රස්තියාදු වෙන්නේ නැතිව රියදුරු බලපත්‍රය අලුත් කරන හැටි – Saru News Media

0
4

මේ දවස් වල ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ රියදුරු බලපත්‍රය අලුත් කරන්නේ කොහොමද කියන එක. ඒකට හේතුව තමයි දැන් රියදුරු බලපත්‍ර අලුත් කරන ක්‍රියාවලිය පොඩ්ඩක් විතර වෙනස් වෙලා තියෙන එක. හැබැයි කොහොම වුනත් කොරෝනා වසංගත තත්වය නිසා රියදුරු බලපත්‍ර වල වලංගු කාලය දීර්ඝ කරන්නත් රජයෙන් කටයුතු යොදල තියෙනවා. ඉතින් හදිසියේ අලුත් කරන්න අමාරු නිසා තමයි රජයෙන් ඒ වගේ විධි විධාන යොදල තියෙන්නේ. ඒ වගේම ගොඩක් අයට හරි අවබෝධයක් නෑ මේ වැඩේ කොහොමද රස්තියාදු වෙන්නේ නැතිව කරගන්නේ කියන එක ගැන. ඒ හින්ද අපි අද කතා කරමු රියදුරු බලපත්‍ර අලුත් කරන්න ඉන්න අයට කොහොමද පහසුවෙන් ඒ වැඩේ කරගන්නේ කියන එක ගැන. 

 

ඉස්සර වගේ නෙමෙයි දැන් රියදුරු බලපත්‍ර නිකුත් කරන්නේ යම් කිසි නිශ්චිත වලංගු කාලයකට යටත් ව. ඉස්සර නම් ලයිසන් එකක් ගත්තම ජීවිත කාලෙම ඒකෙන් වාහන පදවන්න පුළුවන්. ඒ කියන්නෙ වලංගු කාලය ජීවිතාන්තය වෙනකන් තිබුණා. හැබැයි පහු කාලෙක හැම රියදුරු බලපත්‍රයක් ම කිසියම් සීමිත වලංගු කාලයක් සහිත ව නිකුත් කරන්න පටන් ගත්තා. ඉතින් ඒ වගේ නිකුත් කරපු බලපත්‍ර තමයි ඔයාලට අලුත් කරන්න වෙලා තියෙන්නේ. ඉතින් ඒකට අවශ්‍ය වෙන්නේ මූලිකවම ලියවිලි තුනයි. පළවෙනි එක තමයි ජාතික හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍රය. ඊළඟ එක තමයි පැරණි/ කල් ඉකුත් වූ බලපත්‍රය. අනික, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් නිකුත් කල වෛද්‍ය සහතිකය. ඔන්න ඔය ටික ලෑස්ති කරගත්තා නම් මේ වැඩෙන් 70% ක් විතර ඉවරයි.

 

කලින් කිව්වා වගේ ලයිසන් එකක් අලුත් කරන්න අවශ්‍ය වෙන ලියවිලි අතර ප්‍රධානතම ලියවිල්ලක් තමයි වෛද්‍ය වාර්තාව. ඒ වගේම මේ වෛද්‍ය වාර්තාව අපිට හිතෙන හිතෙන තැන් වලින් අරන් හරි යන්නෙ නෑ. ඒක අනිවාර්යයෙන් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් තමයි ලබාගන්න ඕනේ. මේ ආයතන ලංකාව පුරා විවිධ නගර වල පිහිටවල තියෙනවා. ඉතින් ඔයාට කිට්ටු තැනකින් මේ වෛද්‍ය වාර්තාව ලබාගන්න පුළුවන්. හැබැයි දැන් ඉස්සර වගේ තමන්ට හිතුණු දවසක ගිහින් අදාළ පරීක්ෂණයට පෙනී ඉන්න බෑ. ඒකට ඉස්සෙල්ලම දිනයක් වෙන් කරගන්න ඕනේ. දිනයක් වෙන් කරගන්න පුළුවන් E-Channeling වෙබ් අඩවියෙන් හරි 225 කියන නම්බර් එකට කෝල් එකක් දීල හරි. ඉතින් මේ දින වෙන් කරගන්න ලොකු පෝලිමක් තියෙනවා. ඒ නිසා බොහෝ වෙලාවට මාසයකට විතර පස්සේ දිනයක් තමයි ලබාගන්න පුළුවන් වෙන්නේ.  

