ලැප්ටොප් එකේ බැටරියෙන් පුළුවන් උපරිම කාලයක් ප්‍රයෝජන ගන්නේ මෙහෙමයි! – Saru News Media

0
7

දැන් කාලේ වෙනකොට ලැප්ටොප් කම්පියුටර් එකක් කියන්නේ ඔය ඉහළ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ඉඳලා වෘත්තිකයෝ දක්වා හැමෝගේම පරිහරණයට වෙන් වුණු උපාංගයක්නේ. ලැප්ටොප් කම්පියුටර් එකක් එහා මෙහා ගෙනියන්න තියෙන ලේසිය නිසාම ගොඩක් අය ඩෙස්ක්ටොප් කම්පියුටරයක් ගන්නවට වඩා ලැප්ටොප් එකක් ගන්න නැඹුරුවක් තියෙනවා. අනික හැම වෙලේම කරන්ට් එකට ගහලා වැඩ කරන්න ඕනැත් නැහැනේ. කැම්පස් එකේ තෙල් බැම්ම උඩ වාඩි වෙලා උනත් හදිසි වැඩක් කරගන්න ඕන වුනොත් ටක් ගාලා ලැප්ටොප් එක ඔන් කරලා කරගත්තැහැකි. හැබැයි ලැප්ටොප් පාවිච්චි කරන අය දන්නවා ලැප්ටොප් වලට වැළඳෙන පොඩි ලෙඩක් ගැන. ඒ තමයි ලැප්ටොප් එකේ බැටරි ආයුකාලය අවුරුදු කීපෙකට පස්සේ පොඩ්ඩක් අබ්ලික් වෙන්න පටන් ගන්නවා කියන එක. ඒ කියන්නේ එක පාරක් චාර්ජ් වුනාට පස්සේ අල්ලලා හිටින පැය ගාණ ටික ටික අඩු වෙන්න පටන් ගන්නවා. අන්තිමට විනාඩි දහයකට පහළොවකට වඩා බැටරියෙන් කම්පියුටරේ ඔන් කරලා තියාගන්න බැරි ලෙවල් එකකට එනවා. එතනින් පස්සේ බැටරිය ගහලම යනවා. ඊට පස්සේ ලැප්ටොප් එකෙන් වැඩ කරන්න නම් කරන්ට් එකට ප්ලග් කරලා තියන්නම වෙනවා. එතකොට විසඳුම වෙන්නේ අලුත් බැටරියක් දාන එක තමයි.

ලැප්ටොප් එකේ තියෙන ඔය ප්‍රශ්නයට විසඳුමක් නැති වුනත්, ලැප්ටොප් එකේ බැටරියේ ආයුකාලය උපරිමයෙන් දීර්ඝ කරගන්න අපිට කරන්න පුළුවන් දේවල් නං තියෙනවා. ආන්න ඒ ගැන තමයි මේ කියන්න යන්නේ!

 

සාමාන්‍යයෙන් නැවත නැවත ආරෝපණය කරන බැටරි කිව්වට මේවා වලටත් සීමාවක් තියෙනවනේ. ගොඩක් දුරට මේ සීමාව වෙන්නේ නැවත ආරෝපණය කිරීම් චක්‍ර 500 ක් හෝ ඊට වැඩි ගාණක්. මේ එක චක්‍රයක් නැතිනම් සයිකල් එකක් කියන්නේ බැටරිය සීයේ ඉඳලා බිංදුවට බැහැලා, ආයෙමත් සීය දක්වා සම්පූර්ණයෙන් ආරෝපණය කිරීමක් තමයි. දැන් එතකොට ඔය සීයේ ඉඳලා බිංදුවට යන්න ගත වෙන කාලය ඇතුළත වඩාත් වැඩි වැඩ ප්‍රමාණයක් කරගන්න සැලසුම් කළොත්, තියරියේ විදියට සයිකල් ගාණ සම්පූර්ණ වෙන්න යන කාලයත් වැඩියි. එතකොට වැඩි කාලයක් ලැප්ටොප් එකේ බැටරියෙන් වැඩ ගන්න පුළුවන්! 

