අලුත් හයිවේ කොටස එක්ක ලේසියෙන් සෙට්වෙන ට්‍රැවල් අත්දැකීම් – Saru News Media

0
2

අලුත් පාරක් කියන්නේ අලුත් නෑකම් එකතු වෙන තැනක්. ඉතින් අලුත් හයිවේ එක හැදුනත් හරි ඒ පළාත තවත් කොළඹට කිට්ටු වුනා වගේ එකක් වුනා. කොට්ටාවේ ඉන්න කෙනෙක්ට සාමාන්‍ය පාරේ මීගමුවට යනවාට වඩා ඉක්මනින් දැන් හම්බන්තොටට යන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ එක්ක අලුත් විදිහට ට්‍රැවල් එක්ස්පීරියන්ස් ටිකකුත් අපිට ඉබේම සමීප වුනා. කොළඹම නොවුනත් නුවර, අනුරාධපුර, කුරුණෑගල, ගම්පහ ඉන්න අයටත්  දැන් වෙනදාට වඩා අඩු කාලෙකින් හම්බන්තොට දිහාවට කිට්ටු වෙන්නට හැකියි. ඒ එක්ක මොනාද ඔයාලට එහේ ගිහින් ගන්න පුළුවන් එක්ස්පීරියන්ස් කියලා අපි සොයා බලමු.

 

ලංකාව කියන්නේ වන සතුන්ගේ පාරාදීසයක්. ජිම් කෝබට් ගේ දිවියන් ගැන කතා තිබුනාට ඉන්දියාවේ වනෝද්‍යානයක දිවියෙක් බලාගන්න එක අද කාලේ ලේසි වැඩක් නෙමෙයි. ඉතින් දිවියන්, වලසුන් සහ අනෙක් සතුන් බලන්න යාල යන්න දැන් වැඩිවෙලාවක් යන්නෙ නැහැ. උඩවලව පාක් එකටත් පොඩි දුරක් තියෙන්නේ හයිවේ එකේ ගිහින් සූරියවැවින් දැම්මොත්. ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය සහ තණමල්විල පැත්තටත් අවශ්‍ය අයට යන්නට හැකියි. කුරුල්ලන්ට ආස අයට කළමැටිය, බූන්දල වගේ කලපු ආශ්‍රිත සුන්දර පරිසර පද්ධති දැන් කොළඹට ගොඩක් සමීප වෙනවා අලුත් හයිවේ එක නිසා.

 

හම්බන්තොට සුන්දර උස්සන්ගොඩ වෙරළ තීරය වරක් හෝ දැකබලාගන්න වටින තැනක්. පැරණි කාලේ උල්කාවක් කඩා වැටුනා හෝ එවැන් දෙයක් නිසා මූද අයිනේ පොලව රතුපාට වෙලා ගල් හෙම උණු වෙලා තියෙනවා. ඒ උස්සන්ගොඩ කියන්නෙත් වනෝද්‍යානයක්. මූද අයිනේ හම්බන්තොට දිහා තියෙන ලේවාය බලන්න යන එකත් දරුවන්ට වටිනවා. කඩොලාන සහ වගුරු බිම් ආශ්‍රිත රැකව, කලමැටිය, බූන්දල වැනි තෙත් බිම් වලිනුත් මේ දිසාව සාරවත්. අධ්‍යාපනික වගේම පරිසර වටිනාකමකින් යුතු ලස්සන වෙරළ පරිසර පද්ධතියක් මේ කළාපයේ තියෙනවා.

 

තැන් බලන්නට විතරක් නෙමෙයි විවේක ගන්නත් අපි සංචාරය කරනවා. හැම තැනම දුවලා පැනලා මහන්සිවෙනවාට වඩා එක තැනකට වෙලා විවේකෙන් කාලය ගතකරන්න ඇතැම් අය ආසයි. විශේෂයෙන් බටහිර ජාතිකයන්ගේ සංචාරක අත්දැකීම් බොහොම විවේක පාඩුවේ තමයි සිදු වෙන්නේ. ඔවුන් බලන තැන් ආදියත් විවේකෙන් බලලා මන්දගාමී විදිහට සංචාරය සැලසුම් කරගන්නවා. තංගල්ල පළාතේ අනන්තරා ආදී සුපිරි තැන් වගේම ලස්සන විවේක තැන් ගොඩක් තියෙනවා. මූද අයිනේ වෙරළ පරිසරය එක්ක ඒ තැන්වල හොඳ පහසුකම් තියෙනවා. හම්බන්තොටත් දැන් ෂැංග්‍රිලා හෝටලයකුත් ඇරිලා පහසුකම් තියෙන හෝටල ගණනාවක් විවෘත වෙලා තියෙනවා.

 

තිස්සමහාරාම කියන්නේ පුරාණ රුහුණු රාජධානියේ සංදිස්ථානයක්. කතරගම ආගම් දෙක තුනේම ජනයාට වැදගත් වෙන සිද්ධස්ථානයක්. කතරගම කියන්නේ විනෝද චාරිකාවකට වඩා බැතිසිතින් කරන දෙවියන්ගේ, බුදුන්ගේ ආශිර්වාදය ලබාගන්න කරන වන්දනා ගමනක්.  සිතුල්පව්ව, මාලිගාවිල වගේ සිද්ධස්ථානත් මේ හම්බන්තොට කළාපයේම පිහිටලා තියෙනවා. කතරගම වන්දනා කටයුතු වලදි බලන්නට තියෙන සෙල්ල කතරගම, වැඩහිටි කන්ද, මහා දේවාලය, කිරිවෙහෙර ආදී සියලුම තැන් වැඳපුදාගෙන සැහැල්ලුවෙන් නැවතිලා ඉන්න නවාතැන් පොලවලුත් ගොඩක් කතරගම තියෙනවා. ආයතන වල වැඩකරන අයට නම් ඒ ඒ ආයතන වල සර්කිට් බංගලෝ එහෙමත් කතරගම බහුල වශයෙන් තියෙනවා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here