ඔබ ඔබට ආදරේ නැත්නම් කවදාවත් ගොඩයාමක් නෑ – Love yourself first – Saru News Media

0
12

හැලහැප්පීම් මැද ගෙවෙන ජීවන ගමනට නොයෙකුත් කරදර බාධක එනවා. ඒවාට සාර්ථකව මුහුණ දෙන කෙනා ජීවිතය දිනනවා වගේ පෙනුනත් සෑම සාර්ථක පුද්ගලයකු පිටුපසම ගැහැණියක් කෙසේවෙතත් වැරදී සුන්නද්ධූලිවී ගියපු අවස්ථා අනන්තයි අප්‍රමාණයි. ඒත් මලක් පිපුණාට පස්සේ ඒක සුවඳ විඳිමින් ලස්සන බලන කාටවත් ඒක පොහොට්ටුවක් විධියට තද වැසි වලින් නොසැලී පෙති විදහාගත් හැටි ගැන ගණනක්වත් නැහැ. ඒ කියන්නේ ජීවිතය අපි ගොඩනගා ගත යුත්තේ තනිවම යි. ඉතින් පිපෙන්නට කලින් පරවෙලා වැටෙනවා වෙනුවට වෙර දරා පිපී එතෙක් සොයා නොබැලූ සමාජයට වෛර නොකර ඔවුන්ගේ සුභ සිද්ධිය උදෙසා අපිට දවසක උදාර මලක් විධියට පරවෙලා යන්න පුළුවන් නම් ඒක තමයි මේ ලැබූ ජීවිතයෙන් කළ හැකි උපරිම දේ වෙන්නේ.

ඒ තරම් සුවිසල් හැකියාවන් සමූහයකින් සපිරුණු ඔබ සුවිශේෂී පුද්ගලයෙක්. ඔබ ඔබව ඉතා හොඳින් හඳුනාගෙන සිටින නිසා අනෙක් අය ඔබ ගැන කියන කථා වලින් දැන් අපිට වැඩක් නැහැ. ඔවුන් හොඳ කිව්වත්, නරක කිව්වත් ඉන් නොසැලී ඉන්නට දැන් අපිට හැකියාව ලැබී තිබෙන්නේ අපේ වටිනාකම් හොඳින් හඳුනාගෙන ඒවා අන් හැමට වඩා හොඳින් අවබෝධ කරගෙන අපි අපිට ම පදක්කමක් දී තිබෙන නිසා යි. ඊට එහා දෙයක් අපිට කිසිම කෙනෙක්ගෙන් වැඩක් නැහැ.

 

තමන්ගේ වැරදි තමන්ට පෙන්නේ නැහැ කියා කතාවක් තිබෙනවානේ. ඒ නිසා අපි ඇතැම් අවස්ථා වලදී කරන දේවල් බාහිරින් බලද්දී අපේ චේතනාවට වඩා වෙනස් දෙයක් අනෙක් අයට පිළිඹිබු වීමේ අවස්ථාවන් බොහොම තිබෙනවා. ඇතැම් විට ඔබ ඉතා හොඳින් ආදරයෙන් ඔබේ හිතැතියෙක්ට යමක් කියූ විට ඔවුන් එය පිළිනොගෙන ඔබට දොස් නගන්නට ඉඩ තිබෙනවා. එවන් අවස්ථා වලදී ඔබ කළ යුත්තේ ඔවුන් කෙරෙහි ක්‍රෝධ කිරීමවත්, ඔබේ අදහස් කිසිවකුටවත් වැඩක් නැතැයි කියාවත් පසු බැසීම නෙවෙයි. ක්‍රමය වෙනස් කිරීම යි.

ඔබ ඔබව අවබෝධ කරගනිද්දී ඔබට පෙනෙන්න ඇති ඔබට ම සුවිශේෂීවූ ක්‍රියා කලාපයන්, හැසිරීම් රටා සහ බාහිර ලෝකය දෙස විවේචනාත්මකව බලන ආකාරයක් තිබෙනා බව. ඉතින් අනිත් අයටත් ඒ විධියම යි. ඔබ ඔවුන්ව තේරුම්ගන්නට උත්සාහ කරන්න. ඔබේ ක්‍රියාවකට ඔවුන් විරුද්ධත්වය පළ කරනවා නම් ඒ ඇයි කියා හොඳින් තේරුම් ගන්න. ක්‍රෝධ කරන්නටවත්, හිතෙන් වැටෙන්නටවත් යන්නේ නැතිව ඔබෙන් සිදුවූ වැරැද්ද කුමක්දැයි නිහතමානීව අහන්න. සාමාන්‍ය ස්වරයෙන් ඒ ගැන ප්‍රශ්ණ කරමින් සහ කරුණු පහදමින් ඔබට කියන්නට අවශ්‍ය වූයේ මේ දේ ය, වෙනත් යමක් වැටහුණා නම් ඊට සමා වන්නැයි ඍජුව කියන්න. එවිට ඔබව තේරුම් ගන්නට ඔවුන්ට පහසුවක් වේවි. ඔබටත් අලුතෙන් යමක් ඉගෙන ගන්නටත් ලැබේවි.

 

සරලව කියනවා නම්, ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑ ම නැහැ. අපේ පෙනුම සකසා ගැනීමත් අපේ අභ්‍යන්තරය පිළිබඳව බාහිර ලෝකයට දිය හැකි පණිවිඩය වඩාත් දීප්තිමත් කරනවා. හැබැයි මෙය ඕනෑවට වඩා කරන්නට ගොසින් විලාසිතාවේ වහලෙක් වුණොත් නම් අපි මේ යන ගමන නවත්වා මඟ තිබෙන කැළෑ පාරක ගියපු බව තමයි ඉන් පෙනෙන්නේ.