මෙන්න මේක වෙනුවෙන් කරන්න පුළුවන් එක දෙයක් තමයි ලැප්ටොප් එකේ පවර් සෙටින්ග්ස් වලින්, ලැප්ටොප් එක වැඩ නොකර යම් කිසි වෙලාවක් තියෙනකොට ඒක ඔටෝ හයිබර්නේට් වෙන්න සැකසුම් කරන එක. එතකොට අපි පැයක් විතර ලැප්ටොප් එක දාලා ගිහින් තිබ්බොත් ඔහේ බැටරියෙන් ක්‍රියාත්මක වෙවී තියෙන්නේ නැතුව, අපි කර කර හිටපු වැඩ ටික සේව් වෙලා ලැප්ටොප් එක ඕෆ් වෙනවා. 

 

විශේෂයෙන්ම වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතියත් එක්ක එන පහසුකමක් තමයි “Power saver” කියන්නේ. සාමාන්‍යයෙන් නම් ලැප්ටොප් එකේ බැටරි බලය 20% ට බැස්ස ගමන් පවර් සේවර් මෝඩ් එක ඔන් වෙනවා. ඒකෙන් ස්ක්‍රීන් එකේ බ්‍රයිට්නස් අඩු කරලා, බැක්ග්‍රවුන්ඩ් එකේ ක්‍රියාත්මක වෙන අත්‍යාවශ්‍ය නොවෙන ඇප්ස් නවත්තලා දාලා, ඔය අනං මනං නෝටිෆිකේෂන් එහෙම නවත්තලා බැටරියේ බලය පුළුවන් තරම් සකසුරුවම් විදියට පාවිච්චි කරන්න සෙට් කරලා දෙනවා. මේ පවර් සේවර් ඔප්ෂන් එක ක්‍රියාත්මක වෙන්නේ බැටරියේ බලය කොයි ප්‍රමාණයට ආවහමද කියන එකත් ලැප්ටොප් එක පාවිච්චි කරන කෙනාට ඕන විදියට සැකසුම් කරන්න පුළුවන්. ඉතින් මේ සේවාව ඔන් කරලා තියෙන එක බොහෝම වැදගත් කාරණාවක්.

 

සමහරු ඉන්නවා ඒ අයට ලැප්ටොප් කම්පියුටර් එකක බ්‍රයිට්නස් තියෙන්න ඕන 100% ක මට්ටමේ. ආයෙ ස්ක්‍රීන් එක දිහා බැලුවහම ඇස් කඩාගෙන යනවා. හැබැයි ඉතින් ලැප්ටොප් කම්පියුටර් එකක බ්‍රයිට්නස් මේ තරම් වැඩි කරන්න කිසිසේත්ම වුවමනාවක් නෑ. ඒ කියන්නේ දැඩි හිරු එළියේ හිටියත් එච්චර බ්‍රයිට්නස් වැඩි නොකර පහසුවෙන් වැඩ කටයුතු කරගන්න පුළුවන්. ආන්න ඒ නිසා ලැප්ටොප් එකේ බ්‍රයිට්නස් පුළුවන් තරම් ඇහැට සුවදායක අඩු මට්ටමක තියාගන්න එක වටිනවා. ඒ වගේම තමයි ඔය ෆිල්ම් එකක් එහෙම ඩවුන්ලෝඩ් වෙන්න දාලා නිදාගන්නවා නං, ඒකට හරියන වෙනම පවර් සෙටින්ග් එකක් හදලා තියන එක හොඳයි. ඒ කියන්නේ පැයකින් ඔටෝ හයිබර්නේට් වෙන එක ඩිසේබල් කරලා, හැබැයි වඩා අඩු වෙලාවක් ලැප්ටොප් එක වැඩ නොකර තියෙනකොට ස්ක්‍රීන් එක ඕෆ් වෙන්න සෙටින්ග්ස් හදලා, ස්ක්‍රීන් එකේ බ්‍රයිට්නස් වුනත් බිංදුවටම අඩු කරලා තියෙන කස්ටම් පවර් සෙටින්ග් එකක් මේ වගේ වෙලාවකට හදන්න පුළුවන්.

මේ බ්‍රයිට්නස් අඩු කරන නැටුම් ටික නටන්න හේතුවක් තියෙනවා. ලැප්ටොප් එකක ස්ක්‍රීන් එකට සැලකිය යුතු බැටරි ප්‍රමාණයක් යනවා. බ්‍රයිට්නස් වැඩි වෙනවා කියන්නේ ඒකට යන බැටරි බලයත් වැඩි වෙනවා කියන එක!

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here