කොග්ගල ප්‍රාඥයා: මාර්ටින් වික්‍රමසිංහ පිළිබඳ බොහෝ දෙනා නොදත් තොරතුරු – Saru News Media

0
4

කොග්ගල ප්‍රාඥයා කියලා හඳුන්වන මාර්ටින් වික්‍රමසිංහ ගත්කතුවරයා ගැන අද කී දෙනෙක් දන්නවද? ඇත්තටම මේ ප්‍රශ්නේ අපිට අහන්න හිතුණේ කාලෙකට කලින් සමාජ ජාල ඇතුළේ සංසරණය වුණු වීඩියෝවක් නිසා. ඒකේ පාරේදී හමුවෙන විවිධ අයගෙන් වීඩියෝව කරන අය අහනවා මාර්ටින් වික්‍රමසිංහ  ගැන. එතැනදී සමහරු මාර්ටින් වික්‍රමසිංහ කියලා ගත්කතුවරයෙක් ගැන දන්නෙ නෑ. සමහරු දන්නවා. කොහොම වුනත් මාර්ටින් වික්‍රමසිංහ ගැන කෙනෙක් දැන සිටීම හෝ නොදැන සිටීම අපි ගැටළුවක් කරගන්නේ නෑ. ඒ වෙනුවට අපි සූදානම් මාර්ටින් වික්‍රමසිංහ හෙවත් ශ්‍රී ලංකාවේ මහා ගත්කතුවරයා, කොග්ගල ප්‍රාඥයා ගැන තොරතුරු ටිකක් කියන්න. සමහර විට අනාගතේදී මේ වගේ වීඩියෝවකට පාර තොටේදී මුහුණ දෙන්න සිද්ධ වුනොත්, මාර්ටින් වික්‍රමසිංහයන් ගැන දැනගෙනම එතකොට කතා කරන්න පුලුවන්!

 

 

මාර්ටින් වික්‍රමසිංහයන්ගේ නවකථා හැම එකකටම වගේ පාදක වෙලා තියෙන්නේ දකුණුකරයේ කොග්ගල සහ කොළඹ. කොග්ගල ග්‍රාමය ගැන වික්‍රමසිංහයන් අතින් මේ තරම් ලියැවෙන්න හේතුව වෙන්නේ ඔහු උපන්නේත්, හැදී වැඩුනේත් කොග්ගල මලලගම වීමයි. පොඩි කාලේදී ගමේ පංසලෙන් සහ ගුරු ගෙදරින් අකුරු හදාරන වික්‍රමසිංහ ඉන්පස්සේ යන්නේ ගාල්ලේ බොනවිස්ටාවට. කොහොම වුනත් අවුරුදු අට වෙනකොට පියා මියයන නිසා මාර්ටින් වික්‍රමසිංහට සිද්ධ වෙනවා අහංගම විද්‍යාලයට යන්න. එතැනින් පස්සේ වුනත් නවතින්නේ නැතුව එන අගහිඟ කම් නිසා වික්‍රමසිංහයන්ගේ අධ්‍යාපනය නතර වෙනවා.

 

පාසැල් අධ්‍යාපනයෙන් සමුගත් මාර්ටින් වික්‍රමසිංහ කොළඹට ඇවිත් වෙළෙඳසැලක ලිපිකරුවෙකු විදියට ‍රැකියාව කරනවා. හැබැයි තමන්ගේ වැ‍ටුපෙන් මවට කොටසක් යවන්නත්, ඉතුරු කොටසින් පොත් පත් ගන්නත් වික්‍රමසිංහ අමතක කරන්නේ නෑ. කොළඹ කරෝලිස් සිල්වා සාප්පුවේ හා කොළඹ ජෝන්ද සිල්වා සමාගමේ තමයි වික්‍රමසිංහ මුලින්ම සේවය කරන්නේ. 1915 දී ඇතිවුණු සිංහල-මුස්ලිම් කෝලාහලය නිසා වික්‍රමසිංහට රස්සාව අතෑරලා ගමට යන්න වෙනවා. ආයෙමත් රස්සාවකට යන්න හිතන ඔහු මඩකළපුවට යන්නේත් තමන්ට හුරුපුරුදු ලිපිකාර තනතුරකට.