ඔබ පිළිබඳ අන් අයට දැනෙන ප්‍රථම හැඟීම යහපත් එකක් වන්නට නම් පිළිවෙළට අවස්ථාවේ හැටියට ඇඳ පැළඳගෙන සිටීම වැදගත් වෙනවා. මේ හරහා ඔබට අනෙක් අය සමඟ කරට කර සිටින්නට ස්වයං අභිමානයක් අැතිවන අතර තමා පහත් ය යන හැඟීම ඉන් නැතිවී යනවා. ඒත් මතක තබා ගත යුතු දෙය නම්, අපි හොඳට අඳින්නේ අවස්ථාවට ගැලපෙන පුද්ගලයෙක් වීමට මිසක් අපේ ඇඳුම ගැන වෙනත් අයගෙන් හොඳ අහන්නට නම් නෙවෙයි.

 

ජීවිතය පිළිබඳ අසුබ, ඍණාත්මක හැඟීම් ඇති වෙන්නට ප්‍රධානම කාරණයක් තමයි සැසඳීම. මගේ යාළුවෝ හැම කෙනෙක් ම වගේ පන්තියේ මුල් තැන් ගන්නවා, ගෑණු ළමයි එක්ක යාළු වෙලා ඉන්නවා, හොඳ රැකියාවන් කරනවා, විවාහ වෙලා ඉන්නවා, දරුවෝ ඉන්නවා, ගෙවල් තිබෙනවා, යාන වාහන තිබෙනවා ආදී වශයෙන් විවිධාකාර දේවල් හිතට අරගෙන ඒවා ඔබේ ජීවිතයත් එක්ක සසඳමින් ඉන්න එක තරම් අනුවණ වැඩක් තවත් නැහැ. ඒක හරියට මුහුදේ ඉන්න මාළුවෙක් සප්ත මහා සාගරය හෙවත් ගොඩබිමටත් වඩා තිබෙන ජලයේ තමන්ට තිබෙන නිදහස අමතක කරලා ගොඩබිම ඇවිදින්නට කකුල් නැහැ කියමින් සිත සිතා ඉඳිමින් බිලී කොක්කක තමන් ම ගිහින් පැටලෙනවා වගේ දෙයක්. ඔබ ඉන්නේ පොකුණක වෙන්න පුළුවන්. ඒත් එහි කරදිය, මෝරු සහ සැඩ දියවැල් නැති බව සිතා ඒ ගැන සතුටු වෙන්න පුරුදු වෙන්න.

ඔබ ඔබේ හැකියාවන් හඳුනන නිසා ඒවාට සාපේක්‍ෂව ඔබව මනින්න. ෆේස්බුක් එකේ විවිධ අදහස් දමමින් යහළුවන් සනසන්නවත්, ඔබව සාධාරණීකරණය කරන්නවත් කාලය නාස්ති කරන එකේ කිසිම තේරුමක් නැහැ. ඉන් සිදුවන්නේ පොප්කෝන් කමින් ඔබ තනිව විඳවන හැටි බලමින් අන් අය සතුටු වීම පමණ යි. කලින් සඳහන් කළා වගේ මලක් වශයෙන් පිපෙන්නට වෙර දරන කාලයේ ඔබේ දුක් ගායනා අසා දුක්වන්නට කිසිම කෙනෙකුට අවශ්‍යතාවයක් නැහැ. කල්පනා කරමින් ගත කරන පැයකට වඩා අනාගතය වෙනුවෙන් මොහොතක් කරන දෙයක් සදාකල් පවතිනවා.

 

හැමවිටම ඔබේ හැකියාවන්ගෙන් ගත හැකි ප්‍රයෝජන මොනවාදැයි හොඳින් සිතමින් ඒ අනුව ක්‍රියා කරන්න උත්සාහ කරන්න. උදාහරණයක් වශයෙන් ලිපිකරුවෙක් වශයෙන් කටයුතු කරන ඔබට චිත්‍ර ඇඳීමේ හැකියාවක් තිබෙනවා නම් නිදහස් වේලාවන්හිදී චිත්‍ර ඇඳ ඒවා විකුණන්නට හෝ අන්තර්ජාලයේ ඉන්ස්ටග්‍රෑම් වැනි ගිණුමක් හරහා මුදා හැරියොත් අන්තර්ජාලයට නොපිවිසෙන අල්ලපු ගෙදර උන්දැ දැන නොගත්තත් නොබෝ කලකින් ලොවම ඔබ හඳුනන කෙනෙක් බවට පත් වෙන්නෙත් පුළුවන්කම ලැබේවි. බැඳීම්, බඩු භාණ්ඩ, දරුවන් වැනි දුක් කරදර ගොඩකට යටවුණු ඔබේ මිතුරන් වගේ ද ඔබ ඔබට ආදරය කරමින් තිබෙන ජීවිතය විඳින එක? එය තරම් මෙලොව ලැබිය හැකි සතුටක් තවත් නැහැ. ඔබ කැමති දේ ඔබ කරන්න. අනිත් අය “කෝ තවම නැද්ද?” කියා අසමින් ඔබව තලා පෙලන හැටි ගැන දකිමින් ඔවුන්ගේ ගොදුරක් නොවී ඔබටත් ඔවුන්ටත් වෛර කරමින් ගිනිගත් යකඩ බෝල අතේ තියාගෙන ඉන්න එපා. ඒවා විසිකරලා හොඳ හුස්මක් අරගෙන නිදහස්, තෘප්තිමත් ජීවිතයක් ගෙවන්න. ඔබට අවශ්‍ය හැමදේම නිතැතින් ලැබේවි.

 
Cover Image Source – koogle.tv/ facebook.com / youtube.com
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here