අධි රුධිර පීඩනය වළක්වා ගන්න, මේ ස්වභාවික උපදෙස් පිළිපදින්න – Saru News Media

0
9

අධික රුධිර පීඩනයක් පැවතීම නැතිනම් ගොඩක් දෙනෙක් කියන විදියට බ්ලඩ් ප්‍රෙෂර් වැඩිවීම නැතිනම් පොදුවේ භාවිතා වෙන විදියට ප්‍රෙෂර් හැදෙන එක කියන්නේ සෙල්ලම් කළ යුතු තත්ත්වයක් නෙවෙයි කියලා තමයි වෛද්‍යවරු කියන්නේ. විශේෂයෙන්ම මෙහෙම බ්ලඩ් ප්‍රෙෂර් වැඩිවෙනකොට රුධිර නාලිකා වලට හානි වීම, ඒවා සිහින් වීම, පිපිරීම වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ වගේම ඉහළ රුධිර පීඩනය නිසා මොළේට යන ධමනි වල රුධිර කැටි ඇති වෙලා, ඒවායින් රුධිරය ගැලීම අවහිර වෙලා ආඝාත තත්ත්ව පවා ඇතිවෙන්න පුළුවන්. ඊට අමතරව අධික රුධිර පීඩනය ශරීරයේ වෙනත් අවයවයන්ට පවා බලපාන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඉතින් තේරෙනවනේ බරපතලකම?

 

හැබැයි මෙහෙම දේකුත් තියෙනවා. අධික රුධිර පීඩනය ඇතිවෙනකොට, එහෙම නැතිනම් ඇතිවෙන්න කලින්ම වළක්වා ගන්නත් පුළුවන්. ඒ කියන්නේ බේත් හේත් පාවිච්චි නොකර ස්වභාවික ක්‍රම වලින් සහ තමන්ගේ ජීවන රටාවේ, ජීවන පුරුදු වල වෙනස් වීම් ඔස්සේත් අධි රුධිර පීඩනය වළක්වා ගන්න පුළුවන්. ආන්න ඒක කොහොමද කරන්නේ, මොනවද අපි අධි රුධිර පීඩනයෙන් බේරෙන්න ඇති කරගන්න ඕන, වෙනස් කරගන්න ඕන ජීවන පුරුදු කියන එක තමයි මේ ආටිකල් එකෙන් සරලව විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ.

 

නිරන්තරයෙන්ම වෛද්‍යවරයාව මුණගැහෙන්න, වෛද්‍ය පරීක්ෂාවන් කාලයෙන් කාලයට කරගන්න කියන්නේ මෙන්න මේ අධි රුධිර පීඩනය වගේ ගැටළු අපි නොදැනුවත්වම අපේ ඇඟේ හැංගිලා තියෙන්න පුළුවන් නිසායි. අපි සාමාන්‍යයෙන් දොස්තර කෙනෙක් මුණගැහෙන්න යන්නේ මොකක් හරි දැනෙන සෞඛ්‍ය ගැටළුවක් ආවහම විතරයිනේ. හැබැයි අපේ සෞඛ්‍ය ගැටළුව ඇඟේ හැංගිලා තිබිලා එලියට එන්නේ සීරියස් තත්වයට ආවහම වෙන්න පුළුවන්. ආන්න ඒ නිසා පවුලේ වෛද්‍යවරයෙක් -ඒ කියන්නේ තමන් නිතරම යන එක වෛද්‍යවරයෙක්- තබා ගැනීම සහ නිරන්තරයෙන් ඒ වෛද්‍යවරයාව මුණගැහිලා තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරගන්න එක වැදගත්. 

 

මේක ඉතින් හැමදාමත් මන්තරේ වගේ අපිට වෛද්‍යවරු කියන දෙයක්නේ. තරබාරු කම නැතිනම් අධික ස්ථුල බව අනිවාර්යයෙන්ම අධික රුධිර පීඩනයට සහ තවත් බොහෝමයක් ලෙඩ රෝග වලට නොවරදින ටිකට් එකක්. ඒ වගේම අනික් අතට, අධික ස්ථුලත්වයෙන් යුක්ත කෙනෙක්ට බ්ලඩ් ප්‍රෙෂර් තියෙනවා නම්, වහාම ඇඟ අඩු කරගන්න එකෙන් බ්ලඩ් ප්‍රෙෂර් අඩු කරගන්නත් පුළුවන්. බර අඩු කරගන්න ගමන්ම තමන්ගේ ඉණ කොයි තරම් ප්‍රමාණයක්ද කියන එකත් නිරීක්ෂණය කරන්න කියලා දොස්තරවරු කියනවා. සාමාන්‍යයෙන් ගත්තහම ඉණ අඟල් 40 ට වැඩියි නම්, ඒ කියන්නේ ඔබ ඉන්නේ අවදානම් කලාපයේ කියන එක මතක තියාගන්න කියලා තමයි කියන්නේ. දැන් බර අඩු කරගන්න ව්‍යායාම කිරීම සහ ඩයට් කිරීම කියන දෙකම කරන්න පුළුවන්. ඒක අපි ඊලඟට කතා කරමු.

 

මේ කියන්නේ හැබැයි අර මිස්ටර් බීන් වගේ උදේට නැගිටලා බිත්තියට තුන් හතර පාරක් හේත්තු වෙලා එක්සයිස් කළා කියලා හිත හදාගන්න එක නෙවෙයි. අඩුම ගාණේ දවසකට විනාඩි තිහකට වැඩියෙන්, තමන්ගේ ඇඟට දැනෙන විදියට හොඳ ව්‍යායාම කිරීමක් සිදුකිරීම. මේක ඕන නම් ජිම් එකට ගිහින් කරන්නත් පුළුවන්. විශේෂයෙන්ම ශරීරයේ බර අඩු කරගන්න ගමන්, ශරීරයට ව්‍යායාමත් ලබාදෙන ගමන්, ශරීරය හැඩ කරගන්නත් ඕන නම් ඒක හොඳ ක්‍රමයක්. හැබැයි වෙනත් ඕනම දෙයක් වුනත් කරන්න පුළුවන්. ඇවිදීම, බයිසිකල් පැදීම, පිහිනීම වගේ ඕනම ක්‍රියාකාරකමක් මේකට ඇතුළත්. ඇත්තටම එක තැනම වාඩි වෙලා ඉන්න අයට ශරීරය චලනය වෙන, ශරීරය වෙහෙස වෙන ක්‍රියාකාරකම් පටන් ගන්න එකෙන් තියෙන බ්ලඩ් ප්‍රෙෂර් වුනත් අඩු කරගන්න පුළුවන්.

 

බර අඩු කරගන්නත්, ඒ වගේම බ්ලඩ් ප්‍රෙෂර් අඩු කරගන්නත් මේ පියවරත් අනිවාර්යයෙන්ම පිළිපදින්න ඕන. ඒ කියන්නේ තමන්ගේ ආහාරයට පූර්ණ ධාන්‍ය, පළතුරු, එළවලු සහ අඩු මේද කිරි නිෂ්පාදන පාවිච්චි කිරීම තමයි. විශේෂයෙන්ම ඔය කොලෙස්ටරෝල් එහෙම ඇතිවෙන්න දායක වෙන අනවශ්‍ය මේද, තෙල් එහෙම ගහණ ආහාර භාවිතයෙන් අඩු කිරීම ඇඟට වගේම බ්ලඩ් ප්‍රෙෂර් වලටත් හිතකරයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here