වසර 13ක් හැදූ උමා ඔය විවෘත කරන්න ඉරාන ජනපති පැය 12කට දිවයිනට

0
12

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි අද දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.  

ඒ, උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වීම සඳහායි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ ආරාධනයකට අනුව ඉරාන ජනාධිපතිවරයා මෙලෙස එක් දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.          

2008 වසරේ අප්‍රේල් මාසයේදී එවකට ඉරාන ජනාධිපති මොහොමඩ් අහමදිනෙජාඩ්ගේ සංචාරයෙන් පසුව ඉරාන ජනාධිපතිවරයෙකු මෙරට සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වනවා.

ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද ඉරාන ජනාධිපතිවරයාගේ සංචාරයට සමගාමීව අත්සන් තැබීමට නියමිතයි.

මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක්වන්නේ උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියයි.

එය අද පෙරවරුවේ ඉරාන – ශ්‍රී ලංකා ජනාධිපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරෙණු ඇතියි.

එමඟින් මොණරාගල දිස්ත්‍රික්කයේ නව ඉඩම් හෙක්ටයාර 4500 කට පමණ සහ දැනට පවතින කෘෂිකාර්මික ඉඩම් හෙක්ටයාර් 1500 කට පමණ වාරි ජලය සැපයෙන අතර බදුල්ල, මොණරාගල සහ හම්බන්තොට යන ප්‍රදේශවල පානීය හා කාර්මික ජල අවශ්‍යතා සඳහා අවශ්‍ය ජලය ඝන මීටර් මිලියන 39ක ප්‍රමාණයක් ලබා දීමට සැලසුම්කර තිබෙනවා. 

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය මඟින් වාර්ෂිකව ජාතික විදුලිබල පද්ධතියට එක්කෙරෙන විදුලි ධාරිතාව ගිගා වොට් පැය 290ක්.

මෙම ව්‍යාපෘතිය, පුහුල්පොල සහ ඩයරබා ජලාශ දෙක ඉදිකිරීම, ජලාශ දෙක සම්බන්ධ කරන කිලෝමීටර් 3 දශම 98 දිගකින් යුත් ජල ප්‍රවාහ උමග, කිලෝමීටර් 15 දශම 2 ක දිගකින් යුත් ප්‍රධාන උමග, භූගත විදුලි බලාගාරය, සම්ප්‍රේෂණ මාර්ගය සහ ඒ ආශ්‍රිත අනෙකුත් ඉදිකිරීම්වලින් සමන්විතයි. 

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් එවකට ඛනිජ තෙල් හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා සහ ඉරාන ඉස්ලාමීය ජනරජයේ බලශක්ති අමාත්‍යවරයා අතර 2007 වසරේ නොවැම්බර් 27 වන දා මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණා.

ඒ අනුව, ඉරානයේ ෆරාබ් සමාගම විසින් සවිස්තරාත්මක ශක්‍යතා අධ්‍යයනයන්, ඉංජිනේරු සැලසුම් සකස් කිරීම්, සියලුම ද්‍රව්‍ය, උපකරණ, යන්ත්‍රෝපකරණ සහ භෞතික ඉදිකිරීම් ප්‍රසම්පාදනය, ස්ථාපනය, පරීක්ෂා කිරීම සහ ව්‍යාපෘතිය ආරම්භ කිරීම සිදුකළා.

සම්පූර්ණ කොන්ත්‍රාත් මුදල ඇමරිකානු ඩොලර් මිලියන 514 ක් වන අතර කොන්ත්‍රාත්තුව 2010 මාර්තු 15 දින සිට බලාත්මක වුණා. 
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here