ගෙදර ඉන්න දවස් වල කරන්න ෆේස්බුක් චැලේන්ජ්ස් කිහිපයක් අපෙන් – Saru News Media

0
7

අපි ජීවත් වෙන්නේ සයිබර් යුගයක කියන එක වැරදි නැහැනේ. විශේෂයෙන්ම ගෙවල් වලට වෙලා ඉන්න සිද්ධ වුණු පහුගිය දවස් වල තමයි අපි සයිබර් යුගයක ජීවත් වෙන එක කොයි තරම් වටිනවද කියලා සමහරුන්ට වැටහුණේ. මොකද, ඇත්තටම සයිබර් අවකාශය හරහා අපි හැමෝම මුණගැහෙන, සම්බන්ධ වෙන නිසා. කොහොම හරි කතාවට ආවොත්, සයිබර් අවකාශය හරහාත් මිනිස්සුන්ට ඒකරාශී වෙන්න, එක්කහු වෙලා දෙයක් කරන්න පුළුවන් ක්‍රම සහ විධි තියෙනවා. එයින් එකක් තමයි ෆේස්බුක් චැලේන්ජස් කියන්නේ. ඕක වෙන්නේ මෙහෙමයි. ඔන්න එක්කෙනෙක් ෆේස්බුක් චැලේන්ජ් එකක් පටන් ගන්නවා. ඒක තමන්ගේ පුංචි කාලේ ෆොටෝ එකක් ෆේස්බුක් දාන්න කියන එක වෙන්න පුලුවන්. එහෙම චැලේන්ජ් එක පටන් අරගෙන එයා තමන්ගේ යාලුවෝ පස් දෙනෙකුත් ඒ චැලේන්ජ් එකට නම් කරනවා. එතකොට ඒ යාලුවෝ පස් දෙනාත් චැලේන්ජ් එක භාර අරගෙන තමන්ගේ පුංචි කාලේ ෆොටෝ එකක් ෆේස්බුක් දාලා, එක් එක් කෙනෙක්ගේ වෙනත් යාලුවෝ පස් දෙනෙක් ගාණේ මේකට ටැග් කරලා චැලේන්ජ් එක පාස් කරන්න පුළුවන්. ඒ අයත් ඒ විදියටම කළොත්, මේ වෙනකොට තිහකට වැඩි පිරිසක් චැලේන්ජ් එකට එකතු වෙලා. ඔන්න ඔහොම චැලේන්ජ් එක වෛරසයක් වගේ පැතිරෙන්න පටන් ගන්නවා. හැබැයි චැලේන්ජ් එක හොඳ දෙයක් වෙන තරමට, ප්‍රතිඵලයත් හොඳයි. ආන්න ඒ නිසා අපි හිතුවා, මේ ගෙදර ඉන්න දවස් ටිකේ තමන්ටත්, අනෙක් අයටත් වැඩක් වෙන ෆේස්බුක් චැලේන්ජ්ස් කීපයක් අඳුන්වලා දෙන්න.

 

අපි හැමෝම ෆේස්බුක් එකේ දවසකට පොඩි වෙලාවක් හරි රැඳිලා ඉන්නවනේ. සමහරු ෆේස්බුක් එන්න පටන් අරගෙන අවුරුදු ගාණක්. තවත් සමහරු ෆේස්බුක් එකවුන්ට් එකක් හදාගත්තේ අද ඊයේ වෙන්න පුළුවන්. ඒ කොහොම වුනත් නිකමට හිතලා බැලුවද අපි ඇත්තටම ෆේස්බුක් එකෙන් අරගෙන තියෙන්නේ මොනවද කියලා? ආන්න ඒ ගැන හිතන එක තමයි චැලේන්ජ් එක. ෆේස්බුක් එකෙන් තමන්ට ලැබිලා තියෙනවා කියලා හිතන දේවල් පහක් හෝ ඊට අඩු ගාණක් ලියන්න. දැන් ඒකට තමන්ගේ යාලුවෝ පස් දෙනෙකුත් ටැග් කරලා, ඒ අයටත් චැලේන්ජ් කරන්න.

අපි බලමු ඇත්තටම ෆේස්බුක් එකෙන් අපිට මොනවා හරි හම්බුවෙලා තියෙනවද කියලා! 

