නයෙක් මුණගැහුණොත්, උගෙන් බේරෙන්න උපදෙස්! – Saru News Media

0
5

නයෙක් මුණගැහෙනවා කියන්නේ ඉතින් පරණ යාලුවෙක් හම්බුවෙනවා වගේ සීන් එකක් නෙවෙයිනේ. සාමාන්‍යයෙන් ප්‍රකෝපයට පත් කළොත් මිසක්, එහෙම නැතිනම් තමන්ගේ ආරක්ෂාවට තර්ජනයක් කියලා දැනුනොත් මිසක් නයෙක් දෂ්ට කරන්න පෙළඹෙනවා අඩුයි. හැබැයි ඉතින් එහෙමයි කියලා අපි නයෙක් වගේ විෂඝෝර සර්පයෙක්ට තියෙන බය නැතිවෙන්නෙත් නෑනේ. දැන් ගොඩක් අය මේ වගේ වෙලාවකට තෝරගන්නේ සරල ක්‍රමයක්. කොහොම හරි නයාව මරලා දාන එක. හැබැයි අපි කියන්නේ ඒක නොකළ යුතු දෙයක් කියලා. ඇයි? අනික් සර්පයෝ වගේම නයා කියන්නෙත් මේ ජෛව විවිධත්වයේ කොටසක්. පරිසර පද්ධතියට අත්‍යවශ්‍ය පුරුකක්. එතකොට අපි එහෙම දකින දකින නයාව මරලා දාන එකෙන්, පරිසර පද්ධතියේ සමතුලිතතාවය නැතිවෙනවා කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.

ඉතින් එහෙම කිව්වට, සාමාන්‍යයෙන් මිනිස්සු නයෙක් වගේ සර්පයෙක්ට තියෙන බය නැතිවෙන්නෙත් නෑනේ. ගොඩක් වෙලාවට මේ බය හින්දම, එහෙම නැතිනම් අපරීක්ෂාකාරී බව හින්දම අනවශ්‍ය සර්ප දෂ්‍ටනයකට කෙනෙක් ලක්වෙන්නත් ඉඩ කඩ තියෙනවා. ආන්න ඒ නිසා, අපි හිතුවා නයෙක් එහෙම හමුවුණොත්, කොහොමද නයාවත් බේරලා, තමනුත් බේරෙන්නේ කියලා උපදෙස් ටිකක් ලබාදෙන්න.

Tips to survive a snake

නයෙක් වගේ සර්පයෙක් දැක්කහම කරන්න ඕන පළවෙනිම දේ තමයි කලබල නොවෙන එක. සාමාන්‍යයෙන් හිරිහැරයක් වුණොත් හරි හිරිහැරයක තර්ජනයක් තියෙනවා කියලා දැනුණු වෙලාවක හැරෙන්න, එහෙම නැතිනම් බිත්තර රකින අවස්ථාවක ඇරෙන්න, නයෙක් වගේ සර්පයෙක් ස්වභාවයෙන් කලබල නෑ. තමන්ගේ ගොදුරක් නොවෙන තරම් විශාල මනුස්සයෙක්ව හරි ඒ වගේ වෙනත් සතෙක්ව දැක්කහම නයෙක් උත්සාහ කරන්නේ මඟ ඇරලා යන්න. හැබැයි අපි කලබල වෙලා දඟලන්න ගියොත්, සර්පයාටත් හිතෙනවා අපි එයාට තර්ජනයක් කියලා. අන්න එතකොට අපිට පහර දෙන්න උත්සාහ කරනවා. ඒ නිසා, මුලින්ම කලබල වෙලා දඟලන්න නොයන එක තමයි කරන්න ඕන. හදිසි චලනයන් එහෙම සිදු නොකරන තරමට හොඳයි. විශේෂයෙන්ම සර්පයාගේ දිහාවට. නැතිනම් සර්පයා හිතන්නේ තමන්ට පහරදෙන්න එනවා කියලා. එහෙම හිතලා සර්පයත් පහර දෙන්න පුලුවන්.

Tips to survive a snake

අපි හිතමු එළිපහළියේදී අපිට නයෙක්ව මුණගැහුනා කියලා. නයිහාමි නයිහාමි ගගා සර්පයා ගාවට වෙලා ඉන්න එපා. අපි එතන ඉන්නකල් සර්පයත් අපි තර්ජනයක් කියලා හිතලා පෙණේ කරගෙන ඉඳී. එතකොට අපි එයාට තර්ජනයක් වෙන විදියට හැසිරුණොත් අපිට දෂ්ට කරන්න උත්සාහ කරාවි. හැබැයි ඇත්තම කතාව මේකයි. නයෙක් වගේ සර්පයෙක්ට මිනිස්සුන්ව ආශ්‍රය කරන්න කිසිම වුවමනාවක් නෑ. ගොඩක් දුරට සර්පයෝ උත්සාහ කරන්නේ මිනිස් ආශ්‍රයෙන් වහං වෙලා ඉන්න. ඉතින් අපිට කරන්න තියෙන්නේ, සර්පයට යන අතක යන්න දීලා, අපි ඊට විරුද්ධ පැත්තට යන එක. අපි හිතමු සර්පයා ඉන්නේ අපිට යන්න ඕන පාරේ කියලා. එහෙමනම්, සර්පයාට කොහේටහරි ඇදිලා යන්න පුලුවන් විදියේ ප්‍රමාණවත් අවකාශයක් තියලා, අපිට වටෙන් ගිහින් ආයෙමත් යන්න ඕන පාරට වැටෙන්න පුලුවන්.