 

කලින් කිව්වා වගේ වෛද්‍ය පරීක්ෂණයට දිනයක් වෙන් කරගත්තට පස්සේ SMS මාර්ගයෙන් ඒ බව තහවුරු කරනවා. ඉතින් අදාළ දිනයට, තමන් දින වෙන් කරපු තැනට අදාළ වෙලාවට යන්න ඕනේ ජාතික හැඳුනුම්පත/ වලංගු විදේශ ගමන් බලපත්‍රය සහ පැරණි රියදුරු බලපත්‍රය එක්ක. ඒ වගේම මතක් කරලා පෑනක් අරන් යන්න. මොකද එතන ඔයාට පෑන් දෙන්න කවුරුත් නෑ. චැනල් එක දාද්දී සල්ලි ගෙවන නිසා ආයේ සල්ලි ගෙවන්න ඕනේ නෑ මෙතැනට. ඉතින් එතනට ගියා ම රෙජිස්ටර් කරන කවුන්ටරෙන් ටෝකන් එකක් දෙනවා. ඊට පස්සේ හරි ලස්සනට පියවරෙන් පියවර වෛද්‍ය පරීක්ෂණය සිද්ධ කරනවා. විශේෂයෙන් කියන්න ඕනේ මෙතැන දී ඔයාගේ ජාතික හැඳුනුම්පත පැහැදිලිව නොපෙනෙන එකක් නම්  ටිකක් කරදර වෙන්න පුළුවන්. ඒ වගේම ඇස් කණ්නාඩි පලඳින කෙනෙක් නම් කණ්නාඩි අනිවාර්යයෙන් ගෙනියන්න. ඒ වගේම උඩට උස්සන්න පුළුවන් කලිසමක් ඇඳන් යන්න. මොකද සමහර වෙලාවට කලිසම දණහිස පෙන්න උස්සන්න වෙනවා. එතන පියවර ටික ඉවර වුනා ම ටෝකන් නම්බර් එක කතා කරලා මෙඩිකල් එක අතට ම දෙනවා ලියුම් කවරයක් එක්ක ම. 

 

පහු ගිය කාලේ රටේ ඇති වෙලා තිබුණු කොවිඩ් තත්වය නිසා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කටයුතු සීමා කරලා තිබුණා. තවමත් තත්වය එහෙමයි. ඒ හේතුව නිසා තමයි රජයෙන් කල් ඉකුත් වෙන රියදුරු බලපත්‍ර අලුත් කරන්න යම් සහන කාලයක් දුන්නේ. ඉතින් ඒ සීමා කිරීම් නිසා දවසකට රියදුරු බලපත්‍ර වලට අදාළ සේවාවන් ලබා දෙන්න ආයතනය ඇතුළට ගන්නේ සීමිත පිරිසක්. ඒකත් ගන්නේ කලින් දින වෙන් කරගත්තු අය විතරයි. ඉතින් ඔයා කලින් පියවර සම්පූර්ණ කරලා නම් ඊළඟට කරන්න ඕනේ RMV එකෙන් අදාළ වැඩේ කරගන්න දිනයක්, වෙලාවක් වෙන් කරගන්න එක. දින වෙන් කරගන්න මුල් දවස් වල එයාලා වෙන් කරලා තිබුණු අංකය දැන් වෙනස් කරලා තියෙන්නේ. දැන් ඒ සඳහා 0112 677 877 කියන අංකය භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් එයාලාගේ වෙබ් අඩවියේ https://dmtappointments.dmt.gov.lk/ කියන ලින්ක් එක හරහාත් දිනයක් වෙන් කරගන්න පුළුවන්. 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here