අනාගත ලංකාවට එළිය දෙන්න විදුලිය ගන්න පුලුවන් ක්‍රම – Saru News Media

0
5

රටේ බලය අල්ලන්න පිරිස් විවිධාකාර අන්දමින් විටින් විට උත්සාහගන්නා ආකාරය අපි පහුගිය දවස්වල දැක්කා. ඒත් රටට බලය ලබාදෙන විදුලි පද්ධතිය නම් කාලයේ අවශ්‍යතාවයට ගැලපෙන්න වෙනස් වෙන පාටක් නැහැ. විදුලි බලධාරීන් කියන විදියට ඉදිවන්නට නියමිත බලාගාර කිහිපයක්ම නිමකිරීම දැන් කලක් තිස්සේ කල් යමින් තියෙනවා. කුඩා ඩීසල් බලාගාර වලින් විදුලිය ගන්න හැකි වුනත් එය වියදම් අධික වැඩක්. ඉතින් විදුලිය ගන්න ලාංකික අපිට පාවිච්චි කරන්න පුලුවන් ක්‍රම මොනවද? අපි ඒ ගැන ටිකක් හොයා බලමු.

 

ලංකාව නිවර්තන රටක් නිසා සුර්යාලෝකයෙන් අඩුවක් පාඩුවක් නැහැ. සූර්ය ශක්තිය විදුලිය විදියට හරවන එක වසර විස්සක තිහක පටන් බොහොම දියුණු වුන තාක්ෂණයක්. දැනටමත් ලංකාවේ තරමක් විශාල පරිමාණයේ සූර්ය කෝෂ පාවිච්චි කරලා දිවා කාලයේදී ජාතික පද්ධතියටත් රාත්‍රියේදී නිවෙස් වලටත් විදුලිය ලබාගන්නට හැකි වෙලා තියෙනවා. මෙය එතරම්ම සාර්ථක වුණු ව්‍යාපෘතියක් නෙමෙයි. කර්මාන්ත දියුණු රටවල වැඩිම විදුලි අවශ්‍යතාවය එන්නේ දිවා කාලයේ. ඔවුන් දිවා කාලයේ වැඩිපුර විදුලිය නිපදවාගැනීම ගැන සිතනවා. ඒත් ලංකාවේ වැඩිම විදුලි අවශ්‍යතාවයක් තියෙන්නේ හැන්දෑවේ 6 සිට රෑ10 දක්වා කාලයෙයි. කොහොම වුනත් ඈත දුර ගම්මාන ආදියට විශාල තඹ රැහැන් අදින්න රුපියල් මිලියන ගණන් වියදම් කරනවාට වඩා ඔවුන්ට සූර්ය පැනල විදුලිය හොඳ ලාභදායී විකල්පයක් වෙනවා.

 

අප රටට යාබද දකුණු ඉන්දියාව සුළං බලය විදුලිය සඳහා භාවිතා කරන පළාතක්. දකුණු ඉන්දියාවේ සැපයුමෙන් 20%ක් පමණ මෙම සුළං සහ හිරු එළිය වැනි මාර්ග වලින් සපුරාගන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා. කොහොම වුනත් ලංකාවෙත් කල්පිටිය සහ හම්බන්තොට සුළං පෙති සවිකෙරුණා. කල්පිටියේ සුළං පෙති නම් තවමත් තියෙනවා. ලංකාවටත් සුළං හමනවා තමයි. ඒත් මේ සුවිශාල රූම්පෙති වලින් කාර්යක්ෂමව විදුලිය නිපදවන්න තරම් වේගවත් සුළං හැමදාම ලංකාවේ වෙරළබඩ කලාපයට එන්නේ නැහැ කියලා තමයි සොයාගෙන තිබෙන්නේ. ඒත් නඩත්තු වියදම් අඩු, ඉන්ධන පිරිවැයක් නැති සුළං බලාගාර විදුලි අවශ්‍යතාවයට යම් තරමකින් හෝ යොදාගන්න පුලුවන් මූලාශ්‍රයක්.

 

ප්‍රංශය, ජර්මනිය, රුසියාව, ජපානය සහ අමෙරිකාව වගේ දියුණු රටවල පමණක් භාවිතා වන න්‍යෂ්ටික බලාගාර, ඉන්ධන වියදම සහ කාර්යක්ෂමතාවය අතින් බොහොම ඉහළ තැනක ඉන්නවා. ඒ වගේම න්‍යෂ්ටික බලාගාරයක කාන්දුවක් සිදු වන්නේ නැත්නම් එය බොහොම පරිසර හිතකාමී සංකල්පයක්ද වෙනවා. ඒත් ජපානයේ ඇති වූ ෆුකුෂිමා බලාගාර අනතුර, රුසියාවේ චර්නොබිල් අනතුර වගේ විශාල අනතුරු වලින් න්‍යෂ්ටික බලාගාර කෙරේ තියෙන ලෝක අවධානය අඩු වුනා. කොතරම් හිතකාමී ප්‍රභවයක් වුනත් කාන්දුවක් හෝ පිපිරීමක් හෝ අනතුරක් වුනොත් න්‍යෂ්ටික තත්ත්වයන් පාලනය කිරීම ලේසි නැහැ. ලංකාව කුඩා දූපතක් නිසා න්‍යෂ්ටික බලාගාර ලබාගැනීමේ යම් අවදානමක් තියෙනවා. ඒත් නියම දියුණු තාක්ෂණය එක්ක පරමාණුක බලාගාර ආවොත් ඇත්තටම අපට අනාගතයේ විදුලි බිල අඩුකරගන්න හැකි වේවි.

