අපේ ෆෝන් එකෙන් අපිටත් නොදැනී වැඩ ගන්න බ්ලෝට්වෙයාර් (Bloatware) – Saru News Media

0
4

‘අද මට නොදැනිම මගේ නෙතට කඳුළු පිරෙනවා’ කියන්නේ චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහත්මයාගේ මියුරු ගීතයක්. එයාටත් නොදැනිම එයාගේ ඇස් වලට කඳුළු ඒම කවියකට, ගීතයකට ලස්සන වුණාට ඇත්තටම නම් ටිකක් පිළිගන්න අමාරුයි වගේ නේද? ඒ වගේ අපේ අතේ තියෙන ස්මාට්ෆෝන් එකටත් අවුල් වෙන, ස්මාට්ෆෝන් ස්ලෝ වෙන සොෆ්ට්වෙයාර් අපේ ෆෝන් එක හදන කොම්පැනියෙන්ම ඔබ්බලා එවනවා කිව්වොත්? ටිකක් පිළිගන්න අමාරුයි වගේ නේද? ඒත් ඒක ඇත්තක්. බ්ලෝට්වෙයා කියලා හඳුන්වන මේ ප්‍රී ඉන්ස්ටෝල් කරලා එවන අනේකවිධ ඇප්ලිකේශන්, ප්ලගින් ආදිය සහ ඒවායේ බලපෑම ගැන අපිට ටිකක් බලමු.

 

අපි ෆෝන් එකක් හරි පරිගණක යන්ත්‍රයක් හරි මිලදී ගනිද්දි ඒ එක්ක ඔපරේටින් සිස්ටම් එකක් එනවා. ෆෝන් නම් බොහෝවිට ඇන්ඩ්‍රොයිඩ්, පරිගණක නම් වින්ඩෝස්. මේ එන OS එක එක්ක අපිට තවත් සොෆ්ට්වෙයාර් තොගයක් එනවා. මේ එන සොෆ්ට්වෙයාර් අතර අපිට වැදගත් වගේම නොවැදගත් සොෆ්ට්වෙයාර්සුත් තියෙනවා. කලින් කලට යාවත්කාලීන නොවීම නිසා එන ඇප්ලිකේශන් වගේම අපේ දත්ත භාවිතා කර වෙනත් ප්‍රයෝජන ලබාගන්නා ඇප්ලිකේශන්ද ඒ අතර වෙනවා. ෆෝන් වලදට එද්දි මේ ප්‍රී ඉන්ස්ටෝල් කරපු හෙවත් කස්ටමයිස් කරපු ඇන්ඩ්‍රොයිඩ් හරහා එන බ්ලෝට්වෙයා මගින් අපේ රහස්‍ය තොරතුරු පිටතට යනවා වගේම අපේ යන්ත්‍රයේ වේගය අඩු කරනවා.

 

මොබයිල් ෆෝන් මාකට් එක කියන්නේ බොහොම තරඟකාරී වෙළඳපොලක්. දැන් දැන් තියෙන තරඟය එක්ක ජංගම දුරකථන නිපදවන සමාගම් වලට  තවදුරටත් ෆෝන් එකේ හාඩ්වෙයාර් වලින් සල්ලි හොයන්න අමාරුයි. මොකද ෆෝන් මිලදී ගන්න අය හාඩ්වෙයාර් කිරලා මැනල බැලුවාම එකම මට්ටමේ හාඩ්වෙයාර් පහසුකම් තියෙන ෆෝන් ගොඩක් තියෙනවා. ඒ නිසා  වෙනත් ක්‍රමවලින් මුදල් හොයන්න මොබයිල් ෆෝන් සමාගම් පෙළඹුණා. ඒ එක්ක මේ විදිහට ඇන්ඩ්‍රොයිඩ් හරහා වෙනත් මෘදුකාංග එවලා ඒවායෙන් බල්ක් වශයෙන් මුදල් හෙවීමට ඇතැම් මොබයිල් සමාගම් පෙළඹුණා. එහිදී මොබයිල් යුනිට් වලින් හොයන මුදලට වැඩි මුදලක් මේ බ්ලෝට්වෙයාර් හරහා ජංගම දුරකථන සමාගම් උපයන බවක් කියවෙනවා.

 

හුවාවේ, සැම්සන්ග්, මි, එල් ජී ආදී ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් සමාගම් හැම එකක්ම වගේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සංස්කරණය කරනවා. එහිදී ඔවුන්ගේ ඇප්ස්ටෝර් සහ විවිධ ඇප්ස් එකතු කරනවා. මේ ඇප් සමහරකට යූසර්ස්ලා ඇත්තටම ආසයි. ඒත් මේ ඇප් වුණත් කලින් කලට යාවත්කාලීන නොවී තියෙනවා. ඒවගේම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ කරන ඇතැම් අනුමත නොවන සංස්කරණ නිසාත් එහි ඇති ස්ථාවර බවට හානි වෙනවා. මේ නිසා මුලික වශයෙන් පසුකාලීනව ෆෝන් එක ස්ලෝ වෙන්නත්, අපේ දත්ත පාවිච්චිය වැඩිවෙන්නත් ඉඩකඩ තියෙනවා.

 

සුප්‍රකට ඇපල් සමාගම ඒ හා සමාන පහසුකම් තියෙන සහෝදර ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක්ක බැලුවාම සෑහෙන මිල අධිකයි. ඒ වගේම ගූග්ල් සමාගමෙන් ගහන පික්සල් ෆෝනුත් හරි ගණන්. මෙතනදි ඒ ඇපල්, ගූග්ල් සමාගම් ඔවුන්ගේම ඕඑස් එකේ අයිතිකාරයෝ නිසා ඔවුන්ගේ ෆෝන් වලට බ්ලෝට්වෙයා බලපෑම සෑහෙන අඩුයි. ඒ එක්ක ඒ ෆෝන් කලක් ගියාම ස්ලෝ වෙන්නේ නැහැ. ගූග්ල් ඇන්ඩ්‍රොයිඩ් ගතහොත් මෑතකදි නොකියා, මෝටරෝලා වැනි ෆෝන් සමාගමුත් ඔරිජිනල් ඇන්ඩ්‍රොයිඩ් වලට සමානම අත්දැකීමක් තියෙන ෆෝන් වෙළඳපොලට නිකුත් කරනවා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here