බස් රියේ දුම්රියේ හමුවන යාචක මොඩල්ස් – Beggars models found in Sri Lanka – Saru News Media

0
5

දකුණු ආසියාතික රටවල යාචකයින් කියන්නේ දුර්ලභ දෙයක් නෙමෙයි.  මෙම යාචකයින් කියන දේ අසා සිටි විට සහ ඔවුන්ගේ පෙනුම දෙස බැලූ විට ඔවුන්ට සුලු ගණනකින් හරි මුදල් සහයෝගයක් දෙන්නට සාමාන්‍ය මිනිසුන් හුරු වෙලා තිබෙනවා. මීට වසර 50කට 60කට පෙර මේ යාචකයින් සංවිධානාත්මකව යාචක වෘත්තියේ නිරත වූ අකාරය මහාචාර්ය නන්දසේන රත්නපාල මහතාගේ “ශ්‍රී ලංකාවේ යාචකයෝ“ පොතේ හොඳින් විස්තර කොට තිබෙනවා. එහෙත් පසුකාලීනව සමාජයේ ඇති වූ වෙනස සමග යාචක වෘත්තියේ පැවති ඒ සංවිධානාත්මක බව යම්තාක් දුරට අඩු වී යාචක කාර්යය කරන පිරිස විසිරී ගිය ස්වභාවයක් අද පෙන්නුම් කරනවා. අපගේ අරමුණ යාචකයාගේ වෘත්තියට අවමන් කිරීමට නම් නෙමෙයි. එහෙත් යාචක කාර්යය කියන්නේ වෘත්තියක්. මෑතකදි කරන ලද සමීක්ෂණ වලින් පවා යාචකයෙක් දිනකට රුපියල් තුන්හාරදාහක මුදලක් උපයන බැව් සොයාගෙන තිබෙනවා. සෑම යාචකයෙකුගේ ම ඉදිරිපත් කිරීම ඔබගේ පසුම්බියට අත යන තරම් අනුවේදනීය වුවත් බොහෝවිට එය ඔබට පෙනෙන දෘෂ්ඨි මායාවක් පමණයි. අපි දැන් එවැනි යාචක මාදිලි කිහිපයක් ගැන බලමු

 

යම්කිසි අනතුරක් සිදු වි කකුලක් අතපයක් කැඩී ගිය මොවුන් එය යථා තත්වයට පත් කරගන්නට ආධාර සිඟති. මෙය සැබැවින්ම සිදු වූ අනතුරක් ද මුල් කාලයේදී සැබැවින්ම අසරණව සිඟාකන්නට යොමුවූවාද වන්නට පුළුවන්. එහෙත් දිනකට ලැබෙන සිඟමන් ප්‍රමාණය අනුව ඔවුන් කියන රුපියල් ලක්ෂ දෙක තුනක මුදල සොයාගන්නට ඔවුන්ට මාස දෙක තුනකට වඩා සිඟන්නට අවශ්‍ය වෙන්නේ නෑ. එවන් එක්තරා සිඟන්නෙක් පවසන අන්දමට ඔහු බසයකට යට කොට ඒ බස් හිමිකරු පලාගොසින්. ඉන් පසු කකුල ඔත්පල වී නැවත කකුලක් දැමීමට ආධාර පතා තමයි ඔහු මේ බස් රියට ගොඩ වන්නේ. සෑම වාක්‍යයක්ම දෙවරක් බැගින් කියමින් ඉතා අනුවේදනීය කටහඩකින් මගින් අමතන මේ සිඟන්නා වසර තුන හතරක පමණ කාලයක් දකුණු පලාතේ විවිධ බස් රිය වල සිඟා කෑමේ කටයුතු වල නිරත වුනා. ඔහු  පවසන කතාවට සසල වූ සිත් ඇති බොහෝ පිරිස් වැඩි මුදලක් ලබාදෙන නිසා මේ අයට ඉහත කී විශාල සැත්කම් මුදල හෝ ප්ලාස්ටික් කකුල ගන්නට යන වියදම සොයාගන්නට වැඩි කාලයක් නම් ගත වන එකක් නැහැ.

