'දිසි රැළ' ඒකාබද්ධ සමුද්‍ර ආරක්ෂක මෙහෙයුම තුළින් ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් තවදුරටත් ශක්තිමත් කරයි – Saru News Media | Sri Lanka Business News

0
9

පසුගිය දා කොළඹදී දියත් කරන ලද නව ඒකාබද්ධ සමුද්‍ර ආරක්ෂක මෙහෙයුම තුළින් දෙරටේ සමුද්‍රීය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව දක්වන කැපවීම මැනවින් ප්‍රදර්ශනය විය.

‘දිසි රැළ’ ලෙස නම් කර ඇති මෙම ඒකාබද්ධ මෙහෙයුමේ මූලික අරමුණ වන්නේ අන්තර් සමුද්‍රීය කලාපය පිළිබඳ විමසිලිමත් බව තවදුරටත් ඉහළ නැංවීම වේ.  මෙම වැඩසටහන  යටතේ ඕස්ට්‍රේලියානු දේශසීමා බලකාය (ABF) සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව (SLCG) විසින් දික්ඕවිට ප්‍රදේශයේ සිට හලාවත ප්‍රදේශය දක්වා සතියක නියමු වැඩපිළිවෙළක් දියත් කොට එය ඉදිරියට බලාත්මක කිරීමට අපේක්ෂා කරයි.

ඒකාබද්ධ නියෝජිත ආයතන කාර්ය සාධක බලකායේ ස්වෛරී දේශසීමා මෙහෙයුම් අංශයේ ප්‍රධානී රියර් අද්මිරාල් (Royal Australian Navy) බ්‍රෙට් සොන්ටර් මහතා, ‘දිසි රැළ’ හරහා දෙරට අතර සහයෝගීතාවය වඩාත් සවිමත් වනු ඇති බව අවධාරණය කරමින් මෙසේ සඳහන් කළේය. “ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තිබෙන සබඳතාවය අපි බොහෝ විට හඳුන්වන්නේ රන් ප්‍රමිතියක් සහිත සබඳතාවයක් ලෙසයි. ‘දිසි රැළ’ වැඩසටහන තුළින් එම රන් අගය ප්ලැටිනම් අගයක් දක්වා වර්ධනය වනු ඇත. සමුද්‍රීය ආරක්ෂාව කෙරෙහි එල්ල වන තර්ජන මැඬලීම වෙනුවෙන් දෙරටට බලාත්මක කිරීමට හැකිවන අවස්ථාවන් කෙරෙහි මම සුවිශේෂී අවධානයකින් පසුවෙනවා.”

‘දිසි රැළ’ ක්‍රියාන්විතය ඔස්සේ නීති විරෝධී මිනිස් ජාවාරම් සහ අනෙකුත් සමුද්‍රීය අපරාධ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම ඇතුළුව ඕස්ට්‍රේලියානු දේශසීමා බලකාය (ABF) සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව (SLCG) අතර මෙහෙයුම් සිදුකිරීම සහ තොරතුරු හුවමාරු කර ගැනීම වැනි බොහෝ කාර්යන් සිදු වනු ඇත.

සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීම සඳහා ‘දිසි රැළ’ මෙහෙයුම කදිම අවස්ථාවක් බව සඳහන් කරමින් ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් පූජිත විතාන මහතා මෙසේ ප්‍රකාශ කළේය. ” ‘දිසි රැළ’ වැඩසටහන තුළින් ආවරණය කරන පරිදි සමුද්‍රීය පරිසරය පිළිබඳව විමසිලිමත්ව සිටීම අප සියලුදෙනාගේම වගකීමක් වෙනවා. එනම් සියලුම ශ්‍රී ලාංකිකයන් වෙත, සමුද්‍රීය කලාපයේ ආරක්ෂාව රැකගැනීම  පිළිබඳව වැදගත් කාර්යභාරයක් පැවරී තිබෙනවා .”

සතියේ දින 07 ම ආවරණය කරමින් දවසේ පැය 24 පුරා සක්‍රීයව පවතින 041 750 1400 විශේෂිත ක්ෂණික ඇමතුම් අංකයක් හරහා සමුද්‍රීය කලාපයේ ආරක්ෂාව සමිබන්ධ ඕනෑම , සැක සහිත හෝ නීති විරෝධී සමුද්‍ර ක්‍රියාකාරකමක් පිළිබඳව නිර්නාමිකව වාර්තා කිරීමේ පහසුකම මහජනයා වෙත සලසා දී තිබේ.

“අපගේ සාමුහික අභියෝගවලට මුහුණ දීමට මෙන්ම සාමුහික අරමුණු සාක්ෂාත් කර ගැනීමට ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම පිළිබඳව අපි නිහතමානීව සතුටු වෙනවා. ඒ වගේම ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර සබැඳියාව ශක්තිමත්ව වර්ධනය  කිරීම වෙනුවෙන් ද මෙම ‘දිසි රැළ’ මෙහෙයුම මනා පිටිවහලක්.” යනුවෙන් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රියර් අද්මිරාල් සොන්ටර් මහතා ප්‍රකාශ කළේය .

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here