අගරදගුරු අලි බොරු කියන්නේ..- ගෝටාභයගෙන් නිවේදනක්

0
11

අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් විසින් මෑතක දී සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රතිචාර දක්වයි.

ඒ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

මාධ්‍ය නිවේදනය 

අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් මට එරෙහිව කරන ලද චෝදනා

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට වසර පහක් පිරීම නිමිත්තෙන් පැවති සැමරීමක දී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මට එරෙහිව පහත සඳහන් චෝදනා එල්ල කරන ලදී.

පළමු චෝදනාව සම්බන්ධයෙන් ගත් කල, පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව මා වෙත ලැබුණු විගස මා කාදිනල්තුමාට දුරකථනයෙන් කතා කොට මට හිතවත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමටත්, ඔවුන්ගේ සංවිධාන තහනම් කිරීමටත් සිදු වෙන නිසා ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අසීරු බව පවසා සිටියේ නැති බව මම තරයේ ප්‍රකාශ කර සිටිමි.

මුස්ලිම් ප්‍රජාව මට ඡන්දය නොදුන් බවත්, ජනාධිපතිවරණයේ දී ඔවුන් මගේ අපේක්ෂකත්වයට සහාය නොදැක්වූ බවත්, කවුරුත් දන්නා කරුණකි. ඒ නිසා පාස්කු ඉරිදා ප්‍රහාරයට තිබෙන සම්බන්ධයක් හේතුවෙන් තහනම් කළ යුතු වන මොනම සංවිධානයක් තුලවත් මට හිතවත් පුද්ගලයන් කිසිසේත්ම සිටිය නොහැකිය.

කාදිනල්තුමන්ගේ දෙවන චෝදනාව ගත් කල, පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව මා වෙත භාර දෙන ලද්දේ 2021 පෙබරවාරි 01 වෙනිදාය. එය මා විසින් අධ්‍යනය කර, නීතිපතිවරයාට ද යොමු කර, 2021 පෙබරවාරි 23 වැනි දින එම වාර්තාව පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත ඉදිරිපත් කරන ලදී. 2021 මාර්තු 01 වෙනි දින වන විට එහි පිටපත් අතිපූජනීය මහානායක හිමිවරුන්ට, කාදිනල්තුමාට සහ කතෝලික රදගුරුතුමන්ලාට ලබා දීමට අපි කටයුතු කළෙමු. එම නිසා අදාළ වාර්තාව කාදිනල්තුමාට භාරදීමේ ප්‍රමාදයක් සිදු වූ බවට කරන චෝදනාව මම පිළිගන්නේ නැත.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව මා වෙත ලැබීමෙන් පසු එම වාර්තාවේ සහ ඊට කලින් එළිදක්වන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාවේ සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම ප්‍රමුඛත්වය අනුව ලයිස්තුගත කිරීමටත්, එම කාර්යයන් අදාළ රජයේ දෙපාර්තමේන්තු හා ආයතන වෙත බෙදා දීමටත් සය පුද්ගල කැබිනට් අනුකමිටුවක් මම පත් කළෙමි. රාජ්‍ය පරිපාලන ක්‍රියා පටිපාටිවලට අනුව, කැබිනට් මණ්ඩලයේ එවැනි උපදෙස් නොමැතිව රජයේ දෙපාර්තමේන්තු හා ආයතනවලට අදාළ නිර්දේශ ක්‍රියාත්මක කළ නොහැකිය.

2019 නොවැම්බර් මාසයේ දී පොලිස්පතිවරයාගේ නිර්දේශ මත පොලිස් කොමිසම විසින් එවක සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට ස්ථාන මාරුවක් ලබා දෙන ලදී. ඒ කාලයේ පැවතියේ පසුගිය රජය විසින් 19 වැනි සංශෝධනය යටතේ පත් කළ ජාතික පොලිස් කොමිසමය.  ඊට සති කිහිපයකට පසු, මෙම පොලිස් නිලධාරියා මහාධිකරණයේ විභාග වෙමින් පැවති නඩුවක විනිසුරුවරුන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් එවක සිටි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සමඟ කළ දුරකථන සංවාද පිළිබඳ විමර්ශනයක් හේතුවෙන් ඔහුගේ වැඩ තහනම් කිරීමට පොලිස් කොමිසම කටයුතු කළේය. ඉන් මාස කිහිපයකට පසු, හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකුට එරෙහි අපරාධ නඩුවක් සම්බන්ධයෙන් ගොතන ලද සාක්‍ෂි ඉදිරිපත් කිරීම පිළිබඳව මතු වූ චෝදනාවක් ගැන විමර්ශනයක් හේතුවෙන් අධිකරණය විසින් එම නිලධාරියාව රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය. එම නිසා, පාස්කු ඉරිදා විමර්ශනය කඩාකප්පල් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ස්ථාන මාරුවක් දී, රිමාන්ඩ් භාරයට පවා පත් කළ බවට කාදිනල්තුමා මට එල්ල කළ චෝදනාව මම ප්‍රතික්ෂේප කරමි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here