ඩේ කෙයා සෙන්ටර් එකක් තෝරාගැනීමේදී සැළකිය යුතු කරුණු – Saru News Media

0
4

ඔබේ දරුවාව දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට දානවානම් මේ ගැනත් සිතන්නපවතින ආර්ථිකයත් එක්ක ඉස්සරහට යන්න පවුලේ තනි රස්සාවකින් අමාරු නිසා‌ දරුවෝ ඉන්න බොහෝදෙනෙක් තෝරාගන්න සරළතම විකල්පය වෙන්නෙ ඩේ කෙයා නොහොත් දිවා සුරැකුම් මධ්‍යස්ථාන. මේ විදියෙ දිවා සුරැකුම් මධ්‍යස්ථානවලට තමුන්ගෙ දරුවන් යවන්න කලින් කොතරම් සොයාබලා වගකීමෙන් කටයුතු කරන්න ඕනද කියන දේ මෑත කාලයේදි යළිත් පැනනැගුණේ අන්තර්ජාලය කැළඹූ වීඩියෝවක් සමගින්. කුඩා දරුවෙකුට තරවටු කර ඩේ කෙයා එකෙන් එළියට දැමූ බවට සාක්ෂි සහිත වූ එම වීඩියෝවත් සමගින් බොහෝ දිවා සුරැකුම් මධ්‍යස්ථාන තුළ සිදුවන අවිනීතිමය කටයුතු රැසක් එළියට ආවා. දැන් අඟලෙන් අඟලට ඩේ කෙයා සෙන්ටර් තියෙන නිසා මේ ගැන ඔබ අනිවාර්යයෙන්ම සිතිය යුතුයි. එනිසා මේ සටහන ඔබේ දරුවාව දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට දැමීමට පෙර ඔබ සිතිය යුතු කාරණා ගැනයි.

 

දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ පිරිස මිත්‍රශීලී පිරිසක්ද යන්න පළමුවෙන්ම සෙවිය යුතුයි. ඔවුන් ඔබට මිත්‍රශීලී නොවනවා නම් දඟ කරන ළමුන් සම්බන්ධයෙන් ඔවුන්ගේ ආකල්පය පිළිබඳ දෙවරක් සිතන්නට ඇත්තේ නැහැ. ඒ වගේම ඔවුන්ගේ සුදුසුකම් වෙතද ඔබ විපරම් කළ යුතුයි. ඔවුන් සහතිකලත් පුහුණූ වූ භාරකරුවන්ද කියා ඔබ සොයාබැලිය යුතුයි. ඒ වගේම එක් භාරකරුවෙකුට ළමුන් කොපමණ ප්‍රමාණයක් බලාගන්නට තිබෙනවාද යන්නත් සොයා බලන්න. ළමුන් ප්‍රමාණය වැඩි වන තරමට ඔවුන් අතින් සිදුවිය හැකි අවගුණ ප්‍රමාණය ඉහළයි.

 

ඔබේ දරුවාටත් දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් සොයද්දී එය ඔබට අවශ්‍යතාවය පැන නගින මොහොතේ ක්ෂණිකව සොයාබලා ගන්නා තීරණයක් බවට පත් කරන්නට එපා. ඔබ කාලයක් තිස්සේ එම සෙවීමේ නිරත වෙන්න. තැන් කිහිපයක් තෝරාගෙන දන්නා හඳුනන අයගෙන් ඒ පිළිබඳ විස්තර විමසන්න. ඒ තැන්වලට ගොස් විමසන්න. එසේ යන විට දරුවාවත් රැගෙන ගොස්, එවන් තැන් හා දරුවාගේ පෑහීම කෙසේද කියා නිරීක්ෂණය කරන්න.

 

දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් සොයන ඔබ සෙවිය යුතු මූලික කරුණක් විදියට එය පවතින දුර ප්‍රමාණය දක්වන්න පුළුවන්. දරුවා එයට ගමන් කරන දුර සෑහෙන තරම් අඩුවීම උදෑසන දුහුවිල්ල සහ මහමග දුම් පිරි පරිසරයෙන් දරුවා ඉක්මනින් මුදවන්නට හේතුවක් වේවි. ඒ වගේම එය ඔබට පහසුවෙන් සහ ඉක්මනින් ළඟා විය හැකි ස්ථානයක් වීමත් අතිශය වැදගත්. ඒ වගේම දරුවා ඇස් මානෙන් නොගිලිහෙන්නට මේ වන විට බොහෝ දිවා සුරැකුම් මධ්‍යස්ථානවල භාවිතා කරන සීසීටීවී තාක්ෂණය හරහා ඔබට දරුවා පිළිබඳ නිරන්තර අවධානය ලබා දිය හැකි තැනක් තෝරාගැනීමට හැකිනම් එය අමතර වාසියක්.