Tips to survive a snake

ඇත්තටම ඔය ඉස්සර මිනිස්සු නයෙක් එහෙම වත්තට ආවහම “නයිහාමි යන අතක යන්න, මෙහේ පුංචි ළමයි ඉන්නවා” වගේ දේවල් කියන පුරුද්දක් තියෙනවානේ. එහෙම යාප්පුවෙන් නයාට කතා කරන එකට කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි, පැරැන්නෝ විශ්වාස කළා නයෙක් කියන්නේ අනෙක් සර්පයන්ට වඩා උසස් සතෙක් කියලා. ඔය ගැමි ජන කතා එහෙම ඕන තරම් තියෙන්නේ නයි ගැන. බෞද්ධ සාහිත්‍යයේත් වංශවත් නයින් ගැන කියවෙනවා. ඉතිහාසයෙත් නාගයෝ, නා රජුන් ගැන කියවෙනවා. අන්න ඒ ආකල්පයත් එක්ක, ගොඩක් වෙලාවට පැරැන්නෝ නයෙක්ට සතුරු හිතින් සලකන්නෙ නෑ. හැබැයි ඔතන තව කාරණයක් තියෙනවා. නයෙක්ට ඔය වගේ එව්වා කිව්වට ඌට තේරෙන්නෙ නෑ. කොහොමත් නයින්ට ඇහෙන්න කන් නැහැනේ. හැබැයි නයින්ට කන් නැතිවුණාට, කම්පනයට උන් සෑහෙන්න සංවේදීයි. එතකොට, ශබ්ද නඟලා ඔය වගේ දේවල් කියනකොට උන්ට ඒ ශබ්දයේ කම්පනය දැනෙනවා. එතකොට උන් හිමින් එතනින් මාරු වෙලා යනවා.

ඔන්න ඔය කාරණාව අපිටත් පාවිච්චි කරන්න පුලුවන්, විශේෂයෙන්ම නයෙක් වත්තට එහෙම ආවොත්. ඒ තමයි, උස් හඬින් ශබ්ද කරන එක. අවශ්‍ය නම් පොළවට කම්පනයන් දැනෙන්න කෝට්ටකින් පොළවට තට්ටු කරන්න එහෙමත් පුලුවන්.

Tips to survive a snake

මෙන්න මේක ඉතාම වැදගත්. අපි හිතමු සර්පයෙක් හැලහොල්මනක් නැතුව මැරිලා වගේ ඉන්නවා කියලා. ඒ කියන්නේ සර්පයා මැරිලා වෙන්න පුලුවන්නේ. ඒ නිසා කියලා අතින් අල්ලන්න ගියොත්, ඇත්තටම සර්පයා මැරිලා නැතිනම් තමන්ට ෂොට් එක ලැබෙන්න ඉතාම ඉහළ ඉඩක් තියෙනවා. අනික, මැරුණු සර්පයෙක් වුණත් අනවශ්‍ය අවදානමක් ගන්න යන්න එපා. හොඳම දේ දිග කෝටුවකින් අරගෙන ඉවත් කරන එක.

හැබැයි තව දෙයක්, පණ පිටින් ඉන්න නයෙක් එක්ක දිග කෝටු සෙල්ලම් කරන්න යන්න එපා. ඔය නයි එහෙම අල්ලන පුහුණුව තියෙන අයව දැකලා, සමහරු උත්සාහ කරනවා කෝටුවකින් නයෙක් වගේ සතෙක්ව ඉවත් කරන්න, ඒක අන්තරායදායකයි. අනිවාර්යයෙන්ම සතා ඒක තමන්ට තර්ජනයක් විදියට දකිනවා. එතකොට සතා අපිට පහර දෙන්න උත්සාහ කරනවා. ඒ නිසා, නොදැනුවත්කම නිසා හෝ, ෂෝ එකට හෝ නයෙක් වගේ සර්පයෙක්ව අතින් අල්ලන්න හෝ කෝටුවකින් ඉවත් කරන්න නොයන එක තමන්ගේ ඇඟට ගුණයි.

Tips to survive a snake

ගේ ඇතුළට එහෙම නයෙක් ආවහම අපිට එන ප්‍රධාන ප්‍රශ්නයක් තියෙනවා. උඩ කියල තියෙන විදියට නයාව මඟඇරලා ඌට යන්න ඕන අතක යන්න දීලා පැත්තකට වෙලා හිටියොත්, ඌ එළියට යන්නත් පුලුවන්, ඊට වඩා ගෙයි ඇතුළේ අඳුරු තැනක හැංගෙන්නත් පුලුවන්. එතකොට ඒක තව ප්‍රශ්නයක්. අන්න එහෙම වෙලාවකට කරන්න පුලුවන් දෙයක් තියෙනවා. ටිකක් මහත පීවීසී බටයක් ගන්න. අඩි කීපයක් දිග බට කෑල්ලක් වෙන්න ඕන. ඒකේ එක පැත්තක් රෙදි කෑල්ලක් තියලා බැඳලා හරි, ඒ වගේ දෙයක් කරලා ආවරණය කරන්න. දැන් ෂේප් එකේ, සර්පයව කුලප්පු නොකර, බට කෑල්ලේ විවෘත කට පැත්ත සර්පයා ඉන්න පැත්තට යොමු කරලා තියන්න. දැන් සර්පයාගෙන් ටිකක් ඈතට වෙලා ඉන්න. සර්පයා බටේ ඇතුළට ඇදුණට පස්සේ, ප්‍රවේසමෙන් බටේ උඩ අතට උස්සලා, විවෘත පැත්තත් වහන්න. ඊට පස්සේ ආරක්ෂිත තැකට අරගෙන ගිහින් සර්පයව මුදාහරින්න.

හැබැයි, මේක බොහොම ප්‍රවේසමෙන් කරන්න ඕන වැඩක්. තමන්ට ෂුවර් නැතිනම් මේක කරන්න යන්න එපා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here