මේ මාදිලියේ සිඟන්නෙක් දුම්රියේද යනවා. ඔහු පවසන ආකාරයට මේ සිඟාකෑම ඔහුටත් අප්‍රිය වී ඇති දෙයක්.එහෙත් ඔහු බොහෝ කාලයක සිට ඒ අප්‍රිය ක්‍රියාව වසර ගනනාවක් තිස්සේ ඒ ආකාරයෙන්ම බොහෝ දුම්රියන්හි බඩගාමින් සිදු කරනවා. ඔහුටත් ඔහුගේ අනුවේදනීය කතාව නිසා ලැබෙන මුදල් ප්‍රමාණ නම් සාපේක්ෂව වැඩියි.

 

පිටකොටුව බස් නැවතුමේ රාත්‍රී බසයකට වරක් කුඩා කිරි දරුවෙක් සමග සිඟන කාන්තාවක් නැංගේය. ඒ දරුවා බෝනික්කකු මෙන් හොඳි්න නිදාගෙන සිටියේය. සිඟාකෑම නිසාම ගොරෝසු කටහඩක් ඇති ඒ කාන්තාවගේ අනුවේදනීය කතාවට කන්දුන් බොහෝ දෙනෙක් සිය සාක්කු වලින් මුද්ල් ඇද ඇයට දුන්නේය. එහෙත් පැය බාගයකට පසු ඇය නැවත ඒ බස්රියටම නැග පෙර කී කතාවම කීවේ ඇයට මේ පෙර බසය යැයි අමතක වීමෙනි. එවන් රාත්‍රියක පින්නේ කුඩා දරුවෙකු සමග කුඩා දරුවා ගැනවත් නොසිතා සිඟමන් යදින මෙම කාන්තාවගේ කතාවේ ඇති සැබෑ ස්වරූපය දෙවැනි වර පැමිණීමේදී බොහෝදෙනෙක්ට හොදින්ම වැටහුනි.

දරුවන් රැගෙන සිඟාකෑම සිදුකිරීම ඒ දරුවන්ට කරන මහත් වූ පීඩාවකි.කුඩා දරුවන් ඇතැම් විටක මිනිසුන්ට අනිමින් ඔවුන්ගේ අනුකම්පාව යදිති. පෙනෙන සීමාවේදී සිඟන අය දරුවන්ට මහත් ආදරයක් පෙන්වුවත් මදක් මිනිසුන් දකින සීමාවට ඔබ්බෙන් වරක් දෙවරක් හෝ නිරීක්ෂනය කලොත් ඒ සිගාකෑමට රැගෙන එන දරුවන් ට ඒ දෙමාපියන් යැයි පෙන්වන අය අමතන ආකාරය සහ සලකන ආකාරය හොඳින් බලාගත හැකිය. ඇතැම් තැනකදි වැදගත් මහතෙකු මෙවන් අයට දරුවන් විපතේ හෙලිම පෙන්වා දුන්නද එක්කෝ බනිමින් හෝ නැතිනම් ඉක්මනින් මාරු වෙමින් ඒ අවස්ථාව ඒ සිඟන පිරිස විසින් මග හැර යති.

 

මහළු වූ කල සිය දරුවන් නොසැලකීම හෝ වෙනත් වූ හේතු මත සිඟමනට වැටී ඇති මහලු මව් පිය වරුද රැසකි. ඔවුන් ඇතැම් විටක ගීත ගයමින් යම් යම් භාන්ඩ වාදනය කරමින් සිගා කති. දරුවන් රැගෙන එන සහ අනුවේදනීය කතා වස්තු ගෙනහැර දක්වන අය මෙන් මේ මහළු වියේ සිටන සිඟන පිරිස එතරම් මුදලක් උපයන්නේ නැත. මෙවැනි මහළු සිඟන්නෝ පදික වේදිකාව වලද වෙති. එවන් එක් සිඟන ගැහැනියකට හොඳින් ඇදපැලදගත් මහතෙකු වරක් බත් එකක් දුන්නේය. එහෙත් ඇය බත් පත කන විනාඩියටවත් විවේකයක් නොගෙන එක අතකින් බත් කන අතර අනෙක් අත දික් කරන්නේ තවත් සිඟා ගැනීමටය.