 

අපි හැමෝම එක්කෝ හෑන්ඩ්බෑග් එකක් හරි පර්ස් එකක් හරි පාවිච්චි කරනවනේ. හැබැයි ඔය පර්ස් එකේ හරි හෑන්ඩ් බෑග් එකේ හරි අවශ්‍ය නැති දේවල් කොයි තරම් තියෙනවද කියලා හිතලා බැලුවද? හරි, චැලේන්ජ් එක මේකයි. මුලින්ම හෑන්ඩ්බෑග් එකේ හරි පර්ස් එකේ හරි තියෙන ඔක්කොම ලට්ට ලොට්ට පිළිවෙලට එලියෙන් තියලා ෆොටෝ එකක් ගන්නවා. ඊලඟට ඒකේ තියෙන අනවශ්‍ය/පාවිච්චියට නොගන්න දේවල් ඔක්කොම අයින් කරනවා. දැන් ආයෙමත් ෆොටෝ එකක් ගන්නවා. ඒ ෆොටෝස් දෙක ෆේස්බුක් එකේ දාලා, සාමාන්‍යයෙන් හෑන්ඩ්බෑග් එකේ හරි පර්ස් එකේ හරි අලි කොටි වලස්සුත් ඇති කරන යාලුවෝ පස් දෙනෙක්ව ටැග් කරලා ඒ අයටත් චැලේන්ජ් කරනවා. 

 

මේක ඇත්තටම අලුත් චැලේන්ජ් එකක් නෙවෙයි. මේ දවස් වල සෞභාග්‍යා කියලා තියෙන ගෙවතු වගා වැඩසටහනේ කොටසක් විදියට කෙලින්ම අගමැතිතුමාම පටන් ගත්තා වවන චැලේන්ජ් එක. හැබැයි අපේ චැලේන්ජ් එක ඊට වෙනස්. දැන් ගොඩක් අය ඔය රැල්ලටනේ දේවල් කරන්නේ. ගෙවතු වගාවත් ඔහොමම තමයි. ගොඩක් දෙනෙක් හිටවපු පැල වලට වෙන්නේ හරියට සාත්තුවක් සප්පායමක් නැතුව මැරිලා යන එක. සමහරුන්ට හරියට කෘෂිකර්මය, ගෙවතු වගාව ගැන දැනුම නැති නිසාත් වැඩේ විනාස වෙලා යනවා. අන්න ඒ නිසා අපි කරන චැලේන්ජ් එක මේකයි. පැළයක් හිටවන ෆොටෝ එක විතරක් මදි. සති දෙකකට විතර පස්සේ ඒ පැළයේ හරි බීජ තවානේ හරි ප්‍රගතිය පෙන්නන ෆොටෝ එකකුත් එක්ක ෆොටෝස් දෙකක් ෆේස්බුක් එකේ දාන්න ඕන. ආන්න එතකොට තමයි නියම මොඩ් ගොවියෙක් වෙන්නේ. ඒ එක්කම තව යාලුවෝ පස් දෙනෙකුටත් ගෙවතු වගාවට එකතු වෙන්න කියලා ටැග් කරලා චැලේන්ජ් කරන්නයි තියෙන්නේ!

ගෙවතු වගාව ගැන උපදෙස් සෞභාග්‍යා වෙබ් සයිට් එකේත් තියෙනවා. ඒ නැතත් ජාතික කෘෂි උපදේශන සේවාවෙනුත් උපදෙස් ගන්න පුළුවන්. එහෙමත් නැතිනම් පළාතේ කෘෂි උපදේශක නිලධාරියා හෝ නිලධාරිනිය මුණගැහුනත් උපදෙස් ලබාගන්න පුළුවන්.

 

ඔය පොත් කවර චැලේන්ජ්, ප්‍රියතම පොත් ලිස්ට් චැලේන්ජ් ඕන තරම් පහුගිය දවස් වල අපිට ෆේස්බුක් එකේ දකින්න ලැබුනා. හැබැයි මේ චැලේන්ජ් එක ටිකක් වෙනස්. බැලූ බැල්මට අමාරුයි කියලා හිතුණත්, ඇත්තටම මේ චැලේන්ජ් එක අමාරු නෑ. කරන්න තියෙන්නේ මෙච්චරයි. තමන් මෙච්චර කාලෙකට කියවලා තියෙන ආසම පොතක් ගන්න. ඒ පොතේ තියෙන ආසම කොටසක් ෆේස්බුක් පෝස්ට් එකකට ඇතුළත් කරන්න. පොතේ කවරේ ෆොටෝ එකකුත් දාන්න. පුළුවන් නම් පොතෙන් දැනුන දේත් ලියන්න. ඒක වාක්‍යයක් දෙකක් වුනත් කමක් නෑ. බරසාර වෙන්න ඕනෙත් නෑ. අපි මේ කියන්නේ පොතේ විචාරයක් ලියන්න කියලා නෙවෙයි. දැනුන දේ විතරක් ලියන්න කියලයි. දැන් චැලේන්ජ් එකට තව යාලුවෝ පස් දෙනෙකුත් ටැග් කරන්න.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here