ලෝකයේ එතෙක් මෙතෙක් පැවැතුණු සාමකාමී විප්ලව! – Saru FM Media

0
101


විප්ලව සහ අරගල කියන වචන අපිට අමුතු ඒවා නෙවෙයිනේ. ඒ කියන්නේ අපි මෙච්චර කාලෙකට ඕනෑ තරම් අරගල සහ විප්ලව ගැන අහලා තියෙනවා. පුංචි කාලේ ඉඳලම පොත් පත් වලින් කියවලා තියෙනවා, කතාන්තර විදියට අහලා තියෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව යටත් කරගන්න පෘතුගීසීන් ආපු දවසේ ඉඳලා ඉංග්‍රීසීන් රටට නිදහස දීලා යනකල්ම සිද්ධ වුණු විප්ලව ගැන අපි වීරත්වයෙන් යුතුව අහලා තියෙනවා. එතකොට ලෝක ඉතිහාසය ගත්තහමත් නිමක් නැති තරමේ විප්ලව සහ අරගලයන් ගැන අපි කියවලා, අහලා තියෙනවා. එතකොට ඇයි දැන් හදිසියේ අපි අරගල සහ විප්ලව ගැන කතා කරන්නේ? ඒකට එක හේතුවක් තමයි, මේ වෙනකොටත් ශ්‍රී ලංකාවේ අපි නූතන අරගලයන් ගැන විප්ලවයන් යම් තාක් දුරකට දැකලා, අත්විඳලා සහ සහභාගි වෙලා තිබීම. ගාලුමුවදොර මේ වෙනකොට මාසෙකටත් වැඩි කාලයක් තිස්සේ පැවැත්වෙන අරගලය ඒකට හොඳම උදාහරණයක්. කොහොමත් සාමාන්‍යයෙන් විප්ලවයක්, අරගලයක් දියත් වෙන්නේම බොහෝ දුරට දුර්දාන්ත පාලනයක්, පොදුවේ වැඩි පිරිසකට එකඟ වෙන්න බැරි දෙයක් වෙනස් කරන අරමුණ එක්ක. ඒක දූෂිත පාලකයෙක් ගෙදර යැවීම වෙනුවෙන් වෙන්න පුලුවන්, දූෂිත ක්‍රමයක් වෙනස් කිරීම වෙනුවෙන් වෙන්න පුලුවන්, පොදුවේ මහජනතාවට අහිතකර තීරණයක් ආපහු හැරවීම වෙනුවෙන් වෙන්න පුලුවන්. ඒ වගේම, පොදු යහපත වෙනුවෙන් වෙන්නත් පුලුවන්.

දැන් ඔය කියපු විදියට සිද්ධ වෙන අරගල සහ විප්ලව ප්‍රචණ්ඩ විදියටද සිද්ධ වෙන්නේ? ලෝකේ ඕන තරම් තියෙනවා ලේ හැලුණු, ප්‍රචණ්ඩත්වය කරා ගියපු අරගල සහ විප්ලව. හැබැයි ඒ වගේම, අතිශයින් සාමකාමී විදියට පැවැත්වුණු අරගල සහ විප්ලවයනුත් ඕන තරම් තියෙනවා කියලා කියන්න ඕන. ආන්න එහෙම ලෝකේ එතෙක් මෙතෙක් පැවැත්වුණු සාමකාමී විප්ලවයන් කිහිපයක් ගැන තමයි මේ කියන්න යන්නේ!

කාන්තාවන් සඳහා නිදහස් ඉල්ලීම අපරාධයක් නොවේ! මේක තමයි කාන්තාවන් සඳහා ඡන්ද අයිතිය ලබාදෙන ලෙසට ඉල්ලමින් 1913 වසරේ මාර්තු 3 වෙනිදා පෙනිසිල්වේනියා ඇවනියු එකේ ඡන්ද අයිතිය ඉල්ලන පෙළපාලියට සහභාගී වුණු දහස් ගණන් කාන්තාවන්ගේ ආදර්ශ පාඨයක් වුණේ. මේ පෙළපාලිය පැවැත්වුණේ වුඩ්රෝ විල්සන්ගේ ජනපති පත්වීම ලැබෙන්නට කලින් දවසේ, ජනපති පත්වීම සමරන පෙළපාලිය සූදානම් වෙලා තිබුණු මාර්ගයේම. මේ පෙළපාලියේ ඉදිරියෙන්ම ගමන් කළේ සුදු අශ්වයෙකු පිට නැගි සුදුවතින් සහ රන් කිරුළකින් සැරසුණු කාන්තාවක්. ඉනෙස් මිල්හොලන්ඩ්. මේ පෙළපාලිය කොටස් වලට වෙන් කරලා, ඒ ඒ කොටස් සැලසුම් කරලා තිබුණේ ඇමරිකාවේ සහ ලෝකයේ වෙනත් රටවල කාන්තාවන් ලබාගත් සාර්ථකත්වයන් ගැන කියවෙන විදියට. කොහොම නමුත් මේ පෙළපාලියට විරුද්ධත්වය පළ කරමින් සෑහෙන පිරිමි ප්‍රමාණයක් වීථි බැස්සා. මේ පිරිමි පෙළපාලියට ඉස්සරහට යන්න බැරි වෙන්න පාරවල් හරස් කරගෙන, අපහාසාත්මක දේවල් කියමින්, පෙළපාලියේ ඉන්න කාන්තාවන්ට හිංසා පීඩා පවා කරන්න පටන් ගත්තා. ඒත් මේ කාන්තාවන් අත්වැල් බැඳගෙන, අඩිය පසුපසට ගන්නෙ නැතුව හිටියා, අවසානයේදී හමුදා ඛණ්ඩ ඇවිත් පීඩාකරුවන්ව විසිරුවා හැරලා, පෙළපාලියට මාර්ගය විවෘත කරලා දෙන තුරු.

