විවාහය Wrestling පිටියක් කරගත් සැමියෙක් සහ බිරිඳක් – Gatta Kushti – Saru News Media

0
13

අපි ගොඩක් අහන කතාවල ඉන්නෙ බිරිඳගෙ දක්ශකම් වලට ඉඩ දෙන්නෙ නැති හස්බන්ඩ්ල ගැනනෙ. ගොඩක් වෙලාවට අපි, එහෙම නැත්තම් අපේ සමාජයෙ මිනිස්සු හිතනව බිරිඳකගෙ උගත්කම, රැකියාව, තත්ත්වය සහ දක්ශතා සැමියට වඩා පල්ලෙහ මට්ටමේ තියෙන්න ඕන එහෙම නොවුනොත් බිරිඳව කන්ට්‍රෝල් කරගන්න සැමියන්ට බැරි වෙනව කියලා.

ගොඩක් වෙලාවට කසාදෙකදි උනත් අපි දකින්නෙ තමන්ට වඩා උගත්කම, රැකියාවෙන් එහෙම අඩු කෙල්ලන්ව හොයන “ධනවත්, කඩවසම් සහකරුවන්වනෙ”. එයාලා හොයන්නෙ “ගෙදර දොරේ වැඩපල කරගෙන උන්න පුලුවන් සහකාරියන්ව”. ඉතින් ඔන්න අද අපි කතා කරන්න යන්නෙත් මේ වගේම සැමියෙක් සහ බිරිඳක් ඉන්න චිත්‍රපටයක් ගැන.

මේ චිත්‍රපටයේ නම Gatta Kushti. මේ කතාවෙ ඉන්න ප්‍රධාන චරිත දෙකක් තමයි කීරිති සහ වීරා කියන්නෙ. වීරා කියන්නෙ “පිරිමි ඉන්නෙ ගෑණුන්ට වඩා ඉහලින්” කියල හිතාගෙන ඉන්න කොල්ලෙක්. මෙයාට හොඳට සල්ලි එහෙම තියෙනව. හැබැයි ලොකුවට ඉගෙන ගෙන නම් එහෙම නෑ.

ඉතින් මේ වීරාගෙ මාමා පන දාගෙන වීරට ගැලපෙන මනමාලියෙක්ව හොයනව. මොකෝ වීරගෙ අම්මයි තාත්තයි නෑ. ඒ වගේම වීර හොයන්නෙ අමුතුම ජාතියෙ කෙල්ලො. මොකෝ වීරා දකින පිරිමි අතරෙ තමන්ගෙ මාමා ඇතුලුව බිරින්දෑවරුන්ව තලාපෙලා දකින අය වැහිවැහැලා. ඒ වගේම එයාලා බිරින්දෑවරුන්ව යටත් කරගෙන ඉන්න එක පිරිමිකමක් කියල. ඉතින් වීරා හොයන්නෙත් කොන්ඩෙ දිග, තමන්ට වඩා උගත්කමෙන් අඩු, රස්සාවක් නොකරන ගෙදරටම වෙලා ඉන්න කාන්තාවක්ව.

ඉතින් මනමාලියො සීයක් විතර බලන්න ගියත් වීරාගෙ හිතට සෙට් වෙන කෙනෙක්ව හම්බෙන්නෙමා නෑ. දවසක් වීරාගෙ යාලුවෙක් බොන්න සෙට් වෙලා ඉද්දි වීරාගෙන් අහනවා “උඹ කොන්ඩෙ දිග කෙල්ලෙක්වම හොයන්නෙ ඇයි?” කියල.

වීරා කියනව තමන් දිග කොන්ඩෙකට ආසයි, ඒක ගෑණු කෙනෙක්ට ලස්සන ආභරණයක් කියල. ඔන්න ඔය වෙලාවෙදි වීරගෙ මාමා කියන දේකින් තමා අපිට තේරෙන්නෙ මේ පිරිමි ගැහැනු ගැන හිතන් ඉන්නෙ කොයි විදියටද කියල.

“දිග කොන්ඩයක් තියෙන එකේ වාසිය රණ්ඩුවක් වෙලාවට අපිට පුලුවන් කොන්ඩෙන් ඇදල පැනල යන්න නොදී ඒකිට තඩිබාන්න” කියල.

ඉතින් වීරා ජීවත්වෙන්නෙ ඔහොම වටපිටාවක. අපේ සිතුවිලිවලට ජීවත්වෙන වටපිටාව කොච්චර හේතුවෙනවද කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑ නේද?

කොහොමහරි වීරගෙ කතාව ඔහොම වෙද්දි මේ චිත්‍රපටයෙ ප්‍රධාන කාන්තා චරිතෙ වෙන කිර්ති ජීවත්වෙන්නෙ වෙනම වටපිටාවක. කීර්ති Wrestling  කරන කෙල්ලෙක්. කොන්ඩෙ කපපු, කාටවත් බය නැති කෙල්ලෙක්. ඒ විතරක් නෙවෙයි හොඳට ඉගෙන ගත්ත, සුපිරියට ඉංග්‍රීසි කතා කරන  Wrestling වලින් කප් ගහපු කෙල්ලෙක්. හැබැයි ඒව කොහොම උනත් කීර්ති වගේ කෙල්ලෙක්ව බඳින්න කිසිම කොල්ලෙක් කැමති වෙන් නෑ. මොකෝ පිරිමි හිතනව හිතෙන් “මේ ගෑණි මට වඩා හයියයි, මට වඩා ඉගෙන ගෙන, මට මෙයාව යටත් කරගෙන ඉන්න පුලුවන් කමක් නෑ” කියල.

ඔන්න ඔය හේතුව නිසාම කීර්තිට ගැලපෙන කොල්ලෙක් හොයන වැඩේ භාරගන්නෙ එයාගෙ මාමා. මේ මාමා කීර්තිට මාර ආදරෙයි. ඒ නිසාම මෙයා කීරිතිට ගැලපෙන කොල්ලෙක් හොයන්න සෑහෙන මහන්සි වෙනව. අම්මල තාත්තල කීර්තිට කියනව “ඔය ගහගන්න වැඩේ අතෑරල කොන්ඩෙ වවල කෙල්ලෙක් වගේ ඉන්න” කියල. ඒත් කීර්ති කවදාවත් තමන්ගෙ පැශන් එක අතාරින්න හිතන්නෙ නෑ.

එන එන මනමාලය අකමැති උනයින් පස්සෙ දවසක මාමාට හම්බුවෙනව වීරාගෙ මාමාව.බලද්දි දෙන්න හොඳ යාලුවො. රටේ තැන් දෙකක උනාට හොඳට අඳුනනවා. ඉතින් මාමාල දෙන්න මාර්ගෙන් විවාහ යෝජනාව එනවා.

කොල්ලෙක් වගේ කොන්ඩෙ  කපල, Wrestling කර කර හිටපු කිර්තිට සිද්ද වෙනව බොරු දිග කොන්ඩයක් දාගෙන, තමන්ගෙ හීන බලාපොරොත්තු ඔක්කොම මග අතෑරල වීරා එක්ක කසාද බඳින්න. වීරා හිතන් ඉන්නෙ තමන් මේ කසාද බැන්දෙ තමන් බලාපොරොත්තු වෙච්චම කෙල්ල කියල. ඒත් බොරු කොන්ඩෙ, ඉස්කෝලෙ ටික කාලයයි ගියේ, ගෙදර වැඩ හොඳට පුලුවන් කියන බොරුව අස්සෙ, කොන්ඩෙ කපපු, ඩිග්‍රි එකක් ගත්ත, Wrestling ශූරියක් හැංගිල ඉන්න බව වීරා දන්නෙ නෑ.

“තාත්තාට ඔයා හින්දා පපුවෙ අමාරුවකුත් ආවා. ඔයා හදන්නෙ ඒ මනුස්සයව මරාගන්නද?” කියල අම්මල අහද්දි තමන්ගෙ හීන ඔක්කොම පැත්තකට දාලා කසාදෙට කැමති වෙන්න කීර්තිට සිද්ද වෙනවා.

ඉතින් මේ වගේ විවාහ ඉන්දියාවෙ විතරක් නෙවෙයි ලංකාවෙත් ඕන තරම් වෙනවා ඇති. චිත්‍රපටය අවසානය තෙක්ම බලන්න. කීර්තිට වගේම බොරු විවාහයක් අස්සෙ රැවටිච්ච වීරාට සාධාරනයක් වෙයිද කියල දැනගන්න.

මේ චිත්‍රපටය Netflix ඔස්සේ නරඹන්න ඔයාලට පුලුවන්!

ඒ වගේම තමයි අමතක කරන්න එපා, ගැහැණු ලමයෙක් කසාද බඳිනව කියන එකේ අදහස එයාගෙ ජීවිතේ, එයාගෙ හීන, බලාපොරොත්තු සහමුලින්ම අමතක කරල දාන්න ඕන කියන එක නෙවෙයි.

අපි කසාද බඳින්න ඕන අපිව ඒ විදියට පිලිගන්න කෙනෙක්ව. අපේ දක්ශතා අගයන කෙනෙක්ව මිසක් අපිව පහලට ඇදල දාන්න හදන, අපේ දක්ශතා, ජයග්‍රහන ලඟ සතුටු වෙන්න බැරි කෙනෙක් නෙවෙයි.

ඉතින් මේ චිත්‍රපටය බලල ඔයාලගෙ අදහස් අපිත් එක්කත් බෙදාගන්න අමතක කරන්න එපා!

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here