 

දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට යන ඔබ තවත් අනිවාර්යයෙන්ම බැලිය යුතු දෙයක් වන්නේ එහි අවට පරිසරයයි. උදාහරණයකට අවට පරිසරයේ මදුරුවන් සිටිනවාද? වළවල් තිබෙනවාද? නැගිය හැකි කුඩා ගස්, උස් ස්ථාන වගේම පොල් ගස් වැනි පහළින් සිටීම අන්තරායකර කරවන ගස් තිබෙනවාද කියා විමසිලිමත් වීම අනිවාර්යයෙන්ම වැදගත්. මන්දයත් ගුරුවරුන් සහ පාලකයින් කොතරම් හොඳ වුවත් ඔබේ දරුවාගේ ආරක්ෂාව අංක එකට ඔබ තැකිය යුතුයි.

 

ඔබ අන් අයගෙන් යම් දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් පිළිබඳ තොරතුරු විමසීමෙන් අනතුරුව තෝරාගන්නා අදාළ දිවා සුරැකුම් මධ්‍යස්ථානයෙන් සෘජුව මෙම ප්‍රශ්නවලට පිළිතුරු විමසන්න. ඔබ එයට ඇතුළත් කරන්නේ ඔබේ පණ මෙන් වටින දරුවා නිසා දරුවා වෙනුවෙන් මේ ප්‍රශ්න විමසන්න. ආහාර ලබාදීම, සනීපාරක්ෂාව, දරුවාට නිදිමත වූ විට ක්‍රියාකරන ආකාරය, දරුවා කිසිඳු මොහොතක නිදියන්නේ නැතිනම් ඔවුන් ක්‍රියාකරන ආකාරය, දරුවා එළියට පනින්නට උත්සාහ කරනවා නම් ඔවුන් එය වළක්වාගන්නා අයුරු, නිරන්තරයෙන් අම්මාවම ඉල්ලනවා නම් ඔවුන් දරුවා පරක් කරගන්නේ කෙසේද? යන සියල්ලට ඔවුන්ගෙන්ම පිළිතුරු ලබාගන්න. ඒ අනුව ඔවුන් මැනගන්න.

 

ඩේ කෙයා සෙන්ටර් එකක් යනු දරුවන් නිකරුණේ ගාල් කර ඇති තැනක් නොවිය යුතුයි. එහිදී දරුවන්ට අධ්‍යයනයක් හිමි විය යුතුයි. එනිසා දරුවාට අදාළ දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ සිදුකරන්නට ඇති අධ්‍යයන කටයුතු සහ සෙල්ලම් පිළිබඳ විමසිලිමත් වෙන්න. ඒවා වයසට ගැලපෙනවාද? ආරක්ෂිතද? යන්න ගැන දෙවරක් සිතන්න.

 

මෙහි සිටින්නේ ඔබේ වටිනාම වස්තුව බව දෙවරක් සිතන්න. එනිසාම යම් දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් තෝරාගන්නට පෙර දෙවරක් සිතන්න. එයට අනපේක්ෂිතව ගොඩවැදීමද සිද්ධ කරන්න. තමන් ළඟකට ආ බවක් පවසා වෙනත් කරුණක් සාකච්ඡා කිරීමට ඇති මුවාවෙන් අනෙක් ළමුන්ට සලකන අයුරු දෙස බලන්න. ඒ ළමුන් හා කතාකරන්න. ඒ ඒ ළමුන් අතරේ ඇති බැඳියාව දෙසද නෙත් යොමන්න. ඔබේ දරුවා ඉදිරි කාලයේ දවසෙන් වැඩි කොටසක් ගෙවන්නේ ඔවුන් සමග නිසා ඔවුන් ඇසුරට යවන්නට පෙර දරුවාට එය කිසිසේත් හානියක් නොවන වග ප්‍රත්‍යක්ෂ කරගන්න.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here