 

ග්ලිරිසීඩියා දහනය කර තනන කුඩා බලාගාර කලකදී ජනප්‍රිය වුනා. උක් වැනි නිෂ්පාදන වලින් ඉවතලන කොටස්, කොහු කර්මාන්තයෙන් ඉවතලන කොටස් ආදී දේවල් මේ දහන බලාගාර වලට පාවිච්චි කරන්නට පුලුවන්. නිවර්තන පරිසරයේ ග්ලිරිසීඩියා වැනි ගස් ඉක්මණින්ම වැවෙන නිසා ග්ලිරිසීඩියා වගාකිරීමත් ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. මේ බලාගාර වලින් යම් දුමක් නිකුත් වෙනවා පරිසරයට. එහෙත් දහන ක්‍රියාවලිය කාර්යක්ෂම කරගත්තොත් අපිට යොදන ඉන්ධන වලින් ලොකු බලයක් ලබාගන්නට හැකියාව ලැබේවි.

 

විදුලි ජාලයක් ලොකු වෙන්න වෙන්න විදුලි ජාලයේ ස්ථාවරත්වය වැඩි වෙනවා. ඒ නිසා ඇතැම් රටවල් විදුලි ජාල එකිනෙක සම්බන්ධ කරගෙන තියෙනවා. ඉන්දියාවට ආසන්න දූපතක් ලෙස ඉන්දියාවට සම්බන්ධ කරගැනීමෙන් අපේ විදුලි ජාලය සවිමත් කරගන්න හැකියාවක් අපිට තිබෙනවා. මෙතැනදී ඉන්දියානු පද්ධතිය අපිට වඩා බිඳවැටීම් වැඩි එකක් නිසා අපිට හානියක් වෙන්න හැකියාවක් තිබෙන බවකුත් කියනවා. ඒත් අපිට සම්බන්ධවෙන දකුණු ඉන්දියාව කියන්නේ ඉන්දියාවේ තරමක් දියුණු පළාතක්. වාහන සහ කර්මාන්ත ක්ෂේත්‍ර වලට දකුණු ඉන්දියාව ප්‍රකටයි. ඒ වගේම දකුණු ඉන්දියාව අඩු මිලට විකල්ප මාර්ග ඔස්සේ විදුලිය නිපදවන්නත් ලෝකෙටම උදාහරණ දීලා තියෙනවා. මුහුද යටින් යොදන විශාල කේබල මගින් ඉන්දියාවට සම්බන්ධ වෙන්න පුලුවන් නම් අපිට ඉන්දියාවෙන් ලාබෙට විදුලිය ගන්න හැකිවේවි. අපේ කුඩා දූපතේ තැන තැන බලාගාර හදනවාට වඩා විශ්වාසනීයව විදුලිය ලබාගන්නත් හැකියි.  ඉන්දියාවෙත් විදුලිය නැතිවුනොත්? ඉන්දියාව අපිට කොකා පෙන්නුවොත්? වගේ ප්‍රශ්නත් ඉන්දියානු ජාලය අපිට සම්බන්ධ කිරිමේදී අපිට පැනනගිනවා.

 

ඉන්ධන දහනයෙන් විදුලිය නිපදවීමේදී තවමත් ලෝකයේ ලාබදායීම ක්‍රමයක් තමයි ගල් අඟුරු. ගල් අඟුරු දහනයේදී කොතරම් පෙරා හැරියත් ගල් අඟුරු දූවිල්ල පරිසරයට මුදා හැරෙනවා.  අපි දුප්පත් රටක් විදියට දිගුකාලීනව ගල් අඟුරු බලාගාර ඇතිකරගන්න එක අපේ රටට හොඳයි. නොරොච්චෝලේ බලාගාරය හදපු එක විදුලි ජනන ක්ෂේත්‍රයේ එක්තරා සංධිස්ථානයක්. අදටත් නොරොච්චෝලේ ක්‍රියාවිරහිත වුනොත් ලංකාවෙ විදුලි ජාලයම පුරවන්න බැරි අඩුපාඩුවකට ලක්වෙනවා. විදුලිබල මණ්ඩලයේ සැලසුම් වලට අනුව නම් තවත් ගල් අඟුරු බලාගාර හැදෙන්නට තිබුනා. එහෙත් දේශපාලන බල අධිකාරීන්ගේ යම් යම් දුර්වලකම් නිසා මේ ගල් අඟුරු බලාගාර අලුතින් ඇතිවීම දිනෙන් දිනම ප්‍රමාද වෙනවා.

 

ලංකාව ලස්සන වෙරළ තීරයක් තිබෙන රටක්. ලංකාවේ මුහුදු වෙරළේ රැළි මතින් ඉපිලෙන්න ලොව පුරා සර්ෆින් කරන පිරිස් ලංකාවට පැමිණෙනවා. මේ මුහුදු රළ වල තියෙන බලයෙන් ටර්බයින් කරකවලා ඒ මගින් විදුලිය උත්පාදනය කිරීම උදම් රළ මගින් විදුලිය නිපදවීම කියලා හඳුන්වනවා. මේ ක්‍රමය තුළින් නිකම්ම වෙරළේ හැපී පෙණ විසිරෙන සාගර ජලයේ බලයෙන් විදුලිය නිපදවාගන්නට හැකියි. ඒත් මේ ක්‍රමය ටිකක් වියදම් අධිකයි. ඒ වගේම මුහුදු රළ වල තත්ත්වය, රළ මට්ටම නිතරම වෙනස් වෙන නිසා ස්ථාවර සැපයුමක් ලබාගන්නත් අමාරුයි. ඒත් තාක්ෂණික ක්‍රම මගින් වැඩිදියුණු කිරීම් කරලා ගන්න පුලුවන් නම් උදම් රළත් අපිට බලය ලබාගන්න පුලුවන් හොඳ ක්‍රමවේදයක්.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here