ඇතැම් සිඟන්නෝ සැබැවින්ම බත් පතක් ලැබුන පසු සහ අවශ්‍ය ගනන සම්පූර්ණ වූ කල සිය කාර්යය නතර කරති. මග දෙපස සිටින සිඟන අයට සමහරක් දිනෙක බත් පාර්සල් කිහිපයක් ලැබෙන අතර ඒවායේ ඇති මස් මාලු බ්ත්තර ආදිය වෙන වෙම තොරා ගෙන ඒ දන් දුන් සියල්ලන්ට ම පින් හුවමාරු වන පරිදි ඒ පිලිගත් දේ අනුභව කරන්නට සිඟන්නෝ පෙළබෙති.

 

සිදුවූ විපත හොදින් විස්තර කිරීමට තරම් හැකියාවක් නොමැති නිසාදෝ ඇතැමෙක් කොලයක් සහ බෝදි පූජා පොතක් කාඩ්පතක් වැනි යමක් සමග බෙදති. බෙදාගෙන ගොස් නැවත පැමිණ එය මුදල් සමග එකතු කරගනිති. එය නිහඩ එහෙත් ප්‍රබල ක්‍රමයකි. මේ ක්‍රමයට සිඟන අය මෙන්ම අලුතින් බිහිවූ ස්ටිකර් වෙලෙන්දන් පිරිසක්ද වෙති. ක්‍රීඩාංගනයක් සැකසීම, දන්සැලක් දීම, වැනි කටයුතු තිබේ යැයි කියමින් ස්ටිකර් ආදිය රැගෙන ගොඩවෙන ඔවුන් සමහරෙක් කනට කොට විස්තර කියා මුදල් ලබාගැනීමේ වැදගත්කම කියා ඇතැම්විට තර්ජනය කිරීම් පවා කරති. පෙම්වතුන් ගැවසෙන මුහුදුවෙරළ, උයන්වතු ආදිය අසලද මෙවැනි කාඩ් සහ විවිධ දේ විකුණන හිගන්නෝ වෙති. ඔවුන්ගෙන් ගැලවීමත් ලෙහෙසි නැත.

 

මහළු අයට පිහිට විය යුතුය. අසරණයන්ට පිහිට විය යුතුය. මහළු අයට ළමා අයට පිහිට විමට අවැසි නම් එවැනි දේ වඩාත් සංවිධානාත්මකව කරන පිරිස් වෙත ඒ සහන ලබාදිය හැකිය.මහලු නිවාස සහ ළමා නිවාස වෙත ආධාර උපකාර කරන්නේ නම් ඒවා බොහෝදුරට ඒවායේ දිවිගෙවන අයට මහත් රුකුල්ක වෙනු ඇත.  ලෙඩුන්ට අසරණයන්ට පිහිට වීමදහොද පුරුද්දකි. ඒ සඳහාද මහරගම පිළිකා රෝහල සහ රටේ විවිධ තැන්වල විවිධ කන්ඩායම් සංවිධානය වි කරන වැදගත් කාර්යයන් තිබේ. අපිට ශ්‍රමයෙන් හෝ ධනයෙන් ඒවාට සහයෝගය දිය හැකිය. පාරේ සිඟාකෑම වනාහී එක්තරා වූ අසරණයින්ගේ ජීවිකා වෘත්තියකි.  දරුවන් සිඟාකන විට දරුවන්ට විශාල කොළ දික්කිරිමෙන් තවත් දරුවන් සිඟමනට යොමු වීමට එය රුකුලක් වේ.  ඊට වඩා දරුවන් විශාල ප්‍රමාණයකට වැඩ සිදුවෙන පරිදි සංවිධානාත්මකව යම් යම් සත්කාරයන් කළ හැකි නම් එය වඩාත් ප්‍රයෝජනවත් කාර්යයක් වෙනු ඇත. සැබෑ අසරණයින් බොහෝවිට පාරේ සිඟාකන්නට එන්නේ නැත. මන්ද ඔවුන් කිසියම් හෝ ක්‍රමයකින් තමුන්ට හැකි පමණ ජීවිතය ගෙන යන්නට වෙර දරමින් දවස තිස්සේ අමාරු රැකියා වෘත්තියක නිරත වන බැවිනි.

 
Cover Image Source – newsgram.com
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here