රාජසිංහ ඉඟුරු දී මිරිස් ගත්තේ ඇයි? – Portuguese Dutchmen Englishmen vs lankan rajasinghe – Saru News Media

0
3

දෙවන රාජසිංහ රජතුමා විසින් පෘතුගීසින් පලවාහැරීමට ඕලන්දයෝ (ලන්දේසි) භාවිතා කළේය. එහෙත් දෙවන රාජසිංහට ලන්දේසීන් පලවාහැර රට එක්සේසත් කිරීමට නොහැකි විය. රාජසිංහ යනු හුදෙක් රණකාමියෙකු පමණක්ම නොවේ. ඔහු දක්ෂ පාලකයෙක් ද විය. පෘතුගීසින් පළවාහැරීමට ලන්දේසීන් භාවිතා කිරීම තුළ ඔහු දේශපාලන උපායේද සමර්ථයෙකු විය.

මෙය එක් රැයකින් ලන්දේසීන් පළවාහැර පෘතුගීසින් ගෙන්වාගැනීමේ සරල ක්‍රියාදාමයක් නම් නොවේ. 1638 දී පෘතුගීසින්ගේ මඩකලපුව කොටුව ලන්දේසීන් සහ දෙවන රාජසිංහ රජ ගේ මිත්‍ර හමුදාවෝ විසින් අත්පත් කරගත් අතර පෘතුගීසින්ගේ අවසාන බලකොටුව වූ කොළඹ කොටුව හැරදා පෘතුගීසින් නික්ම යන්නේ 1658 දීය. මේ සමස්ත කාලය අවුරුදු 20කි. මේ විසි අවුරුදු කාල සීමාව තුළ දෙවන රාජසිංහ රජතුමාට බොහෝවිට සතුරු පාර්ශව තුනක් විය. එකක් රජතුමාගේ පැරණි සතුරන් වූ පෘතුගීසින්ය, දෙවනුවට පෘතුගීසින් එලවන්නට ගිවිසුම් ගත වූ ලන්දේසීන්ය, තුන්වෙනුවට අභ්‍යන්තර කැරලිය.

අභ්‍යන්තර කැරළි ඇතිවීම  මෙම කාලයට පෙර කෝට්ටේ රාජධානිය සී සී කඩ විසිරී යන්නට හේතු විය. දෙවන රාජසිංහට විරුද්ධව කැරළි ඇති කළ එක් අයෙකු නම් දෙවන රාජසිංහගේම සොයුරු විජයපාලයි. විජයපාල දෙවන රාජසිංහට විරුද්ධව කැරලි පවත්වා සොයුරාට එරෙහි වුවද විජයපාල විශ්වාස කිරීමට පෘතුගීසින් සූදානම් නොවීය. විජයපාල ගෝවේ සිරකරුවෙකු විය.  පසුකාලීනව පෘතුගීසින්ට ලන්දේසීන්ගෙන් සහ රජුගෙන් බොහෝ අලාභ සිදුවන්නට වූ කල ඔවුහු රාජසිංහ රජතුමා හමුවී ගිවිසුම්ගත වන්නට උත්සාහ ගත්තේය. එහෙත් ඒ සෑම විටකම රාජසිංහ රජතුමාගේ පළමු කොන්දේසිය වූයේ විජයපාල නිදහස් කිරීමයි. එහෙත් තමුන්ට ඇති එකම තුරුම්පුව නිදහස් කරන්නට පෘතුගීසින්ද නැමුණේ නැත.

 

බතාවියාව යනු නූතන ජකර්තාවයි. එනම් ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමේ මූලස්ථානය යි. ඔවුන් ඉන්දියාවේද යම් යම් දකුණු ඉන්දීය කොටස් යටත් කරගෙන සිටියෝය. ගෝව යනු ශතවර්ෂ 5කට අධික කාලයක් පෘතුගීසි යටත් විජිතයක්ව පැවති නගරයකි. සම්පූර්ණයෙන්ම ගෝව පෘතුගීසින් විසින් ඉන්දියානුවන්ට බාර දෙන්නේ 1960 දීය. එනම් බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේදී පවා දකුණු ඉන්දියාවේ අරාබි මුහුද දෙසට වූ ගෝව පෘතුගීසි විජිතයක් විය. ලංකාවේ පිහිටීම බැලූවිට දකුණු ඉන්දීය ගෝව වඩාත් ආසන්නයේ පිහිටා තිබේ. එසේම බතාවියාවේ බලය අත්පත්කරගෙන මලක්කාවද යටත් කරගනිමින් සිටි ලන්දේසීහු පෘතුගීසින්ට පසුව දකුණු සහ අග්නිදිග ආසියාව කෙරෙහි බලය පැතිරූ ජාතිය විය.

1638 දී මඩකළපුව කොටුව ලන්දේසි සහ රාජසිංහ හමුදාවෝ විසින් අත්පත් කරගන නොබෝ කලකින්ම රාජසිංහ රජතුමාගේ මුදලි වරු දෙදෙනෙක් කොටුවේ බලය ලබාගන්නට පැමිණියෝය. එවිට ලන්දේසීන් අසන එක් ප්‍රශ්නයක් නම් රාජසිංහ රජුට ලන්දේසි නාවුක බලයේ ආධාරයකින් තොරව මඩකලපුව පවත්වාගෙන යා හැකිද යන්නයි. එනම් නාවුක බලයක් නොමැතිව රට එක්සේසත් කිරිම අපහසු කාර්යයකි.

