ඔබත් සුදු වීමේ උන්මාදයෙන් පෙළෙනවාද? – Saru News Media

0
7

සුදු වීමේ උන්මාදය ලංකාවේ ගැහැනු ළමයින් වෙළාගෙන අවසන්. නමක් ගමක් නැති ආලේපන, සමාජ ජාලා හරහා ප්‍රවර්ධනය කෙරෙන ආලේපන, රූපලාවණ්‍යගාරයෙන් නිර්දේශ කරන ආලේපන හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ආලේප කරන්න යුවතියන් පැකිළෙන්නේ නෑ. මේ උන්මාදය කෙළවර වන්නේ මහත් ඛේදවාචකයකින්. ඒ මේ ආලේපන වල ඇති අහිතකර රසායනික ද්‍රව්‍ය නිසා රෝග ගණනාවකටම නිරාවරණය වීමට හැකියාව ලැබීමයි. වකුගඩු ආබාධ සහ පිළිකා දක්වාම මේ ආලේපන අපිව රැගෙන යනවා.

මේ සුදුවීමේ ආලේපන සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්න අපි හිතුවේ ඒ නිසා. චර්ම රෝග විශේෂඥ වෛද්‍ය නයනි මදරසිංහ මහත්මිය අපි අපේ සාකච්ඡාවට එකතු කර ගත්තා. මේ වෛද්‍යතුමිය දැක්වූ අදහස්.

සමට අහිතකර ආලේපන වර්ග හඳුනා ගන්නේ කොහොමද?

කිසිම ප්‍රමිතියක් නැතිව රූපලාවණ්‍යගාර හරහා හෝ සමාජ ජාලා හරහා විකුණන ක්‍රීම් වර්ග මේ කාණ්ඩයට දමන්න පුලුවන්.ආලේපනය ලංකාවේ ලියාපදිංචි කරන ලද එකක්ද කියලා National Medicines Regulatory Authority වෙබ් අඩවිය හරහා පරීක්ෂා කරන්නත් පුලුවන්. ආනයනය කරන ක්‍රීම් වර්ග ඒජන්සිකරුවෙකුගේ නමක් සහ ලියාපදිංචි අංකයක් තිබිය යුතුයි. එහෙම නැති ඒවා අහිතකර ආලේපන වන්නට පුලුවන්. ඒ වගේම භාවිතා කරන ලද අමුද්‍රව්‍ය සහ ආලේප කරන ආකාරය ගැන ඔබට කියවිය හැකි භාෂාවකින් සඳහන්ද කියලත් බලන්න. කිසිම ලේබලයක් නැති නම් එය බොහොම අහිතකර වෙන්න පුලුවන්.

සමට අහිතකර ආලේපනවල රසදිය මට්ටම කොපමණ අගයක් ගන්නවද?

සමට භාවිතා කරන ආලේපන වල රසදිය මට්ටම මිලිග්‍රෑම් එකකට වඩා වැඩිවෙන්න බෑ. නමුත් වැටලීම් වලින් අනාවරණය කරගත් සමහර නුසුදුසු ආලේපන වල රසදිය මට්ටම මිලිග්‍රෑම් තිස්දාහටත් වඩා වැඩි අගයක් ගෙන තිබුණා.

මේ ආලේපනවල පවතින අහිතකර සංඝටක මොනවද?

රසදිය, බ්ලීචින් වර්ග, Steroid පවතිනවා. Steroid ආලේපනවලට එකතු කරාට පසු එකතු කර ඇත්දැයි හොයන්නටත් අපහසුයි. පසු ප්‍රතිඵල එද්දී තමයි චර්ම රෝග වෛද්‍යවරයෙක්ට පවා රෝගියා එය භාවිතා කර ඇති බව වැටහෙන්නේ. සම තුනී වීම, කුරුලෑ ඇති වීම, සමේ ඉරිතැලීම් මේ Steroid නිසා ඇති වෙනවා.

මේ අහිතකර ආලේපන අපිට හානි කරන්නේ කොහොමද?

රසදිය වලින් සමේ අභ්‍යන්තර අවයව වලට හානි වෙනවා. සම අහිතකරව සුදු කරන ආලේපන සමේ පවතින ස්වභාවික පැහැය අඩු කරනවා.ඒ නිසා හිරු එළියට සංවේදීවීම් ඉහළ යනවා. ඉන් සම ඉක්මනින් වියපත් වීම වගේම සමේ පිළිකා මතුවීමේ අවදානමක් ද පවතිනවා. 

තමන් භාවිතා කරන්නේ අහිතකර ආලේපන බව අපිට හඳුනා ගන්න පුලුවන් ලක්ෂණ මොනවද?

යම් පැහැපත් වීමක් සහ සමේ Glow එකක් මිසක ඉක්මන් සුදුවීම් හොඳ ආලේපනයක නෑ. ඔබ භාවිතා කරන ආලේපනය ඔබේ ස්වභාවික වර්ණය ඉවත් කරමින් ඔබව සුදු කරනවානම් එය ඔබට අහිතකර බව තේරුම් ගත යුතුමයි. ක්ෂණික ප්‍රතිඵල ඉතාම අහිතකරයි. 

මෙලනින් වර්ණකය ලංකාවේ අයට වැදගත් වෙන්නේ ඇයි?

ලංකාවේ අපේ හම දුඹුරු පැහැ වෙන්නේ අව්වෙන් ආරක්ෂා වෙන්න. අපිට ඇත්තේ දුඹුරු පැහැ මෙලනින් වර්ණකයයි. මේ වර්ණකය හිරු එළියේ අහිතකර කිරණ සම ඇතුළට පැමිණීම වළක්වනවා. මේ කිරණ සමේ පිළිකා සහ ඉක්මනින් වයසට යාමට හේතුවක්. ඒ ස්වභාවික ආරක්ෂණය අහිතකර ආලේපන වලින් නැති කර ගැනීම අනුවණ කටයුත්තක්.

ඔබට ස්වභාවිකව ලැබී ඇති වර්ණය පිළි ගන්න. එයට ආදරය කරන්න. එය වෙනස් කර ගත යුතු නැහැ. සුදු පැහැය විතරක් ලස්සන වන්නේ නැහැ. එය අපි ඇති කරගත් මිථ්‍යා අදහසක්. ස්වභාවික සම රැක ගත හැකි දේ කරන්න. සමේ කුරුලෑ, ලප කැළැල් ආදිය පවතිනවනම් ඒවාට චර්ම රෝග වෛද්‍යවරයෙක් හරහා ප්‍රතිකාර ලබා ගන්න.

ඔබේ ස්වභාවික ලස්සන ඇත්තටම ලස්සන බව පිළි ගන්න!!

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here