අපි හැමෝම අහලා තියෙනවනේ අවිහිංසාවාදයේ පියා විදියට හඳුන්වන අසල්වැසි ඉන්දියාවේ මෝහන්දාස් කරම්චාන්ද් ගාන්ධි හෙවත් මහත්මා ගාන්ධි සහ, ඉන්දියාවේ නිදහස වෙනුවෙන් ගාන්ධි ගෙන ගිය අවිහිංසා අරගලය ගැන. සමහරු තර්ක කරනවා, ගාන්ධිගේ අවිහිංසාව විදියට පෙනෙන නිදහස් ව්‍යාපාරය හින්දා ඉන්දියානුවෝ සෑහෙන දෙනෙක්ට වධබන්ධනයට සහ මරණයට ලක් වෙන්න සිද්ධ වුණා කියලා. කොහොම වුණත්, බ්‍රිතාන්‍යයට එරෙහි ගාන්ධිගේ විරෝධතාවයන් අදටත් ලෝකයේ සාමකාමී විරෝධතාවයන්ට උදාහරණ විදියට සැලකෙනවා. ඒ සාමකාමී විරෝධතාවයන්ගේ කූටප්‍රාප්තියක් විදියට සැලකෙන්නේ ලුණු පා ගමනයි. බ්‍රිතාන්‍ය පාලකයන් විසින් පනවන ලද ලුණු බද්දට විරෝධතාවය පළ කරන්න තමයි මේ පාද චාරිකාව සංවිධානය කෙරෙන්නේ. බ්‍රිතාන්‍යයන් පනවපු තවත් අසාධාරණ බදු කොතෙකුත් තිබුණත්, ලුණු බද්ද ගාන්ධි විසින් සංකේතයක් විදියට තෝරාගත්තා. මේ ලුණු පාද චාරිකාවේදී, තවත් සාමකාමී විරෝධතාකරුවන් රැසක් එක්ක ගාන්ධි අහමදාබාද් වල ඉඳලා ගුජරාටි වල දන්දි දක්වා සැතපුම් 241 ක් දක්වා පා ගමන් කළා. මේ සාමකාමී විරෝධතා පා ගමන, ලෝකයේ බොහෝ නිදහස් නායකයන්ට අනුප්‍රාණයක් ලබා දුන් බව සඳහන් වෙනවා.

ඇමරිකාවේ මහා ආර්ථික අවපාතය පැවතුණු කාලයේදී ජෙනරල් මෝටර්ස් විධායකයින් කර්මාන්තශාලා වැඩ කටයුතු වෘත්තිය සමිති වල නැති අයට පවරන්න පටන් ගත්තා. මේකෙන් අගතියට පත් වුණේ අංකුර වෘත්තිය සමිතියක් විදියට නැගී ආපු එක්සත් මෝටර් රථ කම්කරුවන්ගේ සංවිධානය (United Auto Workers). ඒකට ප්‍රතිචාර දැක්වීමක් විදියට 1936 දෙසැම්බර් වල මිචිගන් වල ෆ්ලින්ට් හි ෆිෂර් බොඩි කර්මාන්තශාලාවෙ සේවකයෝ වැඩ නවත්වලා සාමකාමී විරෝධතාවයක් පටන් ගත්තා. සංගීත කණ්ඩායම් විසින් ගී කියමින් ගෙන ගියපු මේ සාමකාමී විරෝධතාවය, ලෝකයේ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ගෙන් තොර විරෝධතාවයන්ගෙන් එකක් විදියට හැඳින්වුවත්, මේ විරෝධතාවයෙන් පස්සේ කැරලි කෝලාහල පටන් ගත්තා කියලා කියවෙනවා.