 

දෙවන රාජසිංහ රජතුමා සහ ඉන් පෙර සෙනරත් රජතුමාද පෘතුගීසින් පලවා හැරීමට මහත් පරිශ්‍රමයක් දැරීය. 1838 දී උඩරටට කඩාවැදී පෘතුගීසි හමුදාවේ නායක දියෝගෝ ද මේලෝ ඇතුළු 900කට අධික පිරිසක් සම්පූර්ණයෙන්ම පාහේ විනාශකරන්නට රාජසිංහ රජු සමත් විය. එහෙත් නාවුක බලයක් රහිත වූ සිංහල රජුට පෘතුගීසින් වැනි නාවුක බලයෙන් අගතැන්පත් ජාතියක් පලවා හැරීම අපහසුය. පවුරු පදනම් තනමින් ආරක්ෂක විධිවිදාන තර කරගෙන සිටි පෘතුගීසිහු කොටුව සම්පූර්ණයෙන්ම ගොඩබිමින් වට කොට සිටි අවස්ථාවලදී වුව ගෝවෙන් සහ ලංකාවේම අනෙක් ස්ථාන වලින් ආධාර උපකාර ලබාගන්නේය.

යුරෝපයේ සිට මෙහි යාත්‍රා කොට දැඩි අවධානමකින් යුතු නාවුක ගමන් හි යෙදුණ පෘතුගීසිහු ලන්දේසි ප්‍රංශ ජාතිකයෝ  සැබැවින්ම එවකට මුහුදේ වෙළඳාම සහ බලය පැතිරූ අය වෙති. රජතුමා මහත් වෙහෙස මහන්සි වී පෘතුගීසි බලකොටුවක් දෙකක් බිඳදැමීමට සමත් වුවද නොබෝ කලකින්ම එය නැවත පෘතුගීසින්ට යටත් වීමේ අවධානමක් තිබෙන්නේ රජතුමාට නාවුක බලයක් නොවන බැවිනි.

 

ලන්දේසීන් ස්වභාවයෙන්ම පෘතුගීසින් තරම්ම රණකාමී ජාතියක් නොවේ. ඔවුහු වඩාත් ගිවිසුම් ප්‍රකාර කූට ගනුදෙනුවලින් ගැටුම් නිරාකරණය කිරීමට සමත් විය. ලන්දේසීන් වෙරළබඩ ගාල්ල මාතර, මඩකලපුව, මීගමුව, කල්පිටිය, කොළඹ අත්පත්කරගත් විට ඔවුන්ගේ අරමුණ වුයේ කුරුඳු වෙළඳාමේ ආධිපත්‍යය නතුකර ගැනීමයි. එහෙත් රාජසිංහ රජතුමා ඒ කුරුදු අස්වනු කෙලින්ම මුදල් බවට පත් කරගැනීමට ඉඩ නොදුන්නේය. කුරුදු තැලීමට සම්බන්ධ සහ පහතරට ජීවත් වූ ජනයා ලන්දේසී ආගමනයත් සමගම රට තුලට කැඳවාගෙන කුරුඳු සාර ඉඩකඩම් ජන ශුන්‍ය කිරීමට රජතුමා ක්‍රියා කළේය. එය පහසුවෙන් කුරුඳු ලබාගැනීමට කැස කවමින් සිටි ලන්දේසීන්ට මරු පහරක් විය.

ලන්දේසීන් රජතුමා සමග එකතුව පෘතුගීසින්ට පහර දීමට පටන් ගත්තේ ගිවිසුමක් ප්‍රාකාරවය. එම ගිවිසුම් අනුව රජතුමා විසින් යුද්ධයට යන වියදම් ලන්දේසීන්ට ගෙවිය යුතු විය. එහෙත් කූට ලන්දේසින් සෑම සුළු දෙයකටම විශාල මිලක් නියමකොට ඒ මිල ඔවුන් විසින් අඩු මිලට තක්සේරු කරන ලද කුරුදු පුවක් ඉටි ආදී දේ හරහා ලබාගන්නට විය. ඒ අනුව ඇතැම් අවස්ථාවක ලන්දේසීන් සිය යුද්ධ වියදම් යැයි ඉදිරිපත් කළ ව්‍යාජ බිල්පත් රජතුමාට කෙසේවත් ගෙවිය නොහැකි තරම් මිල අධික ඒවා විය. එය රජතුමා වටහාගෙන සිටි මුත් පෘතුගීසින් පලවාහැරීමේ ඒකායන පරමාර්ථය නිසා මුල්කාලයේදී ඒ ඉවසා සිටියේය.

ලන්දේසීන් මෘදු වුවද ඇතැම් ලන්දේසී නායකයෝ රජතුමාටත් සිංහල රාජ්‍යයත් නොසලකා හැරීමට ක්‍රියා කළේය. ඒ නිසා සහ වෙරළබඩ කලාපයෙන් ඔබ්බට ලන්දේසින් බලය පතුරුවන්නට වූ කල රාජසිංහ රජතුමා සුපුරුදු යුද්ධ ක්‍රියාමාර්ග වලට යොමු විය. යුද්ධ ශිල්පයේ කෙල පැමිණි රජතුමා බොහෝ අවස්ථාවලදී ලන්දේසීන් පහසුවෙන්ම නතු කරගන්නට සමත් විය.

 

ත්‍රිකුණාමලයට පැමිණි ප්‍රංශ කාරයෝ සම්බන්ධ කරගෙන යම් වැඩපිලිවෙලක් දියත් කිරීමේ අදහසක්ද පසුකලෙක දෙවන රාජසිංහගේ විය. එහෙත් ප්‍රංශකාරයෝ ත්‍රිකුණාමලයේදී උණ රෝගයකට ගොදුරු වී බොහොමයක් රෝගාතුර විය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here