන දැඩි තීරණ ගත්තා . අරගෙන අපි රට සමනය කරා. වර්තමාන ජනාධිපතිතුමා රට ගොඩන වෑයමක යෙදුණා. එතුමා මගෙන් බලාපොරොත්තු වුණේ  රටේ සාමය හා නීතිය රකින්න. මම අමාත්‍යංශය භාර ගැනීමෙන් පසුව සියලු දෙනාට කිසිදු භේදයකින් තොරව නීතිය එක හා සමානව ක්‍රියාත්මක කළා.

ඊට පස්සේ මට අවශ්‍ය වුණේ විශාල ප්‍රශ්නයක්ව තිබුණු මත්ද්‍රව්‍ය හා පාතාලය මුලිනුපුටා  දමන්න.

ඒකට මම අත ගැහුවෙ ඔබ සියලු දෙනා හා ඔබ සියලු දෙනාගේ දූ දරුවන් වෙනුවෙන්. මං මේ වැඩේ පටන් ගත්තට පස්සෙ මට ලැබිලා තියෙන්නේ මරණ තර්ජන විතරයි. හැබැයි මම ඒවට බය නෑ මම අඩියක්වත් පස්සට ගත්තෙ නෑ. මම මේ රට කුඩු වලිනුයි පාතාලයෙනුයි නිදහස් කරගන්නව.මේ රටේ ජනතාව ගැන හිතලා තමයි මේ සේරම කරන්නෙ.

මං මේ පක්ෂය ගෙනියන්නෙත් සියලු ජනතාවත් එක්ක එකට අත්වැල් බැඳගෙන ජයග්‍රහණය කරා යන්න. අපි වෙන් වෙලා වැඩ කරන්න ගියොත් ජයග්‍රහණයක් නෑ. ජාති භේද ආගම් භේද අමතක කරල අපි සියලු දෙනාම ශ්‍රී ලාංකිකයින් විදියට මේ රට ගැන හිතලා තමන්ගෙ දරුවන් ගැන හිතලා තමන්ගේ පවුල් ගැන හිතල එකට වැඩ කරන අදහසින් තමයි මම මේ පක්ෂය ඉදිරියට ගෙනියන්නෙ.

මම දන්නව ඔබ සියලු දෙනා මෙතනට ඇවිල්ල තියෙන්නෙ මොකක්ද අපේ පක්ෂයේ අරමුණ කියල දැනගන්න.ඒක තමයි මේ විදිහට මම මේ පැහැදිලි කරල දුන්නෙ.

 මම දේශපාලනඥයෙක් නෙමෙයි. මම මගේ ව්‍යාපාර කටයුතු කරගෙන ඉන්නකොට 2004 වර්ෂයේදී  එවකට හිටපු මංගල සමරවීර ඇමතිතුමා තමයි මට ආරාධනා කරේ. මටත් කියන්නැතුව මාව කටුනායක ගුවන් තොටුපලට පත්කෙරුවා. මං කටුනායක ගුවන් තොටුපළේ සභාපති හැටියට අවුරුදු තුනක් විතර වැඩ කරලා ඊට පස්සෙ තමයි දේශපාලනයට ආවේ. ඊට පස්සේ මම විපක්ෂයේ හිටියේ හැබැයි විපක්ෂයේ ඉන්න ගමන් මට මේ ඇමතිකම ලැබුණා.

ඔබ සියලු දෙනාට යම්කිසි අවස්ථාවක එනවා අවස්ථාවක් රට වෙනුවෙන් වැඩ කරන්න. ඒ  වෙනුවෙන් සියලු දෙනාම එකට එකතු වෙමු.

මේ ඇමතිකම එච්චර ලෙහෙසි ඇමතිකමක් නෙමෙයි කියලා ඔබ සියලු දෙනා දන්නවා. උදාහරණයකට ගත්තොත් අද දවස තමයි පාස්කු ප්‍රහාරය වෙලා වසර පහක් පිරෙන දවස. මෙතනත් මම දන්නවා කතෝලික ක්‍රිස්තියානි බැතිමතුන් ඉන්නවා. මම ඇමතිකම ගත්තු දවසෙ ඉඳන් කාදිනල් හිමිපාණන්ටත්, දිගින් දිගටම ආරාධනා කෙරුවා, කරුණාකරලා පොලිසිය විසින් මෙතෙක් කල් කරපු විමර්ශන දිහා බලන්න, ඒ විමර්ශනවල අඩුපාඩුවක් තියෙනවා නම් මට කියන්න කියල. මට අවශ්‍ය වුණේ සියලු දෙනාම එකතු වෙලා ඒ දේ කරන්න මම ඒ පොරොන්දුව දුන්නා,

මේ මහ මොළකරුවෙක් ගැන එක එක කතා කියනව, මම දුන්න පොරොන්දුව තමයි මේ රටේ ඉන්න ඕනම ලොක්කෙක් මේ ප්‍රහාරයට සම්බන්ධවෙලා තියෙනවා නම් මම ඔහුව අඩංගුවට ගන්නව කියල. මම ඒ පොරොන්දුව දීල උන්වහන්සේලාට දැන් අවුරුදු දෙකක් තිස්සේ ආරාධනා කරනවා මේක බලලා මේ පරීක්ෂණයට අපි සමග එකතුවෙලා බලමු ඇත්තටම මහ මොළ කරුවෝ කවුද කියලා.