මෙහෙම කාලයක් ගියාට පස්සේ මාර්ටින් වික්‍රමසිංහ ගත්කතුවරයෙකු වෙලා. ලිපිකාර තනතුරෙන් අස්වෙන ඔහු ඊළඟට බැ‍ඳෙන්නේ ලේක්හවුස් ආයතනයට. එතැනදී දිනමිණ සහ සිළුමිණ වගේ පුවත්පත් වල කර්තෘ තනතුරු පවා මාර්ටින් වික්‍රමසිංහයන් විසින් දරනු ලබනවා.

 

මාර්ටින් වික්‍රමසිංහ කිවුවහම ගොඩක් දෙනෙක් දන්න පොත් කීපයක් තියෙනවා. එකක් මඩොල්දූව. ඉන් පස්සේ ගම්පෙරළිය. සමහරු දන්නවා ගම්පෙරළියෙන් පස්සේ කලියුගය සහ යුගාන්තය කියලත් පොත් දෙකක් තියෙනවා කියලා. ඒ කියන්නේ ඒ තුන් ඈඳුතු නවකථාවක්. තවත් සමහරු දන්නවා මාර්ටින් වික්‍රමසිංහ විරාගය කියලා පොතක් ලිවුවා කියලා.

හැබැයි මාර්ටින් වික්‍රමසිංහයන් ලියලා තියෙන පොත් පෙළ මේ ලැයිස්තුවට වඩා බොහොම දිගයි. සෝමා, අයිරාංගනී, සීතා, ලීලා, මිරිඟුව වගේ නම් වලින් ලියවුණු පොත් පෙළක් තියෙනවා. කළුනික සෙවීම, උපන්දා සිට, අපේ ගම වගේ පොත් තියෙනවා. කරුවල ගෙදර, බවතරණය කියන පොත් තියෙනවා. ඉන් පස්සේ වහල්ලු, ගැහැණියක්, මඟුල් ගෙදර, චරිතාදර්ශ කතා, බිල්ල සහ අපූරු මුහුණ, හද සාක්කි කීම, මගේ කථාව, පව්කාරයාට ගල් ගැසීම වගේ කෙටි කථා පොත් තියෙනවා.

 

ගොඩක් අය මාර්ටින් වික්‍රමසිංහව දන්නේ නවකථා ලියපු ගත් කතුවරයෙක් විදියට විතරයිනේ. හැබැයි මාර්ටින් වික්‍රමසිංහ කියන්නේ නාට්‍ය ලියූ කෙනෙක්, විචාරකයෙක් විතරක් නෙවෙයි, ස්වභාව විද්‍යාව, විචාරය, සාහිත්‍යය වගේ ක්ෂේත්‍ර ගණනාවක පැතිරුණු දැනුම තිබුණු ප්‍රාඥයෙක් කියන එක ගොඩක් දෙනෙක් දන්නෙ නෑ. මාර්ටින් වික්‍රමසිංහයන් මුස්ලිම්-සිංහල කෝලාහල කාලේ කොළඹ ‍රැකියාවෙන් ඉවත් වෙලා ගමට ඇවිත් කාලය ගත කරන්නේ ස්වභාව ධර්මය නිරීක්ෂණයෙන්. වික්‍රමසිංහයන්ගේ පුත් විශේෂඥ වෛද්‍ය රංග වික්‍රමසිංහ කියන්නේ “මගේ තාත්තා තමයි ලංකාවේ බිහිවුණු මුල්ම පරිසර වේදියා” කියලා. ඒ කථාව කොයි තරම් ඇත්තද කියලා දැනගන්න පුලුවන් වික්‍රමසිංහයන් ලියපු විද්‍යා විනෝද කථා කියවලා බැලුවොත්. ළමයින්ට ස්වභාවික විද්‍යා දැනුම ලබාදෙන්න ලියවුණු සරල, රසවත් පොතක් තමයි ඒ.

මීට අමතරව මාර්ටින් වික්‍රමසිංහයන් අතින් ලියැවුණු විචාරාත්මක නිබන්ධනයන් ගණනාවක් තියෙනවා. එයින් සමහරක් විදියට විචාර ලිපි, ගුත්තිල ගීතය, සාහිත්‍ය කලාව, සිංහල විචාර මග, බණ කතා සාහිත්‍යය, කාව්‍ය විචාරය, නව පද්‍ය සිංහලය, සාහිත්‍යෝදය කතා, ඇත්ත යුත්ත, සම්ප්‍රදාය හා විචාරය, ජාතක කතා විමසුම, රස වාදය හා බෞද්ධ කාව්‍යය, සිංහල සකස්කඩ පෙළගස්වන්න පුලුවන්.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here