දැන් ඔය අධිරාජ්‍යවාදී කාලේ ගැන අහල තියෙන අය දන්නවා ඇති, ඒ කාලේ ස්වදේශිකයින්ට මොන තරම් වෙනස්කම් කිරීම්, කොන් කිරීම් වලට මුහුණ දෙන්න වුනාද කියලා. වෙන එකක් තියා, ස්වදේශිකයෙක්ට අස්ප කරත්තෙක හරි කෝච්චියක හරි යන්න පවා තහනම් වුණු කාලයක් තිබුණා. එහෙම යන්න පුලුවන් වුණු කාලේ පවා සුදු ජාතිකයෙක් ආවොත් නැගිටලා එයාට සීට් එක දෙන්න ඕන කියලා නීති රීති තිබුණා. ඇමරිකාවේ කළු සුදු භේදය එක්කත් ඒ විදියේ ප්‍රශ්න තිබුණා. හැබැයි එක මොහොතකදී රෝසා පාර්ක් කියන අප්‍රිකානු ඇමරිකානු සම්භවයකින් එන සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරිනිය තීරණය කරනවා එහෙම නැගිටලා සීට් එක සුදු ජාතිකයින්ට දෙන්න ඕන නැහැයි කියලා. එයා තමන්ගේ ආසනය ලබාදෙන එක ප්‍රතික්ෂේප කරනවා. හැබැයි එහෙම කරන්න ඕන කියලා නීතියක් තිබුණු නිසා ඇයව සිරභාරයට ගැනෙනවා. ඒ සමගින්ම අප්‍රිකානු ඇමරිකානු ප්‍රජාව මොන්ට්ගොමරි බස් රථ ප්‍රතික්ෂේප කරන අතර, මේ තත්වය අවුරුද්දකටත් වැඩියෙන් පවතිනවා. අන්තිමට, මේ සීට් වෙන් කිරීම් සම්බන්ධ නීති අකුලාගන්නට සිද්ධ වෙනවා.

වඩාත් වර්තමානයේ සිද්ධ වුණු සාමකාමී විරෝධතාවයන් වලදී, ජෝර්ජියාවේ රෝස විප්ලවය ගැන කතා නොකර බැහැ. 2003 අවුරුද්ද අවසන භාගයේදී ජෝර්ජියාවේ ඒ වෙනකොට හිටපු ජනපති එඩුවාර්ඩ් ෂෙවර්නාඩ්සේට විරුද්ධව ජනතාව පාරට බැස්සා. මේ ජනතා විරෝධතා වල කූටප්‍රාප්තියක් සටහන් වුණේ, පසුකාලීනව ජෝර්ජියාවේ ජනපති ධූරයටත් පත් වුණු මිකේයිල් සාකෂ්විලිගේ ප්‍රධානතවයෙන් යුතු විරෝධතාකරුවන් අත් වල රෝස මල් දරාගෙන පාර්ලිමේන්තු සැසිය මැදට කඩා වැදීමෙන්. මේ විරෝධතා රැල්ලට රෝස විප්ලවය කියන නම ලැබෙන්නෙත් එහෙමයි. කොහොමහරි, මේ සාමකාමී ජනතා විරෝධතාවයන් නිසා එඩුවාර්ඩ් ජනපති ධූරයෙන් විසිවෙන අතර, ඒකෙන් ජෝර්ජියාවේ සෝවියට් යුගයේ පාලනයේ අවසානයත් සටහන් වෙනවා.

වඩාත් වර්තමානයේ දකින්න ලැබුණු සාමකාමී විප්ලව සහ විරෝධතාවයන් ගැන කතා කරනවා නම්, 2004 වසරේ යුක්රේනයේ තැඹිලි විප්ලවය අමතක කරන්න බැහැ. 2004 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වලින් පස්සේ යුක්රේනය සිවිල් යුද්ධයකට යන මුවවිටේ තිබුණේ. මේ සමගින් වුණු සිදුවීම් එක්ක, යුක්රේනයේ විරෝධතා සහ දේශපාලනයම සිදුවීම් ගණනාවක් ඇති වුණා. මේක තමයි තැඹිලි විප්ලවය කියලා හැඳින්වෙන්නේ. මේ අරගලයේ අරමුණු වුණේ 2004 ජනාධිපතිවරණයේ දෙවෙනි වටයේ ප්‍රතිඵල අවලංගු කරවීම සහ, රජයේ අනුග්‍රහයෙන් වරප්‍රසාද ලබපු කිහිප දෙනෙක් ධනය බලය රැස් කරන එක නැති කිරීම සහ පොදුවේ දූෂණය නැති කරන්න පියවර ඇති කිරීම තමයි.


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here