නමුත් අවාසනාවකට වගේ කාදිනල් හිමිපාණන් සහ තවත් පූජකවරුන් කිහිප දෙනෙක් කරන්නේ මාධ්‍ය සාකච්ඡා තිය තිය ආණ්ඩුව මොකුත් කරන්නේ නැහැ,  මහමොළකරුවො හොයලා නැහැ, කියල එකම පදේ හැම මාධ්‍ය සාකච්ඡාවෙම ගහනවා. උන්වහන්සේලා හැමතිස්සේම කතා කරන්නේ  පොලිස්  නිලධාරින් ගැන හා එවකට හිටපු දේශපාලඥයන් අතින් සිද්ධ වුනු අතපසුවීමකින් මේ ප්‍රහාරය සිද්ධ වුණා කියල. විටින් විට ඔවුන් අපිට කියන්නේ ඒ කතාව පමණයි. කාගෙන් හරි අතපසුවීමක් වුනානම් ඒක පස්සේ විතරයි එලවන්නෙ. අද වෙනකම් මේක කවුද කලේ කියල අපි එකතුවෙලා හොයලා බලමු කියල කියල නෑ තාම

අර පොලිස් නිලධාරියට විරුද්ධව ඇක්ෂන් ගන්න මෙයාට විරුද්ධව ඇක්ෂන් ගන්ඩ  කියනවා,

ඉතිං මම ඇමති විදිහට අතපසුවීම් වලට අනිවාර්යයෙන් ඇක්ෂන් එකක් ගන්නවා ඒක සීයට සීයක් කරනවා. නමුත් අතපසුවීමක් වුණේ මේක හොඳට කවුරු හරි ප්ලෑන් කරලා කරපු  ක්‍රියාවක් නිසා බව අපි සියලු දෙනා දන්නවා.

ඉස්සෙල්ලම අපි හොයන්න ඕනේ කවුද මේ පාස්කු ප්‍රහාරය සැලසුම් කරලා කෙරුවේ කියලා. මම කරන්නේ ඒක. ඒක හොයන ගමන් කාගෙන් හරි අතපසුවීමක් වෙලා තියෙනවනං ඒකට පියවර ගන්න ඕනනම් ඒකට පියවර ගන්න ඕන.

අද වෙනකොට අවුරුදු පහක් ගිහිල්ලත් මම කාදිනල් හිමිපාණන්ට සහ කතෝලික සභාවට ආරාධනා කරන්නේ  කරුණාකරලා අද වෙනකම් පොලිසිය විසින් කරලා තියෙන විමර්ශන දිහා බලන්න, අපි සියලු දේ සපයන්නම් , විමර්ශනවල මොනවා හරි අඩුවක් වෙලා තියෙනවානං ඒ දේත් අපිට පෙන්නල දීලා අපිත් එක්ක එකතු වෙලා මේ පරීක්ෂණය අවසන් කරන්න එකතු වෙන්න කියල.

 දැන් තියෙන විදිහට ඉස්සරහට ජනාධිපතිවරණයක් එන්න පුළුවන් පස්සේ මහමැතිවරණයක් එන්න පුළුවන්. ජනාධිපතිවරණය එනකොට අපේ මේ ප්‍රතිපත්තිවලට සමාන ප්‍රතිපත්ති තියෙන කවුරු හරි අපේක්ෂකයෙක් ඉන්නවනම් අපිට අනිවාර්යයෙන් ඒ අපේක්ෂකය එක්ක එකතු වෙලා වැඩකරන්න පුළුවන් . හැබැයි මම තීරණය කරල තියෙන්නෙ එහෙම කවුරුහරි එක්ක එකතු වෙනවනම්. මේ රට ගොඩදාගන්න පුළුවන් කවුරු හරි වෙන්න ඕන. 2022 ඉඳන්  2024 වෙනකම් ගත්තොත් තිබුණු තත්ත්වය හැටියට ලොකු ප්‍රගතියක් ලබලා තියෙනවා. මං එවැනි දේවල් බලල තමයි තීරණයක් ගන්නේ. හේතුව වැරදි කෙනෙක් බලයට ඇවිල්ල මේ දේ කරගන්න බැරි උනොත් 2022 තිබුණු තත්ත්වයට අපි සියලු දෙනා යළිත් පත්වෙනවා.

 (චතුරංග මේදිස්)

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here