ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ – Saru News Media උණුසුම් පුවත්

0
9

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙනවා.

නව තාක්ෂණය යොදාගනිමින් අපනයනය ඉළක්ක කර ගත් නව වගාවන් කෙරෙහි ගොවි ජනතාව හුරු කරවීම සඳහා රජය විසින් ආරම්භ කර ඇති වැඩපිළිවෙළ යටතේ මෙම ස්ට්‍රොබෙරි ආදර්ශ වගා ගම්මානය ආරම්භ කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දෙනු ලැබුවා.

ඒ අනුව මෙම ස්ට්‍රොබෙරි වගාව ආරම්භ කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබුවා.

මෙම වැඩපිළිවෙළ යටතේ නුවරඑළියේ ගොවීන් 40 දෙනෙක් තෝරා ගෙන ඇති අතර එම ගොවීන්ට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන, වගාවට අවශ්‍ය ස්ට්‍රොබෙරි පැළ මෙන්ම වගාව සඳහා අවශ්‍ය නව තාක්ෂණය සහ ජලසම්පාදන කටයුතු ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සැපයීමට කටයුතු යොදා තිබෙනවා.

විශේෂයෙන් මෙම වගාව සඳහා එක් ගොවියෙකුට රුපියල් ලක්ෂ 13ක පමණ මුදලක් වැය වන අතර ඉන් රුපියල් 750,000ක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් නැවත අය කර ගැනීමකින් තොරව ලබා දීමට කටයුතු යොදා තිබෙනවා.

ඉතිරි ලක්ෂ 06ක මුදල අදාල වගාවෙහි නියුතු ගොවීන් විසින් දරනු ලබයි.

මේ යටතේ මෙම ගොවීන් 40 දෙනාට ස්ට්‍රොබෙරි වගා කිරීම සඳහා රුපියල් මිලියන 30ක මුදලක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සපයනු ලබයි.

නුවරඑළියේ ආරක්ෂිත ගෘහ තුළ මෙම ස්ට්‍රොබෙරි වගාව සිදු කරන අතර ආරක්ෂිත ගෘහ 40ක් මේ වනවිට සකස් කර තිබෙනවා.

මෙම ආරක්ෂිත ගෘහ සියල්ලම සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයව (Automated) දුරස්ථ පාලන යෙදවුමක් මගින් ක්‍රියාත්මක කළ හැකියි.

මෙම වගාව සඳහා අවශ්‍ය ස්ට්‍රොබෙරි පැළ මෙම මස අවසන් වීමට ප්‍රථම මෙරටට ආනයනය කිරීමට කටයුතු යොදා තිබෙනවා.

එක් ආරක්ෂිත ගෘහයක් තුළ දළ වශයෙන් ස්ට්‍රොබෙරි පැළ 300ට වැඩි ප්‍රමාණයක් වගා කරනු ලබයි.

එම පැළ මෙරටට ලැබුනු විගස වගාව ආරම්භ කිරීමට පියවර ගන්නා බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් එච්.එම්. ඒ. එල් අබේරත්න මහතා පවසයි.

මෙම ස්ට්‍රොබෙරි වගාව දේශීය වශයෙන් මෙන්ම අපනයනය ද ඉළක්ක කරමින් වගා කිරීමට නියමිත අතර ගොවීන්ගෙන් අස්වැන්න මිල දී ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් ද ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මේ වනවිටත් සංවිධානය කර තිබෙනවා.

මේ සම්බන්ධව අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්මාන්තයට තරුණ ප්‍රජාව ආකර්ශණය කර ගැනීමේ අරමුණින් ආරම්භ කළ තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩ පිළිවෙළ යටතේ මෙම පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය ආරම්භ කරන බවත්, විශේෂයෙන් නව තාක්ෂණය යොදා ගනිමින් ඉහළ අස්වැන්නක් හා ආදායමක් උපයා ගැනීමට මෙන්ම රටට අවශ්‍ය ඩොලර් ඉපයීමත් මෙම වැඩ පිළිවෙළේ අරමුණ විය යුතු බව ද සඳහන් කළා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here