ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු නංවාලීමට චීන කුඩා හා මධ්‍යම පරිමාණ වානිජ සංගමයේ සහාය – Saru News Media උණුසුම් පුවත්

0
4

මේ දිනවල ශ්‍රි ලංකාවේ සංචාරයක නිරතව සිටින චීන කුඩා හා මධ්‍යම පරිමාණ වානිජ සංගමයේ ( China Association of small and medium Scale commercial Enterprises)  නියෝජිත පිරිස ඊයේ (25) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී සාකච්ඡා කළා.

මෙම සංගමය දැනට චීනයේ තිබෙන විශාලතම කුඩා හා මධ්‍යම පරිමාණ එකමුතුවයි.

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ පලතුරු හා එළවළු වගාවට මෙන්ම එම නිෂ්පාදන චීනයට අපනයනය කිරීම සඳහා අවශ්‍ය සියලු සහයෝගය ලබා දීමට තම සංගමය  සූදානම් බව එම සංගමය ප්‍රකාශ කළා.

එපමණක් නොව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරනු ලබන කවර යෝජනාවක් වුවද ක්‍රියාත්මක කිරීම සඳහා තම සංගමය සූදානම්ව සිටින බවද ඔවුහු පැවසුවා.

මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ වනවිට ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා රටවල් ගණනාවක් ඉදිරිපත් ව ඇති බවත්, ශ්‍රී ලංකාව තුළ ආයෝජන අවස්ථා පුළුල් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් ප්‍රමුඛ රජය ගත් පියවර සාර්ථක වී ඇතැයි ද පැවසුවා.

චීනයේ කුඩා හා මධ්‍යම පරිමාණ වානිජ සංගමය විසින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට නියමිත කෘෂිකාර්මික, සත්ව පාලන වැඩ සටහන් සම්බන්ධව යෝජනාවලියක් ඉදිරිපත් කරන ලෙස අමාත්‍යවරයා එම නියෝජිත පිරිසට දැනුම් දුන්නා.

එමෙන්ම ශ්‍රී ලංකාව තුළ කිරි, බිත්තර හා මස් නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබා දෙන ලෙස ද අමාත්‍යවරයා ඉල්ලා සිටියා.

මෙහිදී අදහස් පළ කළ චීන නියෝජිත පිරිස ශ්‍රී ලංකාව විසින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයට අදාලව ඉදිරිපත් කරනු ලබන කවර ඉල්ලිමක් වුවද ක්‍රියාත්මක කිරීමට තමන් පියවර ගන්නා බව සඳහන් කළා.

ඒ අනුව මෙම කටයුතු ඉදිරියට සම්බන්ධීකරණය සඳහා චීනයේ නියෝජිතයෙක් සහ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක් ද පත් කිරීමට පියවර ගනු ලැබුවා.

මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ නිලධාරිහු පිරිසක් ද සහභාගි වී සිටියා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here