සන්ස්ක්‍රීන් ගැන හැමෝම වගේ අහල ඇති. ඒත් සන්ස්ක්‍රීන් එකක වැදගත්කම, ඒක ලංකාවෙ අපි පාවිච්චි ඕනෙද නැද්ද, සන්බ්ලොක් කියන්නෙ මොනවද, කොහොමද මේව පාවිච්චි කරන්නෙ වගේ ප්‍රශ්න ගොඩක් සන්ස්ක්‍රීන් ගැන අහල තියෙන අයටත් තියෙනව කියල අපි දන්නව. ඉතින් අද ලයිෆි බියුටි වෙතින් අපි අරන් ආවෙ හැමෝම දන්න, ඒත් හරියටම නොදන්න සන්ස්ක්‍රීන් ගැන.
1. සන්ස්ක්‍රීන් සහ සන්බ්ලොක් වල වෙනස මොකක්ද?
සන්බ්ලොක් එකකින් සිද්ධ වෙන්නෙ සම මත පතිත වෙන හිරුකිරණ සම්පූර්ණයෙන්ම ආපහු හරවා යැවීමක්. සන්බ්ලොක් සම මත සුදු පැහැයෙන් පේන නිසා එදිනෙදා භාවිතයට වඩා මේක සුදුසු ක්‍රීඩා වල නිරත වෙන අයටයි. සන්බ්ලොක් වලින් හිරු එළියෙන් අපට ලැබෙන විටමින් D නොලැබී යන්න පුළුවන් නිසා නිතරම සන්බ්ලොක් පාවිච්චි කරන අය බාහිරව සහ ආහාර වලින් විටමින් D අවශ්‍යතාවය සපුරාගන්න ඕන.
ආලේප කළාම අවර්ණ නිසා සන්ස්ක්‍රීන් එකක් අපිට එදිනෙදා එළියට යන කොට පාවිච්චි කරන්න පුළුවන්. මේක සම මත ආවරණයක් විදියට ක්‍රියාකරන අතර UV කිරණ උරාගෙන සමට එයින් වෙන්න පුළුවන් අහිතකර බලපෑම පාලනය කරල සම ආරක්ෂා කරනව.
2. ලංකාවේ අපිට සන්ස්ක්‍රීන් ඕනෙද?
දුඹුරු හමක් ඇති ආසියාතිකයො විදියට අපේ හමේ මෙලනින් වර්ණකය හිරු එළියේ ඇති අහිතකර කිරණ වලින් අපිව ස්වභාවිකවම ආරක්ෂා කරනවා. ඒත් ඕසෝන් ස්ථරය හානි වීමත් දැන් පවතින පරිසර සාධක වෙනස් වීමත් කියන කාරණා නිසා මෙලනින් වලින් විතරක්ම අපේ සමට 100%ක ආරක්ෂාවක් සලසාගන්න බැහැ. මේ නිසා හිරුගේ බලපෑම වැඩියෙන්ම පවතින උදේ 10ත් සවස 4ත් අතර එළිමහනේ ගැවසෙන කෙනෙක් නම් සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරන එක සමේ ආරක්ෂාවට වඩාත්ම සුදුසුයි.
3. සන්ස්ක්‍රීන් ගෑවම සුදු වෙනවද?
සුදු වෙන එක දැන් ඉන්න හැම ගෑණු ළමේක්ගෙම ආසාවනෙ. හැබැයි ඔන්න සන්ස්ක්‍රීන් වලින් සුදු වෙන්නෙ නම් නෑ. ඒත් තියෙන සමේ පැහැය අඳුරු නොවී රැකගන්න, හිරු කිරණ වලින් සම අවපැහැවීම වළක්වගන්න නම් සන්ස්ක්‍රීන් අනිවාර්යයෙන්ම උදව් වෙනව.
සුදු වෙන්න බලන් නෙවෙයි හිරු කිරණින් වෙන හානිය වළක්වාගන්න සන්ස්ක්‍රීන් පාවිච්චි කරන්න. ඒ වගේම සන්ස්ක්‍රීන් ගාන පමණින් ඒක අනවශ්‍ය විදියට වැඩි වෙලාවක් හිරු කිරණට නිරාවරණය වෙන්න අවසරයක් කරගන්නත් එපා.
4. සම ආරක්ෂා කරගන්න සන්ස්ක්‍රීන් ඕනෙ ඇයි?
සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරන එකේ ඇති වැදගත්ම ප්‍රයෝජනය තමයි හිරු කිරණ වල ඇති අහිතකර UV කිරණ නිසා සමේ පිළිකා තත්ත්ව ඇතිවීම වැළැක්වීම. 100%ක්ම මෙයින් ආරක්ෂාව සැලසුනේ නැති උනත් සැලකියයුතු මට්ටමකට UV කිරණ වල අහිතකර බලපෑම අඩු කරන්න සන්ස්ක්‍රීන් එහෙකට පුළුවන්. පිළිකා තත්ත්වයන්ට අමතරව හිරු කිරණ නිසා සම අකලට රැළි වැටී වයසට යෑම, සම මත ලප කැළැල් ඇතිවීම වගේම සම අඳුරු වීම වැළැක්වීමට සන්ස්ක්‍රීන් උදව් කරනවා.
5. SPF අගයෙන් කියවෙන්නෙ මොකක්ද?
සන්ස්ක්‍රීන් එකක් හෝ සන්බ්ලොක් එකක් මිලදී ගන්න යනකොට අපිට අවශ්‍ය SPF අගයෙන් තෝරගන්න පුළුවන්. SPF අගයන්ගෙන් කියන්නෙ සන්ස්ක්‍රීන් එකක් හෝ සන්බ්ලොක් එකක් අපේ සමට ආරක්ෂාව සලසන කාලය ගැනයි. සන්ස්ක්‍රීන් මිලදී ගන්නකොට SPF අගය ඉහළ ක්‍රීම් එකක් මිලදී ගන්න එකෙන් වැඩි කාලයක් ආරක්ෂාව සලසගන්න පුළුවන්.
6. SPF අගය විතරද බලන්න ඕන?
SPF අගය විතරක් හොඳ සන්ස්ක්‍රීන් එකක් තෝරා ගැනීමට අදාළ වන්නේ නැහැ. ඔබේ සම UVB කිරණ වලින් ආරක්ෂා කලාට UVA කිරණ වලින් ආරක්ෂා වෙන්න නම් ඔබට SPF අගය ඉහළ වගේම broad-spectrum අඩංගු සන්ස්ක්‍රීන් එකක් ගන්න එක තමා වඩාත්ම සුදුසු.
7. සන්ස්ක්‍රීන් ගාන්න ඕන කොයි වෙලාවටද?
බීච් එකට, සෙල්ලම් කරන්න ග්‍රවුන්ඩ් එකට යන කොට විතරක් සන්ස්ක්‍රීන් ගෑවම මදි. එළිමහනේ දවසින් වැඩි කාලයක් ගත කරන කෙනෙක් නම් අනිවාර්යෙන් සන්ස්ක්‍රීන් ගැල්වීම කළ යුතුයි.
අව්ව සැර නැති වළාකුළු බර දවසක් කියන්නෙ සන්ස්ක්‍රීන් නොගා ඉන්න පුළුවන් දවසක් නෙවෙයි. වළාකුළු වලින් අහස වැහුණට UV කිරණ වල බලපෑම තියෙනව. ඒ වගේම නුවරඑළිය වගේ සීතල පරිසරයක අපිට අව්ව සැර නොදැනුණාට කඳුකර පරිසර වලදී UV කිරණවල බලපෑම ඉහළයි කියලයි පරීක්ෂණ වලින් කියන්නෙ. ඒ නිසා ඔබ එළිමහනට යන ඕනම වෙලාවක සන්ස්ක්‍රීන් පාවිච්චි කරන්න.
8. සන්ස්ක්‍රීන් එකක් ගාන්නේ කොහොමද?
හිරු එළියට නිරාවරණය වෙන්න විනාඩි 15කට කලින් සන්ස්ක්‍රීන් එක ගාගන්න. සන්ස්ක්‍රීන් එකක් සමට උරා ගෙන සම මත ප්‍රතික්‍රියා කරන්න යම් කාලය ගත වෙනව. අත්, මුහුණ සහ කකුල් වල වගේම කන් පෙති වල සහ බෙල්ල වගේ සම හිරුඑළියට නිරාවරණය වන තැන් වලත් සන්ස්ක්‍රීන් ආලේප කරන්න.
9. Waterproof සන්ස්ක්‍රීන් පාවිච්චි කරන්නෙ කොහොමද?
පූල් එහෙක හරි මුහුදේ හරි නාන්න යනවනම් වතුරෙන් සන්ස්ක්‍රීන් එක සේදිලා නොයන්න Waterproof සන්ස්ක්‍රීන් එකක් ගාන්න ඕන. ඒත් මේ Waterproof සන්ස්ක්‍රීන් උනත් ගෑවට පස්සෙ අවම මිනිත්තු 20කට වරක්වත් අලුත් කරන්න ඕනෙ. එක වතාවක් විතරක් සන්ස්ක්‍රීන් ආලේප කරලා පැය දෙක තුනක් වතුරෙ බැහැගෙන ඉන්නව නම් සන්ස්ක්‍රීන් එකෙන් ප්‍රයෝජනයක් වෙන්නෙ නෑ.
Saru News