නොදන්න භාෂාවලට ගිහිල්ලා වරිගේ නහගත්ත අවස්ථා – Saru News Media

0
4

පහුගිය දවස්වල ‘බැසිල් රාජපක්ෂ සහ කපුටා’ අන්තර්ජාලය තුල අතිශයින් ජනප්‍රිය මාතෘකාවක් බවට පත් වුණා. විශේෂයෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉංග්‍රීසි ගුරුවරියකට හදිස්සියේ කතාවක් පවත්වන්න කියලා අපහසුතාවයට ලක් කරපු පසුබිමක ඔහුගේ සොහොයුරා වන වර්තමාන මුදල් අමාත්‍ය ධූරය දරන, අමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය හිමි බැසිල් රාජපක්ෂ මහතාට සරල ඉංග්‍රීසියෙන්වත් විස්තරයක් කිරීමට නොහැකිවීම එක්තරා විදිහක දෛවයේ සරදමක් කියලා හඳුන්වන්න පුළුවන්. අපි අද ඔබට කියන්න යන්නේ එක එක අය මේ විදිහට භාෂා හරඹ කරන්න ගිහිල්ලා කොළේ ඉරා ගත්ත අවස්ථා කීපයක් පිළිබඳව තොරතුරුයි. හැබැයි ලංකාවෙ නම් නෙමෙයි, මේ උදාහරණ අපි ගේන්නේ ලෝකෙන්.

වතාවක් ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මාර්කෙල් සෙනගල් රාජ්‍යයේ සංචාරයක නිරත වුණා. එම අවස්ථාවේ දී ඇයව ඉතාමත් ඉහළින් පිළිගැනීමට සෙනගල් රාජ්‍ය නිලධාරීන්ට අවශ්‍ය වුණා. යුරෝපා සංගමයේ අයෝමය නායකත්වය විදිහට ඇයව තමන්ගේ පාර්ශවයට නැඹුරු කර ගත්තොත් විශාල ආර්ථික සහ සමාජයීය වාසි රැසක් තමන්ට ලබාගත හැකි වනු ඇතැයි ඔවුන් අපේක්ෂා කළා. නමුත් එම අවස්ථාවේදී වාදනය වූ ගීතයක් පිළිබඳව ප්‍රශ්නාර්ථයක් ඇතිවුණා. එය තමන් වෙනුවෙන් කාලයක් වෙන් කරන්නට හැකිදැයි කාන්තාවකගෙන් අසන අන්දමේ අර්ථයක් මතු කරන ගීයක් වුණා.

“Schöne Maid, hast du heut’ für mich Zeit?” (“beautiful maid, do you have time for me today?”).

මේ ගීතය වෙනත් අර්ථයකුත් ජනනය කරන්නක් නිසා මාර්කෙල් එයට කෙසේ ප්‍රතිචාර දක්වනු ඇතැයිද යන්න පිළිබඳව බොහෝ දේශපාලන විචාරකයන් පවා අවධානය යොමු කළා. කෙසේ නමුත් ඇය එය සැහැල්ලුවෙන් අමතක කොට තිබුණා.

ප්‍රංශ ජනාධිපති මැක්රෙන් ඕස්ට්‍රේලියානු සංචාරයකදී එවකට එහි අග්‍රාමාත්‍ය ධුරය දැරූ මැල්කම් ටන්බුල්ගේ බිරිඳ අගය කිරීම සඳහා භාවිතා කළ වචනය බොහෝ දෙනෙකුට ඇසුනේ “Delicious” ලෙසයි. කිසිවෙකුටත් සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව පැහැදිළි වැටහීමක් තිබුණේ නැහැ. කෙසේ නමුත් ජනාධිපතිවරයා විසින් භාවිතා කර තිබුණේ “Delicieux” යන ප්‍රංශ වචනය බවත් එහි තේරුම වන්නේ ප්‍රසන්න යන අර්ථය බවත් පසුව හෙළිවුණා.

දෙවැනි එළිසබත් රැජිනගේ ස්වාමිපුරුෂයාව සිටි එඩින්බරෝ හි ආදිපාද පිලිප් කුමාරයා වැඩි වශයෙන් ප්‍රසිද්ධව සිටියේ එතරම් සෙවිල්ලක් බැලිල්ලක් නැතුව යම් යම් දේ කියන පුද්ගලයෙකු ලෙසයි. එක්තරා අවස්ථාවක ජර්මනියේ චාන්සලර් හෙල්මුට් කෝල් මුණගැසුණු අවස්ථාවේදී ඔහුට සුබ පැතීම සඳහා “Hello, Herr Reichskanzler” යන වාක්‍යය පිලිප් කුමාරයා විසින් භාවිතා කරනු ලැබුවා. මෙය නාසි ජර්මනිය තුළ භාවිතා වන ව්‍යවහාරයක් වූ අතර එය රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක් දක්වා දුරදිග නොයෑම ඇතැම් විචාරකයන් පවසන ආකාරයට වාසනාවට සිදු වූ දෙයක්.

ජිමී කාටර් ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලැබූ පෝලන්ත සංචාරය එතෙක් මෙතෙක් ඇමරිකානු ජනාධිපතිවරයෙකු විසින් සිදුකරනු ලැබූ වැරදීම් ගහණ සංචාර අතරින් ඉහළම තැනක තිබෙන බව කියවෙනවා. එහි වැරැද්ද ජනාධිපතිවරයාගේ නොව ඔහුගේ කාර්ය මණ්ඩලය විසින් භාවිතා කරනු ලැබූ පරිවර්තකයන්ගේ වෙනවා. උදාහරණයක් ලෙස ජනාධිපතිවරයා සිදුකරනු ලැබූ ප්‍රකාශ කීපයක් එම පරිවර්තකයන් විසින් පරිවර්තනය කර තිබුණේ මෙසේයි.

“I left the United States, never to return”

“he was happy to grasp at Poland’s private parts”

සෝවියට් අගමැති නිකිතා කෘෂෙප් රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් පිරිසක් අමතන අවස්ථාවේදී මෙවැනි ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා. “Whether you like it or not, history is on our side. We will dig you in.” නමුත් පරිවර්තකයන් විසින් එය පරිවර්තනය කොට තිබුණේ “අපි උඹලව වළලලා දානවා” ලෙසයි. මෙම ප්‍රකාශය නිසා බටහිර රටවල් අතර දැඩි නොසන්සුන්තාවයක් පවා ඇති වුණා. කෙසේ නමුත් පසුව මේ පිළිබඳව දැන ගැනීමට ලැබීමෙන් අනතුරුව කෘෂෙප් ඒ පිළිබඳ පැහැදිළි කරමින් ප්‍රකාශයක් පවා නිකුත් කළා. එහිදී ඔහු උපහාසයෙන් සඳහන් කළේ බටහිර රටවල් වළලා දැමීමට තමන්ට අවශ්‍ය නොවන බවත් ඔවුන්ගේ රටවල පවතින සමාජ ක්‍රමය විසින් ඔවුන්ව වළලා දමන බවත්ය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here