ගුරුවරයාගේ අයුතු යෝජනා නිසා කම්පනයට පත් වූ පාසල් දියණිය – Saru News Media

0
5

(මනෝ උපදේශක කේ.එන්. මධුසංක මහතාගේ වෘත්තිය අත්දැකීම් ඇසුරිනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)

පවුලේ එකම දියණිය වූ පාරමී අවුරුදු දහ හතක දියණියක්.දියණිය වෙනදා මෙන් පාසල් වැඩ කරන්නේ නැති බවත් පාසල් සහ අමතර පන්ති යන්නට අකමැති බවත් ඔහේ බලා ගත් අත බලාගෙන තනිව හිඳින බවත් අම්මාට වැටහෙන්නට පටන් ගත්තා. මලක් මෙන් සුන්දර පාරමී අගනුවර උසස් බාලිකා පාසලක ඉගෙන ගන්නා දැරියක් නිසා ඇගේ ඒ හැසිරීම අම්මාට සැබෑවටම පුදුමයක් වුණා. ඒ ඇය ඉගෙනීම සහ පාසලේ විෂය සමගාමී කටයුතු වලට සැබෑ දක්ෂ දියණියක් වූ නිසා. ඇය පාසලේ ජනප්‍රිය චරිතයක් ද වුණා. ඇය දැන් නිතරම නින්දට ඇබ්බැහිවීම ද අම්මාට පුදුමයක් වෙන්නට පටන් ගත්තා.

“මේ වගේ වෙලාවක දරුවෙක් කවුන්සලර් කෙනෙක් ගාවට ගෙනියන එක තමයි හොඳම.”

ඉහළ වෘත්තියක නිරත අම්මාට එසේ උපදෙස් ලැබුණේ ඇගේ මිතුරියකගෙන්. අම්මා පාරමී මනෝ උපදේශකවරයා වෙත රැගෙන විත් මූලික ගැටළුව විස්තර කළා. ඉන්පසු මනෝ උපදේශකවරයා පාරමී සමඟ කතා කරන්නට තීරණය කළා. මුලදී කිසිවක්ම නොපවසා සිටියත් පාරමී පැය බාගයක් පමණ ගෙවී යද්දී කතා බහ කරන මට්ටමට පැමිණෙමින් තිබුණා. උපදේශන ක්‍රම ශිල්ප නිසා ඇය ක්‍රමයෙන් සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් සිටියා.

” ඔයාට කොහොමද? දුව ආස කරන දේවල් මොනවද?  ආස නැති දේවල් මොනවද? දුවගේ පොඩි කාලේ විස්තර මොනවද?”

වැනි ප්‍රශ්න නැඟෙද්දී පාරමී කතාබහ කරන්නට පටන් ගත්තේ නිරායාසයෙන්මයි.

මිත්‍රත්වයන් ගැන කතා බහ කරද්දී දියණිය ක්‍රමයෙන් ගැටළු සහගත වෙන්නට පටන් ගත්තා. “අමතර පන්තියක ගුරුවරයෙකු” ගැන පාරමී පැවසුවේ තරමක් අවුල් ස්වරූපයකින් බව මනෝ උපදේශකවරයා වටහා ගත්තා. චිකිත්සක ප්‍රතිකාරවල යෙදෙද්දී ඇයට ගැටළුව පැමිණෙන්නේ මේ ගුරුවරයාගෙන් බව උපදේශකවරයාට තේරුම් යන්නට වුණා.

පාසලේදී වගේම ඇය ඒ අමතර පන්තියේද තරමක් කැපී පෙනෙන චරිතයක් වන්නට පටන් ගෙන තිබුණා. ඒ නිසා ගුරුවරයා ඇයට දුන් අවධානය තරමක් වැඩි වන්නට පටන් ගෙන තිබුණා.

“මං සර්ගෙන් ප්‍රශ්න අහලා මැසේජ් කරන්න පටන් ගත්තා. ටික ටික ඒ මැසේජස් ගුඩ් මෝනිං ගුඩ් නයිට් කියන මට්ටමට ආවා.ඊට පස්සේ පන්ති වෙලාවෙදි සාමාන්‍යයෙන් ඉඳලා රෑට සර් මට කෝල් කරන්න පටන් ගත්තා. මුලින්ම කතා කරේ පාඩම් ගැන අහන්න.ඒත් ඒක කාලයක් එක්ක යාලුකමක් බවට පෙරළෙන්න ගත්තා.”

එතැනින් එහා එය විශේෂ යාළුකමක් බවට පත් වෙන්නට ගත්තා. දවසේ සෑම විශේෂිත සිදුවීමක්ම ගුරුවරයා වූ අරුණට කියන්නට පාරමී හුරු පුරුදු වුණා. අම්මා සහ තාත්තා ඉතා කාර්ය බහුල නිසා සෑම දෙයක්ම අරුණ සමඟ පැවසීම පාරමීට බොහෝ පහසු වෙන්නට පටන් ගත්තා.

නමුත් සියල්ල විනාශයක් වූයේ ඉන්පසුවයි.

අරුණ ඇය සමඟ ලිංගිකත්වය ඉස්මතු වෙන කතාවක් අරඹා තිබුණා. ලිංගික එක් වීම් සහ හැඟීම් මතු වන ආකාරය ගැන ගුරුවරයා සිසුවියට පවසා තිබුණා. 

“මං ඒක අහලා ගල් ගැහුණා.”

පාඩම් කටයුතු කරන්නට නොහැකිව දැරිය ඉතා වියවුලට පත්ව තිබුණා. අරුණ සහ ඇය ඒ කියන ආකාරයට හැසිරෙන ආකාරය ඇයට මැවී පෙනෙන්නට පටන් ගෙන තිබුණා.එය දරුවාට සිදු වූ අපහසුතාවයක් නිසා චිකිත්සක ක්‍රම මඟින් ඇය සුවපත් කරන්නට මනෝ උපදේශකවරයා කටයුතු කළා.

වර්තමාන සමාජයේ පවතින මෙවැනි ගැටළු ගැන මනෝ උපදේශක කේ.එන් මධුසංක මහතා දරන්නේ මෙවැනි අදහසක්.

“වර්තමාන සමාජයේ දෙමාපියන් ඉතා කාර්යබහුලයි. දෙමාපිය දරුවන් අතර සම්බන්ධතා බිඳී යනවා.ඒ නිසා කා සමඟ හෝ චැට් කරන්නට ළමයින් පුරුදු වී සිටිනවා.දැඩි සෝෂල් මීඩියා ඇබ්බැහිය නිසා තමන්ගේ ගැටලු වෙන අය සමඟ දරුවන් බෙදා ගන්නවා.පවුලේ තනි දරුවන්ට මේ ගැටළුව ඉතා වැඩියෙන් එන්නට පුලුවන්. ඒ නිසා දරුවන්ට සමීප වී ඔවුන්ගේ දුර්වල තැන් වටහා ගන්නට කිසිම පිටස්තරයෙක්ට ඉඩ තබන්නට එපා. එය දෙමාපියන්ගේ වගකීමක්.”

ලෝකය දැන් ඒ තරම් යහපත් තැනක් නෙවෙයි. ඒ නිසා දරුවන් ගැන විමසිලිමත් වෙන්න. ඔවුන් සමඟම රැඳෙන්න. එය දරුවන් ආරක්ෂා කරන්නට හේතුවක් වෙයි.

(ඔබට Online උපදේශනය ගාස්තු සහිතව ලබා ගන්නට 077 9077094 අංකයෙන් කේ.එන් මදුසංක මහතා සම්බන්ධ කර ගත හැකියි)

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here